වෙනදාට කොළඹ නගරයේ බිත්ති, තාප්ප පුරා වැඩි වශයෙන් දක්නට ලැබුණේ අමතර පන්ති පවත්වන ටියුෂන් ගුරුවරුන්ගේ පෝස්ටර්ය. දේශපාලන සමයේදී දේශපාලනඥයන්ගේ සිනා මුහුණු සහිත පෝස්ටර්ය. තිරගත වන චිත්‍රපටවල පෝස්ටර්ය. මේ අතරේ ඉඩම් විකිණීම්, ගෙවල් විකිණීම්, සේල් ආදී වූ බොහෝ පෝස්ටර්වලින් වීදියේ තාප්ප හැඩිවී තිබුණි. නමුත් තරුණයන් ගෙන ගිය මේ අලුත් රැල්ලෙන් ඒ හැඩිවුණු වීදි හැඩ වී ඇති ආකාරය ආකර්ශනීය දසුනකි.
“මම පදිංචිවෙලා ඉන්නේ වත්තල. අපි හැමවෙලේම දැකපු දෙයක් තමයි පාරේ තියෙන බිත්ති, තාප්ප වැහෙන්න ටියුෂන් ගුරුවරු පෝස්ටර් අලවනවා. ඇත්තටම සමහර කාලවලදී මේක ඔවුන්ට තරගයක් වගෙයි. අද අලවන පෝස්ටරය වැහෙන්න හෙට තවත් ටියුෂන් ගුරුවරයෙක් තමන්ගේ ගෝලයන් ලවා පෝස්ටර් අලවාගන්නවා. මේකට ටියුෂන් ගුරුවරු විතරක් නෙමේ, බොහෝ දෙනා වගකියන්න ඕනෙ. මේ නිසා අපේ කණ්ඩායමට මේකෙ වෙනසක් ඇතිකරන්න ඕන වුණා. ඔය කාලෙදීම තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වුණේ. රටේ මිනිසුන්ගේ හිත් බිඳුණා. වත්තල කියන්නෙ සිංහල, කතෝලික වගේම මුස්ලිම් ජනතාව ජීවත්වෙන පරිසරයක්. ඒ නිසා රිදුණු හිත්වලට යම් සහනයක් ගෙන දෙන්න art එකක් කරන්න අපිට ඕන වුණා. ඒ විදිහට සාමය තේමා කරගෙන අපි මුලින්ම වත්තල හුණුපිටිය පාලම යට චිත්‍රයක් ඇන්දා. ඇත්තටම මේ කලාව රුල්ලක් කරන්න අපිට ඕන වුණා.” මුල්ම වතාවට හුණුපිටිය පාලම යට අපූරු චිත්‍රයක් ඇඳි කණ්ඩායමේ සාමාජිකයෙක් වූ චමත් විජේසිංහ දේශයට එලෙස පැවසීය.
මේ වනවිට චමත් ඇතුළු පිරිස තවත් අපූරු චිත්‍රයක් නිර්මාණය කිරීමේ කටයුත්තක නියැලී සිටිති. ඒ පෑලියගොඩ පාලම යට ප්‍රදේශයයි. මේ වන විටත් එම අපූරු චිත්‍රයේ වැඩ අවසන් වී නොමැත. උදේ රෑ ගෙවමින් බොහෝ තරුණ පිරිස් හා එක්ව චමත් ඇතුළු පිරිස මෙම අපූරු කටයුත්තේ නිරතව සිටිනු අපිට දැකගත හැකි විය. ඒ සඳහා මුල්ම අඩිතාලම දැමුවේ පෑලියගොඩ පොලිස් සේවයේ නිරත මධුසංඛය. චමත් ඇතුළු පිරිස මුණගැසුණු මධුසංඛ තම අදහස ඉදිරිපත් කළා පමණක් නොව ඒ සඳහා අදාළ ස්ථාන මගින් අවසරය ද ලබා දුන්නේය. පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ, තාරක අනුරංග, සුදේශ් ගමගේ ඇතුළු ප්‍රදේශවාසීහු මේ අපූරු කටයුත්ත සඳහා සහයෝගය ලබා දෙති. පරිසරය හා කැලණි විහාරය තේමා කරගත් මේ අපූරු චිත්‍රය නිර්මාණය කිරීම සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ තරැණ තරුණියන් දක්වන සහයෝගය ගැන ද කිව යුතුමය.
පොලිසියේ සේවය කරන මධුසංඛ මහතා “මල්ලි අපිට උදව් කරන්න පුළුවන්ද?” කියලා තමයි අපිට මේ වැඩේට කතා කළේ. අපිට අවශ්‍ය කරන තීන්ත ජෙනරේටර් හැමදේම පෑලියගොඩ ගමේ මිනිසුන්ගෙන් අපිට ලැබුණා. අපිට කිසිම වියදමක් නොතියා මූල්‍යමය දේවල් සියල්ලම ඔවුන් අපිට ලබා දුන්නා. අපෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ චිත්‍රය පමණයි. අපේ සහායට කැලණි කැම්පස් එකේ සහෝදර සහෝදරියන් පිරිසක් එකතුවෙලා ඉන්නවා.” යැයි චමිත් වැඩිදුරටත් පැවසීය.
කලාව අප හැමදෙනා තුළම පවතින්නකි. එලෙස චිත්‍ර කලා හැකියාව මැනවින් පෙන්නුම් කරන අපූරු තරුණයෙක් ද පෑලියගොඩ චිත්‍ර අඳින පිරිස අතරේ සිටී. ඔහු වෘත්තියෙන් පෑලියගොඩ නගර සභාවේ කුණු කසළ ප්‍රවාහනය කරන රියැදුරෙකි. උදේ හවස පෑලියගොඩ සීමාවේ එකතුවන කුණු ප්‍රවාහනය කිරීම ඔහුගේ රැකියාව වුවද, කුණු ට්‍රැක්ටරයේ සුක්කානම කරකවන ඒ දෑතින්ම ඔහු හරි අපූරුවට පින්සල්වලින් චිත්‍ර අඳියි. ඔහු පෑලියගොඩ සිතුවමේ ප්‍රධාන චිත්‍ර ශිල්පියෙකි. එවැනි අපූරු මිනිසුන් පිරිසකගේ එකතුවෙන හැඩවෙන මෙම පෑලියගොඩ චිත්‍රය තුළින් නොබෝ දිනකින්ම විචිත්‍රවත් සිතුවමක නිමාවක් සනිටුහන් වනු ඇත.
දොම්පේ රෝහල් තාප්පය ද අද දිස්වන්නේ අපූරු සිතුවමක් ලෙසිනි. දොම්පේ ප්‍රදේශයේ ජීවත්වන තරුණ පිරිසකට මුල්වරට මේ අදහස හිතට වැදී තිබිණි. ඔවුහු වෙළෙඳ සංගමය හරහා එයට අවසරය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. දොම්පේ වෙළෙඳ සංගමය ඒ සඳහා ප්‍රාදේශීය සභාවෙන් අවශ්‍ය අවසරය ලබාගනිමින් පසුව රෝහල ද දැනුවත් කළේය.
“දොම්පේ තරුණ පිරිසක් අප සංගමය මාර්ගයෙන් ප්‍රාදේශීය සභාවේ අවසරය ලබාගත්තා. ඊටපස්සෙ තමයි මේ චිත්‍රය ඇඳීමේ වැඩ කටයුතු පටන් ගත්තේ. ප්‍රාදේශීය සභාවෙන් ඒ අවට පිරිසුදු කර දුන්නා. දොම්පේ තරුණ පිරිස එකතු වුණේ සමාජ මාධ්‍ය හරහායි. ඒ හරහා විශාල තරැණ පිරිසක් දොම්පේ රෝහල අසලට ඒකරාශි වුණා. දවසින් දවස මේ තැනට එකතු වුණු තරැණ පිරිසේ සංඛ්‍යාව වෙනස් වුණා. කොහොමටත් සෑම දිනකම තරුණ තරුණියන් සියයක් පමණ එකවර මේ කටයුත්තට උදව් කරනවා. චිත්‍ර ඇඳීමට හැකියාව ඇති අයම තිහක් පමණ මේ කටයුත්තට එකතු වුණා. ඔවුන්ට අනිත් තරුණ තරුණියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. මූලික චිත්‍ර මේ දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ අතින් තමයි ඇන්දේ. චිත්‍රය වර්ණවත් කළේ අනිකුත් තරුණයන් විසිනුයි. ඇත්තටම මේක සාමූහික උත්සාහයක්.” යැයි වෙළෙඳ සංගමයේ උප ලේකම් ලෙස්ලි මල්ලවආරච්චි දේශයට පැවසීය.
දොම්පේ මහ රෝහලේ බැම්ම ඉතා විශාලය. මේ නිසාම මෙම බැම්මේ චිත්‍රයක් ඇඳීම එතරම් පහසු කටයුත්තක් නොවීය. මේ වන විට එම බැම්මේ දිග මීටර් හාරසීයක් දක්වා චිත්‍ර ඇඳ අවසන්ය. ප්‍රධාන පාරවල් දෙකකට විහිදෙන මෙම එකම බැම්ම සම්පූර්ණයෙන් මීටර් 800ක් පමණ වේ. මෙම කටයුත්තට උරදෙන තරුණ තරුණියන්ට ආහාරපාන ආදිය ලබා දෙන්නේ ද වෙළෙඳ සංගමය ඇතුළු ප්‍රදේශවාසීන් විසිනි. ඒවායින් කිසිදු අඩුවක් මෙම පිරිසට නොමැත. අවශ්‍ය වන තීන්ත ආලේපන ලබාදීම ද කිසිදු අඩුපාඩුවකින් තොරව වෙළෙඳ සංගමය මගින් ඉටු කෙරේ. විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා පවා මෙම අපූරු කටයුත්තට එක්ව සිටිති.
දොම්පේ මහ රෝහල අසල රැකියාවේ නිරත ත්‍රිවිල් රියැදුරන් පිරිස එක්ව මීට පෙර එම බැම්මේ එක් කොටසක කුඩා බුදු මැඳුරක් සාදා තිබේ. මේ නිසාම එම කොටසට යාබද බැම්මේ පෙරහරක චිත්‍රයක් නිර්මාණය කර තිබීම සුවිශේෂීය. මෙම විශාල බැම්මේ චිත්‍ර ඇඳීම ද තවමත් අවසන් නැත. මේ වන විටත් දොම්පේ තරුණ පිරිස මෙම අපූරු කටයුත්ත හා එක්ව සිටිති.
පෑලියගොඩ සහ දොම්පේ තරුණ පිරිස එලෙස තම ප්‍රදේශය සිතුවමින් හැඩ කරද්දී, දෙහිවල ගුවන් පාලම හා දෙහිවල දුම්රියපොළේ ඇති තාප්ප ද චිත්‍රවලින් විචිත්‍රවත් ලෙස අලංකාර කර ඇති අයුරු දැකබලාගත හැක. දෙහිවල ගුවන් පාලම පහළ කොටසේ චිත්‍රය නිර්මාණය කර අවසන්ව ඇති අතර මේ වන විට දෙහිවල දුම්රියපොළෙහි චිත්‍රය ඇඳීමට ද සියල්ල සූදානම්ව පවතී.
“නැදිමාලේ චිත්‍ර අඳින ගයාන් මල්ලි තමයි මේ වැඩේට මුලින්ම එකතු වුණේ. කට්ටිය එකතු වුණේ සමාජ මාධ්‍ය හරහායි. අපි අපේ ෆේස්බුක් හරහා මේ වෙනුවෙන් එකතු වෙන්න ආරාධනා කළා. ඇත්තටම මේ වැඩේ කරද්දී මහ වැසි වැටුණා. ඒත් කට්ටිය මේ වැඩේ අතහැරියේ නැහැ. චිත්‍ර අඳින කැළුම් අයියා වගේම ගයාන් මල්ලි මූලික චිත්‍ර ඇඳ දුන්නට පස්සෙ අනිත් අය ඒ චිත්‍රයට ඔවුන්ට උදව් කළා. ගුවන් හමුදාවේ සේවය කරන මල්ලි කෙනෙක් අපිට ගොඩක් උදව් කළා. ඒ මල්ලිට නිවාඩු නැති නිසා එක දවසකට නිවාඩු අරන් අපිට එකතු වී රැයක් පුරා අපිට උදව් කළා.” යැයි අනුෂ්කා සුලානි දේශයට පැවසුවාය.
දෙහිවල ගුවන් පාලම පහළ කොටස වර්ණවත් කරන ලද්දේ දුටුගැමුණු රජතුමා සහ දසමහ යෝධයන්ගේ චිත්‍ර මගිනි.
කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල මෙලෙස street art මගින් වීදි වර්ණවත් වෙද්දී, කොළඹට බැහැර නගරවලින් ද තරුණ පිරිස මෙම අපූරු රැල්ලට එකතු වනු දක්නට ලැබිණි. මහනුවර නගරය පුරා ජනාකීර්ණ ස්ථානවල ඓතිහාසික සිතුවම් නිර්මාණය කරමින් තරුණ පිරිස් චිත්‍ර අඳිති. මහනුවර නගරය තුළ හා අවට ජනාකීර්ණ ස්ථානවල, විශේෂයෙන් ද්විත්ව උමං මාර්ගය තුළ, අස්ගිරි මහා විහාර මාවත, විද්‍යාර්ථ විදුහල අසල ඓතිහාසික සිදුවීම් තේමාකර ගනිමින් මනරම් දර්ශනීය සිතුවම් නිර්මාණය කළ අවස්ථා ද දැකගත හැකිය. මේ අතර මහනුවර ඇසළ පෙරහරේ අපූරු අවස්ථාවක්, උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ, ඇහැලේපොළ කුමාරිහාමි ආදීන්ගේ සිතුවම් ද දක්නට ලැබිණි.
කොළඹට පමණක් සීමා නොවුණු මේ අපූරු කලාව අද රැල්ලක් බවට පත්වෙමින් රට පුරා නගර ඔස්සේ දිවයමින් තිබේ. තවද, කලාව නිසි ලෙස භාවිත කරමින් පින්සල නිසි තැනට පමණක් යොමු කරමින් මේ රැල්ල ඉදිරියට ගෙන යාම වඩාත් උචිතය.
► දිශානි ජයමාලි කරුණාරත්න
මහනුවර විස්තරය:- ජේ.ඒ.එල්. ජයසිංහ