බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයේ උපාසකවරු පන්සියයක් නිතර විහාරයට ආවා. ධර්මය ශ්‍රවණය කළා. ඉන් ඔවුන්ගේ සිත් ශ්‍රද්ධාවෙන් පිරුණා. තමන් සතු සම්පත් ඔවුන්ට එපා වුණා. ඒවා අඹු දරුවන්ට පැවරුවා. දෙව්රම් වෙහෙර අසල ආරාමයක් හදාගෙන නතර වුණා.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර ඇසීම නිසාත් පෙර කරන ලද පින් බලය නිසාත් වැඩි දිනක් යන්න පෙර සමහර දෙනා සෝවාන් ඵලයට පත්වුණා. තවත් අය අනාගාමී වූවා. තවත් අය සකෘදාගාමී වුණා.
ජේතවනාරාමයේ වැඩවසන භික්ෂූන් වහන්සේලාට දන් ගෙනෙන අය මේ උපාසකවරුන්ටත් දන් ගෙනාවා. පූජා කරනවා. උපාසකවරුද ඒවා පින් දී බාර ගන්නවා.
මේ උපාසකවරුන්ට දැහැත් කූරු සොයා දෙන ආවතේව කරන පිරිසක් උන්නා. ඒ අයත් පන්සියයක් වුණා. ඔවුන්ට කෑමට ලැබුණේ උපාසකවරුන්ගේ ඉතිරි වුණු ඉඳුල් බත්. ඒ නිසා ඔවුන් (විඝාසාදයෝ) (හිඟන්නෝ) ලෙස හැඳින්වූවා. මේ විඝාසාදයෝ යන එන මං නැති අය නිසා නිදාගන්න වුණේ දෙව්රම් වෙහෙර බිමේ. හැසිරුණේ ද බයාදු ගතියෙන්. ඒ නිසා විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලාට ඔවුන්ගෙන් කරදරයක් හිරිහැරයක් වුණේ නෑ.
මේ අතර දිනක් ධනවත් උපාසක මහතෙක් මේ විඝාසාදයන්ටත් එක්ක දන් ගෙනාවා. ඒ දානය ඉතාම හොඳ මිහිරි බොජුන්වලින් යුක්ත වුණා. එම ආහාර කෑමෙන් පසු විඝාසාදයෝ වෙනස් වුණා. උන්හිටි තැන් අමතක වුණා. කෑකෝ ගැසුවා.
ඒ කාරුණික උපාසකවරු ඔවුන්ගේ මේ නොහික්මුණු ගතිය නිසා ලජ්ජාවට පත්වුණා. ඔවුන් කීකරු කරගන්න උත්සාහ ගත්තා.
පලක් වුණේ නෑ. අමතක කරගන්න බැරිව නිහඬ වුණා. ඒ විඝාසාදයෝ ඔවුනොවුන් වාද විවාද කරමින් පැරුණි කතා කියමින් වෙහෙර බිමේ තැන තැන උන්නා. එය මහා ඝෝෂාවක් වුණා.
ඔවුන්ගේ කෑකෝ හඬ බුදුරජාණන්වහන්සේට ඇසුණා. ආනන්ද හාමුදුරුවෝ කැඳවූවා. උන් වහන්සේ වැඩම කර එකත්පස් වුණා.
ආනන්දය මේ කුමන අරගලයක්ද? බුදුන් විමසුවා. ස්වාමීනි! මම බලා එන්නම් කියා උන්වහන්සේ පිටත් වුණා. උපාසකවරුන් හමුවී සියලු විස්තර දැනගත්තා. බුදුන් වෙත පැමිණුනා. බුදුන්ට උපාසකවරුන් කී විස්තරය කිව්වා.
ඒ කාලෙත් ඔහොම වුණා
ආනන්දයෙනි! පෙරත් ඔය උපාසකවරු මිහිරි පැන් බී නිහඬව කල් ගත කරද්දී. ඔය විඝාසාදයන් ඒ පැන් රොඩු සමඟ බී මහත් කලබැගෑනියක් කළා. බුදුන් වදාළා.
ඒ කෙසේද ස්වාමීනි? ආනන්ද හාමුදුරුවෝ විමසුවා.
එවිට බුදුරජාණන්වහන්සේ මෙම කතාව වදාළා.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජ කෙනකුට නැණවත් ඇමැතිවරයෙක් උන්නා. ඒ ඇමැතිවරයා තමයි රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේ.
අශ්වයෝ කොටළුවෝ අතර වෙනස
මේ අතර බරණැසට අයත් පාසල් දනව්වක සතුරු අරගලයක් ඇතිවුණා. බඹදත් රජතුමා ඇමැතිවරුන් ද බළ සෙන්ද ගෙන ගොස් සතුරන් සමඟ සටන් කළා. සටන ජයගත්තා. ආපසු ආවා. රජතුමා ඉන් වෙහෙසට පත්වුණා. එතුමා සිතුවා මමත් එක්ක ගිය අනෙක් අයටත් මේ වෙහෙස ඇති කියා. එසේ සිතමින් රජ ගෙදරට ආවා. ඒ සටනට සහභාගී වූ සියල්ලන්ටම රජ බොජුන්වලින් සැලකුවා. මේ සටනට අශ්වයන් පන්සියයක් ගෙන ගියා. උන්ගෙන් ලොකු සේවයක් සිදු වුණා. රජතුමා කිව්වා. අපි උන්ට ද සැලකිය යුතුයි. ඒ නිසා මිදි යුෂ අශ්වයන්ට බොන්න දෙන්න. ඇමැතිවරුන්ට නියෝග කළා.
ඇමැතිවරු රජතුමාගේ අණ නිසා හොඳම මිදි ගෙන මිරිකවා යුෂ ඒ අශ්වයන් පන්සියයටම දුන්නා. අශ්වයන් කුස පිරෙන තුරැ මිදි යුෂ බිව්වා. ඉතිරිත් වුණා. මහන්සිය නිසා උන් නිදාගත්තා. ඇමැතිවරැ රජතුමා යළි හමුවුණා.
දේවයන් වහන්ස අශ්වයන් මිදි යුෂ බී නිදි. ඉතිරි මිදි යුෂ කුමක් කරන්නද? ඇසුවා.
ඒ මිදි යුෂයි මිදි ලෙලි දමා අපේ බඩු ගෙන ගිය කොටළුවන්ට දෙන්න. උන්ටත් මහන්සි ඇතිනේ. රජතුමා කිව්වා.
ඇමැතිවරු එසේ කළා.
ඒ මිදි ලෙලි කෑ කොටළුවෝ කෑ ගසමින් නටමින් රාජංගනය පුරා දඟලන්න පටන් ගත්තා. රජ ගෙදරට එය කරදරයක් වුණා. රජතුමා නැණවත් ඇමැතිතුමා කැඳවා බලන්න පිරිසුදු මිදි යුෂ බිව් අශ්වයන් නිහඬව නිදි. අශ්වයන් බී ඉතිරි කළ මිදි යුෂවලට මිදි ලෙලි දමා කොටළුවන්ට දුන්නා. උන් ඒවා කාබී කෑගහනවා. නටනවා. ඊට හේතුව කුමක්ද ඇසුවා.
දේවයන්වහන්ස! අශ්වයෝ උතුම් ජාතියේ නිසා උතුම් බීම බී දවස නිහඬව ගෙවනවා. කොටළුවෝ නීචයි. උන්ට ඒ උතුම් බීම ඔරොත්තු දෙන්නේ නෑ. උමතු වෙලා දඟලනවා. ඇමැතිවරයා කිව්වා. රජතුමා කෝප වුණා. කොටළුවන් රාජාංගනයෙන් එළවා දැම්මා. ඒ කොටළුවන් තමයි ඔය විඝාදයෝ. බුදුන් වදාළා.
වාලෝදක ජාතකනය ඇසුරින්