2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

සිම්පල් සයිමන්ලා මූණු පොතේ පොරවල් වෙලා

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

- කිවියර පරාක්‍රම කොඩිතුවක්කු

අපගේ විශිෂ්ටතම කවියකු වශයෙන් ගෞරව බහුමානයට පාත්‍රව සිටින පරාක්‍රම කොඩිතුවක්කුගේ නවතම සාහිත්‍ය කෘතිය සකල සිරින් පිරි කවි කොළේ නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ. එම කෘතිය හා සාහිත්‍ය ගැන කිවියර පරාක්‍රම කොඩිතුවක්කු දැක්වූ අදහස් කිහිපයකි මේ.

උගත් සම්මානිත කවියකු වන ඔබ අපේ නූගත් ගැමි කවියාගේ කවි කොළය ගැන පර් යේෂණයක් කළා. එවැනි පෙළඹවීමක් ඔබට ඇති වූයේ කොහොම ද..?

කවිකොළ කිවියර නූගතෙක් නොවෙයි. ඔහු පොතේ උගතකු නොවන බව ඇත්තයි. එහෙත් මේ ජන කවියා දැනුමැති නැණගුණ ඇති කවියෙක්. පොළව සමඟ සමාජය සමඟ දවස ගතකරන සාමාන්‍ය ජනයා තුළ වෙනමම ඥාන ශක්තියක් බිහි වෙනවා. හුදී ජනයා කියන්නේ ඒ යහපත් පොදු මිනිසුන්ටයි. මම සම්භාව්‍ය ආයතනික උගතෙක් නොවෙයි. සමාජ කවියෙක්. මහජන බුද්ධිමතෙක්. මගේ සිතත් කයත් වැඩුණේ සුළු ජනයා සමඟයි. ඒ නිසා මගේ වීරයන් වුණේ ප්‍රබුද්ධ පඬිවරුන් නොව, හුදෙකලා කලාකරැවන් නොව සමාජය අමතන අවදි කරවන හඬ නගන මිනිසුන්. ගජමන් නෝනා ගැනත්, ජෝතිපාල ගැනත්, ක්ලැරන්ස් ගැනත් වතුකරේ දෙමළ කම්කරු කවීන් ගැනත් ගම්වල ගොවි කම්කරැ ජනයා ගැනත් මම කාව්‍ය නවකතා ලිව්වේ ඒ නිසයි. ගිලීගිය ටයිටනික් නැව් වැනි ඒ සමාජ වීරයින් ගොඩට ගැනීමයි අවුරුදු 55කට වැඩි මගේ ලේඛන ජීවිතයේම මම සිදුකර ඇත්තේ. මේ ගොඩනැගීම් අද බටහිර විචාරකයින් හඳුන්වන්නේ ටයිටනික් යථාර්ථය කියායි.

එතකොට කවි කොළයත් යටපත් වූ සාහිත්‍යයක් ද?

යටපත් කරන ලද කලාවක්. ජනතාවගේ ජන කලාවන් සුළු (චූල) සාහිත්‍යයක් ලෙසත් සමාජයේ ඉහළ තට්ටුවේ සම්භාවය අයගේ කලාවන් මහා සම්ප්‍රදාය ලෙසත් තීන්දු කරන බමුණු මතවාදයක් ඉතිහාසය මුළුල්ලේ තිබෙනවා. අපේ රටේ කෝට්ටේ යුගයෙන් පසු බටහිර ආක්‍රමණයක් සිදු වුණා පමණක් නොව පොළොන්නරැ යුගයෙන් පසු අපේ සාහිත්‍ය කලාවට ඉන්දීය ආක්‍රමණයක් සිද්ධ වුණා. පාලි සකු භාෂා උගත් ගිහි පැවිදි උගතුන්, කවීන් අපේ දේශීය කවි කතා මඟ අතහැර භාරතීය සකු රීතියක් රසවාදී අලංකාරික මඟක් පුදන්නට වූ නිසා අපේ දේශීය කවි මං යට ගියා. කෝට්ටේ යුගයෙන් පසු මහනුවර මාතර යුගවලදී එය මහවැලියක් සේ පැනනැංගා. කොළඹ අවදියේ කවි කොළය නව ජන කලාවක්. එය සොයා පාදාලීමයි, මම සකල සිරින් පිරි කවි කොළේ ගවේශණයෙන් මුදුන්පත් කළේ.

ඔබ කවි කොළය හඳුන්වන්නේ සුළු ජානයාගේ මහා සන්නිවේදනය සැටියටයි. ඒ ගැන කතා කළොත්?

අපේ දේශීය කවිය මුල සිටම පොදු ජනතාවට බණ මඟ ගැන සන්නිවේදනය කළා. මෙරට පොදු ජනයාගේ අධ්‍යාත්මය ගොඩනැගුණේ මේ සාරදහම් කවි මගෙන්. මහනුවර යුගය වනවිට සමාජ පෙරළිත් සමඟ ජන කවිය මහා සමාජ කවියක් බවට පෙරළී ගියා. කවි කොළය ඒ නව ජන කවිකලාවයි. එය හුදකලා සාහිත්‍යයක් නොවෙයි. ඔහු තනිව කවි ලියූ මමංකාරයෙක් නොවෙයි. 1900 එදා ඉංග්‍රිසි පාලන අවදියයි. සුදු පාලන ක්‍රමය මහා සමාජාආර්ථික - සංස්කෘතික යටත්විජිත ආක්‍රමණයක්. ඉන් රට ජාතිය මුදාගැනීමයි ධර්මපාලතුමාගේ අරගලය වුණේ. එය හුදෙක් බෞද්ධ පුනරුද ව්‍යාපාරයක් නොවෙයි. රට නිදහස් කර ගැනීමට නම් රටේ ඉහළම සම්පත්ති දෙක වන ධාන්‍යය හා ධ්‍යානය (ආර්ථික අධ්‍යාත්මය) රැකගත යුතුය යන මහා සමාජමුක්ති සූත්‍රයක් ධර්මපාල චින්තනය තුළ තිබුණේ. එය හුදෙකලා වුණේ කළු සුද්දන්ගේ හා සංඝයාගේ නායකත්වයක් නොලැබුණු නිසා. එහෙත් ධර්මපාලයන්ගේ සිංහනාදය වටා ඒ අවදියේ කවි කතාකරැවන් සැම ඒකරාශී වුණා. 

මෙහිදී කවිකොළ කිවිවරයාත්, රබන් විරිදුකරුවාත්, ටීටර් සිංදුකාරයාත්, සයිමන් ද සිල්වා, පියදාස සිරිසේන වැනි මුල් නවකතාකරැවනුත් කොළඹ කවියාත් එකම පාලමකට නැගී බටහිර පාලන ක්‍රමයේ මහා උවදුර මහා වියවුල ගැන මහා සන්නිවේදනයක් කළා. කවි කොළය ජාතික - සංස්කෘතික අරගලය හා ගැටි ගැටී හඬ නැගූ සැටි විශ්මයජනකයි. සිරිලක ආහාර නිදහස, අපට වෙච්චි දේ, පෙර සිරිත් නැතිවී පරසිරිත් බෝවීම, නවීන අධ්‍යාපන අවුල, කළු සුද්දන්ගේ සැටි, මහා ඉඩම් කොල්ලය, තරැණයන්ගේ සංකර පෙරළිය, දුස්සීල සඟුන්ගේ විප්‍රකාරය, රට ප්‍රපාතයට වැටීම, සිංහලයා පාරට වැටීම, සුරා යකුගේ දිෂ්ටිය, අබුද්දස්ස කාලේ නොහොත් රට යන තාලේ, රට තණකොළ කෑම ආදී කවි කොළ දසදහස් සංඛ්‍යාතයක් ගම් දනව්වල බුලත්විට මෙන් ගෙන් ගෙට බෙදී ගියා.

දූෂිත දේශපාලනයට එරෙහිවත් කවි කොළ ලියූ බව ඔබ මේ කෘතියේ සඳහන් කරනවා?

ඔව්... බොරු වැඩවර්ජනවලට ගමේ දූෂිත සමූපකාරයට එරෙහිව, හමුදාවට එරෙහිව, දුසිල් සඟුන්ට එරෙහිව, දූෂිත දේශපාලනයට එරෙහිව ලියැවුණු කවි කොළ සමාජ සිත කම්පනය කළා. කවි කොළය කවියත් සමාජයක් අතර තිබූ හිඩැස සම්පූර්ණ කළා යැයි වික්‍රමසිංහ දුටුවා. කවි කොළය නැත්තට නැතිවී යන්න තිබූ ජන කවි සාහිත්‍ය රැකගත් මහා පවුරයැයි මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා කියා සිටියා. කවි කොළයේ මහා සන්නිවේදනය ගැන තේරුම් ගත්තේ ඒ ප්‍රාඥායින් දෙදෙනා පමණයි. විශ්වවිද්‍යාලවල සන්නිවේදනය උගන්වන ආචාර්යවරුන් මේ ජන කලාවන්ගේ සන්නිවේදන ශක්තිය ගැන කිසිත් දන්නේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයම ජන සමාජයෙන් දුරස්ථ වීම රටේ අභාග්‍යයයි.

ඔබ මෙය නොකළා නම් කවි කොළය ගැන පර්යේෂණ  ග්‍රන්ථයක් කිසිවකු අතින් බිහි නොවන බව පේනවා. මේ දැවැන්ත කාර්යයේදි මුහුණ පෑ අභියෝග ගැටලු කොතෙකුත් තියෙන්න ඇති නේද?

මුළු ගමනම අභියෝගයක්. විසි වයසේ සිට අවුරුදු 70 වන තුරුම ජීවිත කාලයක අභියෝගයක්. 1865 සිට 1940 දක්වාත් 1940 සිට 2010 දක්වාත් පරම්පරා දෙකක කවි කොළ, කවීන් සොයා රටේ සිව්දිග ඇවිද්දා. කිලෝ 20ක් තරම් බර ටේප් රෙකෝඩරයකුත් අරගෙන ගිය ගමන්වල දුක නොදැනුණේ තරුණ වයස නිසා වෙන්ඩැති. මඟ වැරදී කඩපිල්වල ලගින්නට සිදුවුණා. 71-89 කාලවල පොලිසියේ ප්‍රශ්න කිරීම් ද සිද්ධ වුණා. අබලන් කුලී ගෙවල් දහයක පහළොවක සිටිද්දී එක් රැස් කළ කවි කොළ රාශියක් ගංවතුරට, වේයන්ට ගොදුරු වුණා. ලේඛනාගාරයේ කවි කොළ මුකුත් නැහැ. කෞතුකාගාරයේ ඇත්තේ මෑත අවදියේ කොළ සීයක් තරමයි. මේ පර්යේෂණ ග්‍රන්ථය ලිව්වේ මගේ අනෙක් නවකතා කෙටිකතා කවි විචාර පොත් 25ක් ලියන අතරේමයි. ගෙදර ජීවිතයක් නැති තරමයි. මට ඇති එක පුදුමය නම් බිරිඳ මා අත්හැර නොයෑමයි.

අද කවි කොළය සමාජයෙන් ඈත් වෙලා ගිහින් නේද?

කවි කොළය සමාජයෙන් ඈත් වීමක් නොවෙයි සිදුවුණේ. වෙනත් සන්නිවේදන මාධ්‍ය නොවූ ඉතිහාසයක ඒ සමාජ ඇමතුම ඉටුකොට තම දුක මෙහෙවර සම්පූර්ණ කිරීමට ඊට හැකි වීමයි. ඒ සමාජ අවකාශය සන්තෘප්ත කිරීමට හැකි වීමයි. ඉන් අදහස් වන්නේ නැහැ. කවිකොළ කලාව මියැදුණා කියලා. විදුලි මෙවලම් ලැබුණා කියලා මිරිස් ගල් වංගෙඩි පෙරළා දැම්මේ නැහැනේ. ඒවා වඩාත් සැහැල්ලු විදිහට සාදාගෙන අදත් වැඩ ගන්නවානේ. ගෝඨාභයගේ ජයග්‍රහණය ගැන කවි කොළයක් ලියැවුණා නම් එය දහස් සංඛ්‍යාතයක් අලෙවි වනු සැක නැහැ. කවි කොළ නොලියැවුණේ කවි කොළයක් හොඳ සේ ප්‍රබන්ධ කිරීමට උවමනා සම්ප්‍රදායික දැනුමක් අද කවීන්ට නොමැති නිසයි.

අද සුලබව කවි ලියවුණත් කවි කලාව වර්ධනය වී ඇති බවක් ඔබ දකිනවාද?

නිදහස ලත් තැන් සිට මෙරට මුල්බැසගෙන ඇති බොල් අධ්‍යාපන ක්‍රමය නිසා තරැණ පරපුරැ රාශියක් අලුතින් සිතන්නට බැරි නිශ්ක්‍රීය සමාජ කොටසක් බවට පත්වුණා. ඔවුන්ගේ සාහිත්‍ය කලාවන්ද වඳපීදිලා. විරාගය, චරිත තුනක්, අස්වැන්න ඉක්මවන නවකතා කෝ? සුදෝසුදු, පාළුගම, මස් ලේ නැති ඇට, භාවගීත, තේරිගී ඉක්මවන කාව්‍ය කෝ? දුන්න දුනුගමුවේ, හුණුවටයේ කතාව, මධුර ජවනිකා නාට්‍ය ඉක්මවන නාටක කෝ? දූ දරුවෝ, බෝගල සවුන්දිරිස්, ජීවිතයට ඉඩදෙන්න ඉක්මවන ටෙලිනාටක කෝ? 70-80 දශකවල කෙටි කතා ගීත චිත්‍රපට ඉක්මවන සමාජ සාරයක් ජීවිත සාරයක් ඇති නිර්මාණ කෘති නැති සමාජය කලා පිපාසයෙන් පෙළෙනවා. 

X කණ්ඩායමේ බොරු සාහිත්‍ය මතවාද, හඳගමලාගේ විජාතික ජාත්‍යන්තර සිනමාව, ව්‍යාජ සම්මානිත ස්වර්ණ පුස්තක, මහා සංස්කෘතික අපරාධයක් කරන රූපවාහිනී ටෙලිනාටක, සමාජයේ සංස්කෘතික රුහැන සාරධර්ම පදනම පුපුරුවා දමමින් තිබෙනවා. මේ විනාශයෙන් සමාජය මුදා ගැනීමට අවසාන අවස්ථාවයි අද උදාවී තිබෙන්නේ. එය ගැන සංස්කෘතික විඥානයක් - සභ්‍යත්ව දැක්මක් නැති වඳ කලාකරුවන් බහුතරයක් පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණු වේදිකාවේ ලැඟුම් ගත්තේ එය ඔවුන්ට ඇති ඛේදජනක වීරයින්ගේ (Tragic Hero) වඳවීම නිසයි.

අද නූතන තාක්ෂණය ගම්වලත් පැතිර ගිහින්. මුහුණ පොත අලුත් කවීන්ගේ වේදිකාව වෙලා. මෙය ඔබ දකින්නේ කොහොමද?

ඇත්තෙන්ම නූතන තාක්ෂණය තවමත් ගමට ගිහින් නැහැ. කඳු ගණන් කුණුවෙන දෙහි අස්වැන්න යුෂ කරලා අසුරන සරල යන්ත්‍රයක්වත් ගමට හඳුන්වා දී තිබෙනවාද? ඕලිව් ගෙඩි 20ක් පැණි දවටා බෝතල් කර එවන විදේශීය නිෂ්පාදන අධික මිලට වෙළෙඳ පොළේ තිබෙනවා. ඖෂධීය ගුණ ඇති නාරං, වෙරලු, නෙල්ලි එසේ නිපදවන තාක්ෂණයක් ගමට ලබාදී තිබෙනවා ද? අධික මිල ජංගම දුරකතන ගමේ ගෙදරක තුන හතරක් තිබෙනවා. කිසිම නිෂ්පාදන කටයුත්තක් නොකරන ගැමි තරුණයන් ණය ක්‍රමයට යතුරැ පැදි අරන් බොරැ සෝබනයට යනවා.

මේවා ගමට තාක්ෂණය ලැබීම නොවෙයි. වෙළෙඳ තාක්ෂණයට ගම හසුවීමයි. මුහුණු පොතෙන් ලොව කොහෙවත් සාහිත්‍ය කලාවක් බිහි වී නැහැ. එය විප්ලවීය සන්නීවේදන මාධ්‍යයක්. රටේ හිටපු නායකයන් ලෝකයට ඇහෙන්න විවේචනයට කිරීමට සිම්පල් සයිමන් කෙනෙකුට පුළුවන් වීම හාස්කමක් නොවෙයිද? ඒ ප්‍රබල මාධ්‍ය අද බොරු උගතුන්ගේ මූණු දැක්මක් වෙලායැයි බටහිර මාධ්‍ය විශේෂඥයින් ප්‍රකාශ කරනවා. මූණු පොතින් එක් රැයකින් කවීන් වන්නට තැන් කරන බොරු සංකල්පනාකාරයින් සුලබ වීම සමාජයක බුද්ධි  හීනතාවයේ ලකුණක්. හොඳ කවිය හෘදය සැත්කමක් වැනි ගැඹුරු සෝදිසියක්. සැබෑ කවිය මුහුණු පොතක් නොව හදවත් පොතක්. 

 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00