2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

දෙවියන්ට නොපෙනුණ බණ්ඩාරගම දෙවොල් මහ විපත

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

දෙවියන් වැඩ සිටින තැන දෙවියන්ට නොපෙනී අපරාධයක් සිදුකරන්න පුළුවන් නම් ඒ දෙවියන්ගෙන් කෙබඳු පිළිසරණක් බලාපොරොත්තු වන්නද? පසුගිය දිනක බණ්ඩාරගම රණවිරු මාවතේ දේවාලයක් පවත්වාගෙන ගිය නිවසකට කඩා වැදුණු මැරයන් පිරිසක් එහි විසු දේව මාතාවට හා ඇගේ වයෝවෘද්ධ මාතාවට පහර දී කපා කොටා පළාගොස් තිබුණේ එබඳු අපරාධයක සලකුණු ඉතිරි කරමිනි.

මෙම නිවස ඉදිරිපිට අඩි ගණනාවක් උසට බඳින ලද තාප්පයකි. ඒ තාප්පයටම ගැලපෙන ගේට්ටුවක් ද වේ. ගෙවත්තේ ඉදිරිපසින් තාප්පයක් තිබුණ ද පිටුපස කිසිදු ආවරණයක් නැත. ගෙවත්තේ පිටුපස කොටස විවෘතව පවතින්නේ ලඳු කැලෑවකටය. මේ ලඳු කැලෑවේ අලුයම සිට යතුරුපැදියක් තිබෙනු දුටු අසල්වැසි නිවැසියකු ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා දන්වා තිබිණි.

ලද තොරතුර අනුව එම ස්ථානයට පැමිණි බණ්ඩාරගම පොලිසිය යතුරුපැදිය සොයාගත් අතර ඒ අවට පරික්ෂා කළද යතුරුපැදියේ හිමිකරුවෙක් හෝ එය පදවාගෙන පැමිණි අයෙක් සොයාගත නොහැකි විය. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා එය පොලිස් භාරයට ගනු ලැබිණ.

පොලිසියට රැගෙන ගිය යතුරුපැදිය පරික්ෂා කර බලන විට එහි පවතින්නේ ව්‍යාජ අංක තහඩුවක් බව හෙළි විය. යතුරුපැදියේ නියම අංක තහඩුවට උඩින් ව්‍යාජ අංක තහඩුව අලවා කිසිවකු විසින් භාවිත කර ඇති බව එයින් තහවුරු විය. එසේ යතුරුපැදි භාවිත කරන්නේ අපරාධකරුවන් විසිනි. එසේ නම් මේ යතුරුපැදිය එක්කෝ අපරාධයක් කර ගෙනැවිත් මෙහි දමා ගියා විය හැකිය. නැත්නම් මේ අවට අපරාධයකට පැමිණ යතුරුපැදිය එහි දමා ගියා වන්නට ද හැකිය.

පොලිසිය ගැටලුව සුලමුලක් සොයා ගැනීමට වෙහෙසෙමින් සිටියදී දෙවැනි හදිසි ඇමතුම් පණිවුඩය ද ලැබිණ. එයින් කියවුණේ යතුරැපැදිය සොයාගත් ස්ථානය ආසන්නයේ පිහිටි දේවාලය පවත්වාගෙන යන නිවස තුළින් මාරාන්තික හඬක් ඇසුණ බවය. ලොකු රණ්ඩුවක් සිදුවෙන බවත්, ඇතැම් විට එය මරණයකින් කෙළවර විය හැකි බවත් එම තොරතුරෙන් සැක කළ හැකි විය. 

වහාම එම ස්ථානයට ගිය පොලිසියට මුහුණ දෙන්නට සිදුවූයේ තවත් ප‍්‍රශ්නයකටය. අඩි ගණනාවක් උස තාප්පයත් එයටම සරිලන ලෙස යොදා ඇති ගේට්ටුවත් නිසා ඇතුළත සිදුවන්නේ කුමක්දැයි පොලිස් නිලධාරීන්ට සොයා ගැනීම අසීරු විය. ඔවුන් ගේට්ටුවට ගසා කතා කරන්නට ගියේ නැත. එයින් කලබලයට පත්වන අපරාධකරුවන් පළා යා හැකි යැයි ඇති වූ සැකය නිසා පොලීසිය ප‍්‍රවේසමට තාප්පය මතට නැග වත්තට ඇතුළු විය.

වත්තට පැන ගත් පොලිස් නිලධාරීන් නිවසේ දොරට ගසමින් එය විවෘත කරන ලෙස ඉල්ලා සිටිය ද නිවස තුළින් මීක් හඬක් නැත. “දෙයියනේ ඇතුළේ හිටපු ඔක්කොම මරලා දාලාවත්ද?” පොලීසියට සැකයක් ඇති විය. ටික වෙලාවක් නිවසෙන් එන ශබ්ද කෙරෙහි අවධානය යොමු කළ පොලීසියට කිසියම් අයකුගේ කෙඳිරියක් සවන් වැකිණ. අවසානයේ ඔවුන් තීරණය කළේ දොර කඩා හෝ ගෙට ඇතුළු වීමටය.

පොලීසිය දොරට පයින් ගසද්දී අපරාධකරැවන් පිටුපස දොරෙන් පළාගියේ කරන්නට ආ වැඩේ අතරමග නවතා දමමිනි. ඔවුන් සිතූ පරිදි නවතා ආ තැන යතුරුපැදිය නොවීය. අන්තිමේදී කැලෑව පීරාගෙන මහමඟට පැනගත් ඔවුහු බණ්ඩාරගම පිළියන්දල බසයකට නැග පලා ගියහ. ඔවුන් ගම්මන්පිල ප‍්‍රදේශයෙන් බසයෙන් බැස ගත් බවට ද මේ වනවිට තොරතුරු වාර්තා වී තිබේ.

නිවසට ඇතුළු වූ පොලීසියට දැක ගත හැකි වූයේ තැන තැන කැපුම් තුවාල සහිත තරුණ කාන්තාවක් හා බෙල්ලේ බරපතළ කැපුම් තුවාලයක් සහිත ලේ පෙරාගෙන වැටී සිටි වැඩිහිටි කාන්තාවකි. තවත් කාමරයක බිරන්තට්ටුව බලා සිටිනා කුඩා දරුවන් දෙදෙනෙකි. වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලිසිය තුවාලකාරියන් දෙදෙනා රෝහල් ගත කිරීමට පියවර ගත්තේය. ඒ අතර තවත් කණ්ඩායමක් අපරාධකරුවන් ලුහු බඳින්නට යවනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ පරිදි අපරාධකරුවන් පැමිණ ඇත්තේ වෙස් මුහුණු බැඳගෙනය. ඔවුන් එහි පැමිණ තිබුණේ අලුයම හතරට පමණය. පාන්දරම දේව මාතාව ගේ මව පිටුපස දොර ඇරගෙන එළියට යද්දී ඇයට පිහි පහර එල්ල කරමින් නිවස තුළට ඇදගෙන ගොස් දොර වසා තිබේ. ඉන්පසු දේව මාතාවට ද පහර දී ඇති මෙම අපරාධකරුවන් බියපත්ව කෑගසන දරුවන්ගේ මුඛය වසා සියලු දෙනාම ලණුවලින් බැඳ දමා තිබේ.

පොලීසිය පැමිණ ගෙයි ඉදිරිපස දොරට පහර දෙන විට දරුවන්ගේ කට වසාගෙන සිටි අපරාධකරුවන් දොර කඩාගෙන පොලීසිය ඇතුළට එනු ඇතැයි බයට පිටුපස දොරෙන් පලාගොස් තිබේ. දැඩි ලෙස බියට පත් දරුවෝ අපරාධකරුවන් පළාගිය පසුවද කිසිවක් නොදොඩා බලා සිටියහ.

සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට ප‍්‍රකාශයක් ලබාදෙමින් දේව මාතාව පවසා තිබෙන්නේ අපරාධකරු මීට පෙර අවස්ථා කිහිපයකදී දේවාලයට පැමිණි අයෙක් බවය. ඔහු නීත්‍යානුකූල නොවන කටයුත්තක නියැලී සිටින වග සාත්තරයකදී කියවුණ බවත් එයින් පසුව තමන් සමඟ උරණව විටින් විට මරණීය තර්ජන එල්ල කළ බවත් දේව මාතාව පොලීසියට පවසා තිබේ.

එහෙත් පොලීසිය මුල සිටම සැක කළේ මෙහි ඊට එහා ගිය වෙනත් ගැටලුවක් තිබිය හැකි බවය. අපරාධයට සැකකරුවන් දෙදෙනකු පැමිණ තිබූ අතර ඒ දෙදෙනාගෙන් එක් අයෙක් අපරාධය සැලසුම් කළ ප‍්‍රධාන සැකකරු බවට ද දේව මාතාව හඳුනාගෙන තිබේ. ඔවුන් ගෙනා උල් ආයුධ ද එහි දමා ගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ පීරමින් අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබේ. දේව වරමින් සාස්තර කියූ දේව මාතාවට තමන්ට වෙන්නට ගිය අපරාධය කලින් දැකිය නොහැකි විය. එසේම ඔවුන්ට විපතක් වනවිට බේරාගන්නට දෙවියෙක් සිටියේ ද නැත. කොතැනක හෝ වරදක් සිදුව තිබේ. කොතැනක හෝ බොරුවක් සිදුව තිබේ.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඩී. එස්. වික‍්‍රමසිංහ, සහකාර පොලිස් අධිකාරී ජේ. එන්. සේනාරත්න, මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක කේ. ඩබ්. එල්. වික‍්‍රමරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දර්ශන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චන්දන ජයවර්ධන, සැරයන් 27061 අනුර, පොලිස් කොස්තාපල් 89932 බස්නායක යන මහත්වරු වැඩිදුර පරික්ෂණ සිදුකරති.

►මුදිතා දයානන්ද සමඟ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00