ජාන් ප්‍රකාශන් (Njan Prakashan) නම් මලයාලම් සිනමාපටයක් පසුගියදා නැරඹීමට ලැබුණි. උපහාසාත්මක චිත්‍රපට ගණයට අයත් මෙය 2018දී තිරගත වූවකි. එහි අධ්‍යක්ෂකවරයා සත්‍යම් අන්තිකඩ් වන අතර තිරරචනය ශ්‍රී නිවාසන්ගේය.
බොහෝදෙනා තුළ නළියමින් පවතින ඉහළට නැගීමේ අහංකාර ආසාව එක් තරුණයෙක් පදනම් කරගෙන අපූරු කතන්දරයක් ලෙසින් මෙම චිත්‍රපටයේ ගලා යයි. විටෙක මුවගට සිනහව නංවන මෙම කතාව වරෙක සිත වේදනාවට පත්කිරීමට සමත්ය. මෙහි රංගනයෙන් එක්වන නළු නිළියන් අපට පුරුදු සිනමා තාරකාවන් නොවේ. රූමත්, කඩවසම් චරිත ද නොවේ. නමුත් ඔවුන් සියලු දෙනාම පාහේ තම භූමිකා තුළ ජීවත් වන ආකාරය අගනේය. වඩාත් විශේෂත්වය නම් මෙය සම්භාව්‍ය ගණයේ සිනමා කෘතියක් නොව සරල වාණිජ චිත්‍රපටයක් වීමයි.
ප්‍රකාශන් නම් තරැණයා පිටරට ගොස් යහමින් සල්ලි හම්බකරන වෘත්තීයකට ලෝභකමින් සිහින දකී. මේ කාර්යයට ඔහුගේ සුපුරුදු නම නොගැලපෙන බව ප්‍රකාශන්ට සිතේ ඔහු තම නම පී.ආර්. ආකාශ් වශයෙන් වෙනස් කර ගනී. ඔහු හෙද විභාගය සමත් තරැණයෙක් වුවද සුදුසුකම්වලට සරිලන වැටුපක් නොලැබෙන බව පවසමින් ගෙදරට වී සිටින්නෙකි.
මේ අතර ඔහුට සැලෝමි නම් තරුණ හෙදියක් හමුවේ. ඇයට ජර්මනියේ හෙද රැකියාවකට අවස්ථාව උදාවී තිබේ. ප්‍රකාශන් ඇය සමඟ ප්‍රේම සමබන්ධයක් අරඹන්නේ ඇයට ඇති කැමැත්ත නිසා නොව ඇය හරහා ජර්මනියට පැන ගැනීමේ අරමුණෙනි. නමුත් අවසානයේ ප්‍රකාශන්ගේ මුදල් ද ලබාගන්නා සැලෝමි ඔහු හැර යයි. කුලී වැඩ කරමින් දිවිගෙවන ප්‍රකාශන්ට ධනවත් රෝගී කාන්තාවකට සාත්තු කිරීමට ලැබේ. එහිදී ඔහුට අවබෝධ වන්නේ හෙද වෘත්තීය යනු මුදල් උපයන වෘත්තියක් නොව අසරණ රෝගීන්ට සරණ වන උතුම් වෘත්තියක් බවයි. අවසානයේ ප්‍රකාශන්ගේ හදවතට තරැණියක් ද සමීප වේ. දෙබිඩි චරිතයක් පසුව කාරුණික හදවතක් ඇත්තකු බවට පත්වන ආකාරය නහාද් නසිල් නම් නළුවා කදිමට නිරෑපණය කරයි. ඔහුගේ මනසේ හැසිරීම රූපරාමු තුළින් ගෙනහැර දක්වන්නේ කැමරා අධ්‍යක්ෂ එස්. කුමාර්ය.
කේරළයේ රූපගත කළ මේ චිත්‍රපටයේ පසුතල දර්ශන මෙන්ම චරිත ද අපට සමීපය. අප අතරත් ආකාශයේ ජීවත් වන ප්‍රකාශන්ලා ඕනෑ තරම් සිටිති. ඔවුන් සිහින ලෝකවලින් බිමට වැටෙන විට ප්‍රමාද වැඩිය.
ඔබටත් මෙම චිත්‍රපටය ඩීවීඩී මාධ්‍යයෙන් නැරඹීමට පුළුවන.
ප්‍රේක්ෂක