2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

වෙඩි බෙහෙත් කුමන්ත්‍රණයෙන් ලොවට බිහිවූ ගයි ෆෝව්ක්ස් වෙස්මුහුණ

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබූ බව පෙරේදා පුවත්පත්වල සඳහන්ව තිබුණි. පසුගිය අවුරුදු කිහිපයේ පාර්ලිමේන්තුවේ සිදුවූ අලකලංචි කිහිපයක් නිසා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල පාර්ලිමේන්තුව බොහෝවිට සරදමට ලක් කරන පින්තූර, පෝස්ටු ආදිය සඳහන් වී තිබිණි. ඉස්සර නම් පාර්ලිමේන්තුවට සරදම් කරන්නට ගිය පත්තර කලාවේදීන් එතැනටම ගෙන්වා අවවාද කළ අවස්ථා කිහිපයක් ගැන පැරණි වාර්තාවල සඳහන් වේ. පාර්ලිමේන්තුව ගිනිගන්නා පින්තූර පාර්ලිමේන්තුව ගිලා බහින පින්තූර සමාජ ජාලාවල සුලභව පළ වී තිබුණි.

සරදමට නොව, ඇත්තටම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පුපුරවා හරින්නට කල්ලියක් දැරූ උත්සාහය නිසා ඒ දිනය දැන් බ්‍රිතාන්‍ය පුරා වසරක් පාසා ගිනිකෙළි සංදර්ශන පවත්වා සමරනු ලැබේ. 1605 නොවැම්බර් 5 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පුපුරවා හරින්නට තැත්කළ ගයි ෆෝව්ක්ස් (Gay Fowks) ගේ කතාව වර්තමානය දක්වා ඇදී එන කතාවකි.

අද පවා ඉංග්‍රීසි භාෂාවේ ව්‍යවහාරයට “He is a good guy” හෝ “He is a smart guy” වැනි පද එක්වී ඇත්තේ ගයි ෆෝව්ක්ස්ගේ නම නිසාය. “ගයිගේ සැබෑ නම ගුයිඩො ෆෝව්ක්ස්ය. ගයි යන්න සෑදුණේ ගුයිඩෝ යන්න කෙටි කරලාය.
ඔහුට ඕනෑ වූයේ පළමු ජේම්ස් රජු සමඟම පාර්ලිමේන්තුව (විසුරුවා හරින්නට නොව) පුපුරවා හරින්නටය. පළමු ජේම්ස් රජු ප්‍රොතෙස්තන්ත භක්තිකයෙකි. ඔහු කතෝලික විරෝධියකු වීම ගයිගේ කේන්තියට හේතු විය.

(ගයි) ද උපතින් කතෝලිකයකු නොවේ. ඔහු ද පළමු ජේම්ස් රජ මෙන්ම උපතින් ප්‍රොතෙස්තන්ත ආගමිකයෙකි. ඔහුගේ පියා වැඩ කළේද එංගලන්ත සභාව (Church of England) වෙනුවෙනි. නමින් එඩ්වඩ් ෆෝව්ක්ස් නම් ඔහු විවාහ වූයේ එඩිත් නම් කාන්තාව සමඟයි. ගයි කුඩා කාලයේම ඔහුගේ පියා මළ නිසා එඩිත් නැවත වරක් විවාහ වූවාය. ඒ දියෝනිස් බේන්බ්‍රිජ් නැමැත්තකු සමඟයි. දියෝනිස් කතෝලිකයෙකි. 1570 දී ප්‍රොතෙස්තන්ත ආගමේ සාන්ත මයිකල් ලේ බෙල්ෆ්‍රේ පල්ලියේ බෞතීස්ම වී සිටි ගයි, ඔහුගේ සුළු පියා කතෝලිකයකු වූ නිසා එම පුරුදුවලට හුරු වූයේය. පළමු එලිසබෙත් රැජනගේ රාජ්‍ය සමයේ කතෝලිකයකු වීම අපරාධයක් සේ සැලකුණත් ගයි නව යොවුන් වියේදීම කතෝලික ආගම වැළඳ ගත්තේය. ඔහු 1592 දී කතෝලික ස්පාඤ්ඤ හමුදාවට බැඳීමට එතෙර ගියේය. එම හමුදාව සටන් කළේ නෙදර්ලන්තය පාලනය කළ ප්‍රොතෙස්තන්තවාදී ඕලන්ද හමුදාවලට එරෙහිවයි. ඔහු ස්පාඤ්ඤ හමුදාවේ කැප්ටන් නිලය දක්වා ඉහළ ගියේය.

1604 දී පමණ ස්පාඤ්ඤ හමුදාව හා එක්ව සටන් වැදුණු ගයිට තෝමස් වින්ටුවර් නැමැත්තකු මුණගැසෙයි. තෝමස් මහත් නොසතුටින් සිටි ඉංග්‍රිසි ජාතික කතෝලිකයෙකි. කුමන්ත්‍රණකරැවන් සමඟ එක්වන්නට ගයිව උසිගන්වන්නේ තෝමස්ය.
පළමු ජේම්ස් රජු සමඟ සියලු සාමිවරුන් හා පාර්ලිමේන්තුව පුපුරවා හරින්නට ඔහු මාස 18 ක් තිස්සේ සැලසුම් කරන්නේ තවත් 12 දෙනකු සමඟ එක්වෙමිනි. ඔහුට ඕනෑ කළේ පළමු ජේම්ස්ගේ තැනට කතෝලිකයකු පත් කරන්නටයි.
මේ සඳහා ගයි ඇතුළු පිරිස පාර්ලිමේන්තුව යට පිහිටි බිම් කුටීරවලට වෙඩිබෙහෙත් බැරල් 36 ක් ගෙන යන්නට සමත් වෙති. ඔවුන් සැලසුම් කළේ 1605 නොවැම්බර් 5 වැනිදා පළමු ජේම්ස් සැසිවාරය විවෘත කරද්දී සියල්ල පුපුරවා හරින්නටයි.
ගයිලා සියල්ල කාගත්තේ පොඩි වරදක් කරගත් නිසාය. ඔවුන්ගේ කල්ලියේ සමහරුන්ට පාර්ලිමේන්තුවේ ඉන්නා සමහර මිතුරන්ව බේරන්නට ඕනෑ වූයේය. ප්‍රවේශම් වන ලෙස දන්වා ඔවුහු ඒ මිතුරන්ට ලිපියක් යැවූහ. පාර්ලිමේන්තු ආරක්ෂකයන්ගේ අතට ඒ ලිපිය අසු විය. ඔවුහු වහාම බිම්ගෙය පරීක්ෂා කළහ. අතට අසුවූ ගයි ෆෝව්ක්ස් දර අදින බව පවසමින් තමා සේවකයකු බව අඟවන්නට උත්සාහ කළේය. වැඩේ හරිගියේ නැත. වෙඩිබෙහෙත් බැරල් 36ම ආරක්ෂකයන්ට අසු වූයේය.

අද දක්වා බ්‍රිතාන්‍ය ජාතිකයන් “Gunpowder plot” යනුවෙන් සමරන්නේ එම අසාර්ථක කුමන්ත්‍රණයයි.

ගයි ෆෝව්ක්ස් ඇතුළු කුමන්ත්‍රණයට හවුල් වූ සියලු දෙනාට මරණ දඬුවම නියම වූයේය. 1606 ජනවාරි 30 වැනිදා ඉන් පිරිසක් ප්‍රසිද්ධියේ එල්ලා මරනු ලැබූහ. (ගයි)ව එල්ලා මරන්නට නියමවූ දිනය 1606 ජනවාරි 31 වැනිදාය. මරණ දඬුවම නියමවූ (ගයි) පෝරකයට ගොඩවෙන පලංචිය දිගේ ගියේය. පලංචියේදී ඔහුගේ කකුල ලිස්සුවේය. කකුල ලිස්සා බිම වැටුණු ගයිගේ බෙල්ල කැඩුණේය. ගයි මළේ බෙල්ල කැඩිලාය. එල්ලම් ගහේ එල්ලී මැරෙන්නට ඔහුට වාසනාව නොතිබුණේය.

ගයිගේ කතාව එතැනින් නිමාවූයේ නැත. ගයි වෙනුවෙන් කවි ගී ලියැවුණේය. කතා හැදුණේය. චිත්‍රපට හැදුණේය.

“Remember, remember
The fifth of November
The Gunpowder treason and plot” යන්න ඉන් වඩාත්ම ප්‍රසිද්ධියට පත් කවියයි.

Gunpowder, Treason and the plot (2004 රූපවාහිනී චිත්‍රපටයකි.) The Tower (2004), The king James Bille, A Touch of Frost ඔහු වෙනුවෙන් බිහිවූ චිත්‍රපට කිහිපයකි. මෙම චිත්‍රපට අතුරින් වර්තමානයට බොහෝ සෙයින් බලපෑවේ V for Vendetta චිත්‍රපටයයි. එය ඒ නමින් පළකළ ඇලන් මුවර් සහ ඩේවිඩ් ලොයිඩ්ගේ කොමික් පොත පදනම් කරගෙන ජේම්ස් මැක්ටේයිගු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි.

V for Vendetta කොමික් පොතෙන් එළිදුටු (Guy Fowks) ගේ වෙස්මුහුණ V for Vendetta චිත්‍රපටය නිසා ජනප්‍රිය වූයේය. ලෝකය පුරා විරෝධතා ව්‍යාපාරවලදී විරෝධතාකරැවන්ගේ අනන්‍යතාව සැඟවීම සඳහා (Guy Fowks) වෙස්මුහුණ භාවිත වන්නට පටන් ගත්තේය. පසුගිය වසරවල ශ්‍රී ලංකාවේ පැවැති ඇතැම් විරෝධතා ව්‍යාපාරවලද මෙම වෙස්මුහුණ භාවිත වනු දකින්නට තිබිණි.

මීට වසර කිහිපයකට පෙර අමෙරිකානු ජාතික රෙජිනෝල්ඩ් රෝස්ගේ Twelve Angry Men කෘතිය ඇසුරින් අතුල පතිරණ නිර්මාණය කළ (12ක්) නාට්‍යයේ 2012.12.12 දින පැවැත්වූ දර්ශනය උදෙසා අපි ගයි ෆෝව්ක්ස්ගේ වෙස්මුහුණ උපයෝගී කර ගතිමු. හරි දේට හරි කියන්නටත්, වැරුද්දට වැරදියි කියා කියන්නටත් ධෛර්යය උපදවාගත යුතුය යන තේමාව එම නාට්‍ය දර්ශනයේදී මතු කරන්නට නාට්‍යකරුවන්ට අවශ්‍ය වූයේය. ඒ සඳහා නාට්‍ය දර්ශනය අවසානයේ ප්‍රේක්ෂකයන් ඉදිරියට එන නාට්‍යයට දායක වූ සියල්ලන් ගයි ෆෝව්ක්ස්ගේ වෙස්මුහුණ පැළඳ ප්‍රේක්ෂකයන් ඉදිරියට (Curtain call) එන්නට අතුල පතිරණ ඔවුන්ව එකඟ කරවා ගත්තේය. ඔහු ඒ සඳහා කල්තියා වැඩි මුදලක් වැයකොට පිටරටකින් ගයි ෆෝව්ක්ස් වෙස්මුහුණු රාශියක් කල් ඇතිව ගෙන්වා ගත්තේය. 12ක් නාට්‍ය අවසානයේ ප්‍රේක්ෂකයන් ඉදිරියට එද්දී 2012.12.12 දා නාට්‍ය ශිල්පීහු සැවොම එම වෙස්මුහුණ පැළඳ ආවෝය. ප්‍රේක්ෂකයෝ අසුනින් නැගිට අත්පොළොසන් දෙන අතර ඊට බුහුමන් පෑවෝය. සියල්ල සාර්ථක විය.

නාට්‍ය අධ්‍යක්ෂක අතුල පතිරණ දැඩි වෙහෙසක් හා මිලක් වැයකොට ගෙනා ගයි ෆෝව්ක්ස් වෙස්මුහුණ 2013 වෙසක් දිනවල මහරගම රුපියල් 50ට හැටට විකුණන්නට තිබුණි. වෙන රටවල විරෝධතාවන්ට භාවිත වූ ගයි ෆෝව්ක්ස් වෙස්මුහුණ වෙසක් බලන්නට යන තරුණයන් බැඳගෙන යන බහුරූ අතර වැනෙනු පෙනෙන්නට තිබුණි. අවුරුදු 400ක් ඉක්ම ගිය පසුවත් පාර්ලිමේන්තුව පුපුරවා හරින්නට උත්සාහ කළ දිනය බ්‍රිතාන්‍ය වැසියෝ ගිනිකෙළි පත්තු කර සතුටු සිතින් සමරති. ඒ වෙනුවෙන් බිහිවූ සිතුවම් රාශියකි. චලන සිතුවම් ගණනාවකි. පාර්ලිමේන්තුව උත්තරීතරත්වයට පත් කරන්නාට මෙන්ම එය විනාශ කරන්නට උත්සාහ දැරෑ තැනැත්තාට ද බ්‍රිතාන්‍යයන් වැඩි වෙනස්ව සලකා නැත.

 සමන් පුෂ්ප ලියනගේ