කල්පිටිය මුහුදු තීරයෙන් විදේශීය රටවල සිට මෙරටට රැගෙන එන මත් ද්‍රව්‍ය සහ විවිධ භාණ්ඩ පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වුවද වාර්තා නොවන ආකාරයටද විශාල වශයෙන් නොයෙක් ජාවාරම් සිදුවන බව නොරහසකි. ඇතැම් රටවල සිට තවත් රටකට පහසුවෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කල්පිටිය යොදාගන්නේ පහසුවෙන් එය සිදුකර ගැනීමට ඇති හැකියාව ඔවුන් දන්නා නිසාවෙන් බව පැහැදිලි වෙයි.
කල්පිටිය මුහුදු තීරයේ සිදුවන නිතී විරෝධී ක්‍රියා වැළැක්වීමට නාවික හමුදාව යොදවා තිබුණ ද එයින් බේරී යාම එතරම් අපහසු කාර්යයක් නොවන්නට ජාවාරම්කරැවෝ සූක්ෂම ක්‍රමවේද භාවිත කිරීමට උපක්‍රමශීලි වී සිටිති.
කල්පිටිය ධීවර කර්මාන්තයෙන් ඉහළ මට්ටමක පවතින්නා සේම මත් ද්‍රව්‍ය සහ නීති විරෝධී විදේශීය භාණ්ඩ හොර රහසේ ධීවර යාත්‍රා යොදා ගනිමින් මහ මුහුද හරහා කල්පිටියට රුගෙන ඒමද දිනෙන් දින ඉහළ යමින් පවතී. මෙවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම එතරම් පහසු කාර්යයක් නොවී ඇත. ධීවරයන් මේ සඳහා යොමු වී තිබීම එයට හේතුවයි. බොහෝ අවස්ථාවලදී මෙවැනි කටයුතු කිරීමට වගකිව යුතු ඉහළ බලධාරීන්ගේ සහය ලැබී තිබීම තවත් කරුණකි.
ඉතිහාසය පිළිබඳ ආවර්ජනය කිරීමේදී හෙරොයින් සහා කේරල ගංජා කිලෝ ගණනින් මෙරටට රුගෙනවිත් අලෙවි කිරීමේ ජාවාරම්කරැවන් මෙන්ම මුහුදු කූඩැල්ලන් හක් බෙල්ලන්, සිගරුට් නීති විරෝධී ලෙස මෙරට තුළ ප්‍රවාහනය කිරීමට ගිය අවස්ථාවලදී නිතියේ රුහැනට හසුකර ගැනීමට පොලීසියට විශේෂ කාර්ය බලකායට හැකි වී තිබේ.
අතීතයට වඩා එක් පියවරක් ඉදිරියට තබමින් කල්පිටිය පොලීසියට තනිවම මහ මුහුදේ නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නොවන සංවිධානයකින් ලබා දී ඇති ධීවර යාත්‍රාව මහත් පිටුවහලක් වී ඇත. කල්පිටිය පොලීසියේ ස්ථානාධිපති ලක්ෂ්මන් රන්වල මහතා තමන්ට ලැබෙන තොරතුරු පිළිබඳ නිසි අවධානයකින් පසුවීම මෙන්ම ඒ සඳහා නිලධාරීන් යෙදවීමද ප්‍රමුඛ කාර්යයක් කරගෙන සිටී. ලක්ෂ 900ක් වටිනා රත්රන් තොගයක් රටින් පැන්නීමට කළ ජාවාරමක් අල්ලා ගැනීමට හැකිවූයේ ඒ හේතුවෙනි.
ඩුබායි රටේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන එන රත්රන් ඉන්දියාවට ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ කල්පිටිය පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබිණි. ඒ අනුව පසුගිය 10 වැනි දින අලුයම රත්රන් තොගයක් රුගෙන ධීවර යාත්‍රාවකින් ඉන්දියාව බලා පිරිසක් ගමන් ආරම්භ කළ බවට කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට රහසිගත තොරතුරක් මගින් දැන ගැනීමට ලැබුණි.
වහා ක්‍රියාත්මක වූ කල්පිටිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වල ආරච්චි මහතා ඇතුළු හතරදෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පොලිස් ස්ථානයට රාජ්‍ය නොවන සංවිධානයකින් ලබාදී තිබූ ධීවර යාත්‍රාවෙන් මුහුදේ ගමන් ආරම්භ කළේ ප්‍රථම වතාවට නාවික හමුදාවේ සහයක් නොලබා මහ මුහුදේ ක්‍රියාත්මක කරන දැවැන්ත මෙහෙයුමක් ලෙසයි.
රත්රන් රුගත් බෝට්ටුව ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. රන් ජාවාරම්කරුවන් රැගත් යාත්‍රාව පදවන්නන් ඉතා පළපුරැදු ධීවරයන් වීම පොලීස් මෙහෙයුමට බාධාවක් විය. කෙසේ වෙතත් රත්රන් රුගත් යාත්‍රාව ඉදිරියට ගොස් නොමැති බව ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් පණිවිඩයක් ලැබුණි.
වේගයෙන් ධාවනය කළ පොලිස් ධීවර යාත්‍රාව ගමන් මාර්ගයක් භාවිත කරමින් ඉදිරියට ගොස් නීති විරෝධී රත්රන් රුගත් යාත්‍රාව ගමන් කරන මාර්ගයේ ධීවරයන් ලෙස හැසිරෙමින් නැවතිණි.
රත්රන් රැගත් යාත්‍රාව ඉදිරියට එනු දුටු පොලීසිය වහා ක්‍රියාත්මක විය. මග හරස් කරමින් යාත්‍රාව පරික්ෂා කිරීමේදී ගමන් මල්ලක ඉතාමත් ආරක්ෂිතව රුගෙන යමින් තිබූ රත්තරං තොගයද ධීවර යාත්‍රාවද එහි තිබූ ධීවර ආම්පන්නද පොලිස් බාරයට ගෙන එහි සිටි සැකකරැවන් හතරදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරැවන් සහ ධීවර ආම්පන්න රත්තරං තොගය කල්පිටිය පොලිස් ස්ථානයට රුගෙන පැමිණි ස්ථානාධිපති ලක්ෂ්මන් රන්වල මහතා ඇතුළු කණ්ඩායම පොලීසියේ උසස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ඒ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත එම ස්ථානයට පැමිණි සහකාර පොලිස් අධිකාරී ඩී. ඩබ්ලිව්. ඩබ්ලිව්. වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ගමන් මලුව විවෘත කර එහි තිබූ රත්තරං තොගය පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී රන්මාල 03ක් ඇතළු රන් බිස්කට් 100 වැඩි ප්‍රමාණයක් රත්තරං පවුම් 1250 තිබෙන බවට තහවුරු විය. රත්තරං තොගයේ වටිනාකම ලක්ෂ 900 (කෝටි 09) ක් බවද සොයාගනු ලැබීය.
මෙම ජාවාරම කාලය පටන් පවත්වා ගෙන ගොස් ඇති බවට පොලීසියට තොරතුරැ ලැබී ඇති අතර ස්කුබා මෙහෙයුම් ධීවර බලපත්‍රයක් භාවිතා කරමින් කන්දකුලිය කල්පිටිය මුහුදු තීරයේ කිමිදුම් කටයුතුවල යෙදෙමින් මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් අල්ලන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද්ධයෙන් අවතැන් වී පැමිණ කල්පිටිය රහුමතියා අනාථ කඳවුර පුදුකුඩිරිප්පුව කල්පිටිය ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්ද සිටී. ධීවර ආම්පන්න වූ කිමිදුම් කට්ටල 02ක්, ජී. පී. එස්. උපකරණයක්, ජංගම දුරකථන 03 ක් සහා සුළු ධීවර ආම්පන්න කිහිපයක් රත්රන් සහ සැකකරුවන් ඇතුළු නඩු භාණ්ඩ සියල්ල කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කල්පිටිය මුහුදු තීරයේ සිදුවන ජාවාරම් වැටලීමට වෙර දරණ කල්පිටිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්ෂ්මන් රන්වල මහතා ඇතුළු නිලධාරීන්ට උසස් පොලිස් නිලධාරීන්ගේ සහ කල්පිටිය ජනතාවගේ ප්‍රසාදය හිමිවී ඇත.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ නියෝග අනුව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ඒ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ඩී. ඩබ්ලිව්. ඩබ්ලිව්. වීරසිංහ මහතාගේ අධික්ෂණය යටතේ කල්පිටිය පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරන බව කල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්ෂ්මන් රන්වල මහතා පැවසීය.
රෝවන් පෙරේරා - පුත්තලම