2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

නැකැත නිසා කැඩුණු මංගල්ලය

2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:3044

සැවැත්නුවර රූමත් කුල දුවක් උන්නා. ඒ දුවගේ පියා ගම් නායකයෙක්. සැවැත්නුවරට කිට්ටු ජනපදයක ගම් නායකයෙක් මේ දුව දුටුවා. ඔහු හිතුවා තමන්ගේ පුතාට නම් ඇය ගැලපෙනවා කියා. ගම් නායකයා හමුවුණා. මගේ පුතාට ඔබේ දුව සරණපාවා දෙනවාද ඇසුවා.

මගේ අකැමැත්තක් නෑ. අප දෙගොල්ලම එක වගේ කුල ගැලපෙන අයනේ. ඔහු කිව්වා. ඒ වුණත් ඔබේ පුතයි මගේ දුවයි තවම හමුවෙලා නෑනේ. ඒ දෙන්නත් කැමැති නම් නේද හොඳ? යැයිද ඔහු ඇසුවා.

ඔව්.. මම පුතාට එන්න කියන්නම් කිව්වා. ඔහු යන්න ගියා.

ඒ පුතා ආවා. මනාලිය දැක්කා. දෙන්නට දෙන්නා කැමැති වුණා. වැඩිහිටියන් සමඟ කතාබහ කර මඟුලට දින නියම කරගෙන ඔහු ගියා. ගිහින් පියාට දිනය ගැන කිව්වා.

ඒ ගම් නායකයා ගරු කරන ආජීවකයෙක් උන්නා. ඔහු ඔහු හමුවෙන්න ගියා. ස්වාමිනී මගේ පුතා සරණ මංගල්ලයක් කර ගන්න යනවා. දිනයකුත් නියම කරගෙන තියෙනවා. මේ දිනයට යහපත් නැකැතක් හදා දෙන්න කිව්වා.

ආජීවකයා කල්පනා කළා. මොහු මගෙන් පළමුව අහන්නේ නැතිව දින නියම කරගෙන ඇවිත් දැන් නැකැත් අහනවා. මොහුට නැකැත් කීම මට මදිපුංචිකමක් වෙනවා කියා හිතුවා. නිහඬව උන්නා.

ස්වාමිනී! ඇයි නිහඬ? නැකැත් නැද්ද?

ඔය දිනයට සරණ මංගල්ලය ගන්න එපා.

ඇයි ස්වාමිනී?

මම කියන දෙය අහන්න. එදිනට තියෙන්නේ අයහපත් නැකැත්. මංගල්ලය කළොත් මහ විනාශයක් වෙනවා. ඊට පසුදිනයක ගන්න.

ගම් නායක එය පිළිගත්තා. බිය වුණා. කල්පනා කර කර ගෙදර ගියා. පුතාට විස්තරය කිව්වා.

ඔහු එහෙනම් පියාණෙනි මඟුල පසු දිනක කරමු කිව්වා.

වෙන් කරගත් දින මනාලයා ආවේ නැති නිසා දුවගේ පියා කෝප වුණා. අපි මේ මඟුලට බොහෝ සම්පත් වැය කළා කිව්වා. ඔවුන් වෙලාවට ආවෙත් පණිවිඩයක් එව්වෙත් නෑ. අද මම මේ මඟුල් දිනේම දුව සරණපාවා දෙනවා කිව්වා. ගමේ දුවට හිත ගිය තරුණයෙක් උන්නා. ඔහු කැඳවාගෙන ඇවිත් දුව බන්දලා දුන්නා.

ඕනෑ වෙලාවට ගෑනු නෑ

ජනපදයේ උන් මනාලයා පසුදින පියාත් නෑ පිරිවරත් සමඟ මනාලිය ගෙන යන්න ආවා.

ඇයි ඔබ ආවේ? මනාලියගේ පියා ඇසුවා.

අපි ආවේ ඔබේ දුව සරණ පාවාගෙන යන්න.

ඔබලට ඕනෑ ඕනෑ වෙලාවට දෙන්න ගෑනු මෙහෙ නෑ. අනෙක හිතාගන්න අපිත් මේ ජනපදයේ වැදගත්තු කියා. දැනගන්න ඔහේලා වගේ වචන දෙකේ අයත් නොවෙයි අපි.

සමාවෙන්න දන්වන්න බැරි වුණාට. වෙන් කරගත් දිනයට නැකැත් නෑ. හරිම අසුභ දවසක්. අද හොඳ නැකැත් දවසක්. අපි මඟුල කරමු.

කා එක්කද?

මගේ පුතයි ඔබේ දුවයි.

ඒක කෙරෙන්නේ නෑ. ඔබට එදා අසුභ වුණාට මට සුභ වුණා. මම දුව අපේ ගමේ තරුණයකුට සරණපාවා දුන්නා.
ඔබ කළේ ලොකු වැරැද්දක්.

අපිද වැරුදි ඔබද? අපි ලොකුවට ධනය වැයකොට මඟුලක් අරන් බලන් උන්නා. මනාලයා නෑ. මොන නව නින්දාවක්ද ඒ? ආ අතක් බලාගෙන යන්න.

එහෙම කියන්න එපා. මමත් ජනපද ප්‍රධානියෙක්.

ඔබ කවුරු වුණත් බොරුකාරයෙක්.

එසේ ඔවුන් කලහ කර ගන්න හැදුවා. අනෙක් අය එය නතර කරවාගත්තා. මනාලයාගේ පැත්තේ අය බැණ බැණ යන්න ගියා.

නැති කරගත් මඟුල

දෙව්රම්වෙහෙරේ දම් සභාවේදී භික්ෂූන් වහන්සේලා මේ ආජීවකයා කළ දෙය ගැන කතාබහ වුණා.

මහණෙනි! ඔය ආජීවකයා ඔය ලෙසටම මඟුලක් පෙර කලත් නැතිකර තියෙනවා. බුදුන් වදාළා. 

ස්වාමිනී! අපට එය වටහා දෙනු මැනවි. භික්ෂූන් ඉල්ලා සිටි විට මේ කතාව බුදුරජාණන් වහන්සේ වදාළා.

යටගිය දවස බරණැස් නුවර ගමක කුල දුවක් සරණපාවා ගන්න වෙනත් ගමක තරුණයෙක් ආවා. ඔය ලෙසට මංගල්ලයට දින වෙන්කර ගත්තා. ඒ තරුණයාගේ පියා ආජීවකයන් සරණ ගිය කෙනෙක්. තරුණයා මංගල දිනය ගැන පියාට කිව්වා. පුතා ඔබ වැරැදියි. දින නියම කර ගන්න පෙර ආජීවකතුමන්ගෙන් අහන්න එපායැ කියා ඔහු ආජීවකයා වෙත ගියා. කාරණය කිව්වා. එදිනට නැකැතක් ඇසුවා. මේ ආජීවකයාට තරහ ආවා. මේ මිනිහා හැම වැදගත් වැඩ කරන්නේ මගෙන් නැකැත් අහලා. පුතාගේ මඟුලට දින නියම කරගෙන ඇවිත් නැකැත් අහන්නේ. හොඳයි උඹට මඟුල් කවන්නම් කියා හිතුවා. පියා දෙස බලා ටික වෙලාවක් බලා සිට එදිනට මංගල්ලය කරන්න එපා නවත්වන්න කිව්වා.
ඇයි ස්වාමිනී!

එදින මඟුල කළොත් මහා විනාශයක් සිදුවෙනවා. 

ආජීවකගේ කීම මනාලයාගේ පියා පිළිගත්තා. පුතාට විස්තරය කිව්වා. මඟුල වෙන දිනකට ඔය ලෙසම කල් දැම්මා. මනාලියගේ අය එය නොදැන මඟුල ගත්තා. මනාලයා එනකම් බලා උන්නා. ඒ පියාට තරහ ගියා. මනාලිය වෙනත් තරැණයකුට සරණපාවා දුන්නා.

ඒ අතර ආජීවකගෙන් නැකැතක් බලාගෙන ඒ මනාලයා මනමාලිය කැඳවාගෙන යන්න ආවා. මනමාලියගේ නෑයෝ ඔවුන්ට බැණ වැදුණා. මනමාලයාගේ නෑයොත් ඉවසුවේ නෑ. රණ්ඩු කළා. මේ අතර නැණවත් වැඩිහිටියෙක් උන්නා. රණ්ඩුව නැවැත්වුවා. පමාවට කාරණය ඇසුවා. මනාලයාගේ පියා සියලු විස්තර කිව්වා.

ඒ වැඩිහිටියා හිනා වුණා. මිතුර! නැකැත්වලින් මොන ප්‍රයෝජනයක්ද? තාරකා රූපවලට කුමක්ද කළ හැක්කේ? ඔබ බොරැකාරයකුට රැවැටිලා. දැන් පමා වැඩියි. ආපසු යන්න කිව්වා.

ඔවුන් වෙච්ච දේට කම්පා වෙවී යන්න ගියා. ඒ ආජීවකයා තමයි මේ. බුදුන් වදාළා.

(නක්ඛත්ත ජාතිකය ඇසුරින්)
බී.පී.කේ. තිලක