2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ලෝකයේ දිනකට ළමුන් 500ක් මරා දමන රිය අනතුරු

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 564

දෛනිකව වාර්තාවන මාර්ග අනතුරු නිසා මිය යන තුවාල ලබන හා පීඩාවට පත්වන මිනිසුන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. රිය අනතුරුවලට ලක්වන බහුතරයක් දීර්ඝකාලීන ආබාධයන්ට ලක්වීම හා එක්තැන්වීම මේ වනවිට බරපතළ ගැටලුවකි. එසේම ලංකාවේ සිදුවන රිය අනතුරුවලින් වයස අවුරුදු 5-29ත් අතර පිරිස බහුලව ජීවිතක්ෂයට පත්වීමේ ප්‍රවණතාවක් පැවතීම ඛේදවාචකයක්.

2009 වසර සිට ගෙවීගිය දස වසර තුළදී මෙරට සිදුවන මාරක රිය අනතුරුවල යම් තරමක අඩුවීමක් පෙන්නුම් කරන බවට පවතින වාර්තා සුබදායකය. තත්ත්වය පාලනය කරමින් රිය අනතුරු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පසුගිය දිනක තිරසාර මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කථිකාවක් පැවැත්වීය. එහිදී අනාවරණය වූ කරුණු රැසක් වන අතර ඒවා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචල උපේන්ද්‍ර ජයතිලක මහතා විසින් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විසින් අනාවරණය කළේය. එහිදී පළකළ අදහස් අනුව අජිත් රෝහණ මහතා කියා සිටියේ 2009 සිට 2018 දක්වා කාලය තුළ මෙරට මාරක රිය අනතුරුවල අඩුවක් පෙන්නුම් කරන බවය.

එහෙත් ලෝකයේ වසරකට රිය අනතුරු නිසා පුද්ගලයන් මිලියන 1.26ක් මියයන බවත් කී අතර සෑම තත්පර 25ට වරක් රිය අනතුරු නිසා කෙනකු මිය යාමේ ප්‍රවණතාවයක් තිබෙන බවද පැවසීය. පසුගිය 2018 වසරේ ලංකාවේ 3113ක් රිය අනතුරු නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සෑම පැය 2යි මිනිත්තු 49කදීම රිය අනතුරු නිසා ලංකාවේ කෙනෙක් මියයන බවද ඔහු අනාවරණය කළේය. එසේම රිය අනතුරු හේතුවෙන් දවසකට 56 දෙනකු තුවාල ලබන බවත් ගිය වසර පුරා තුවාල ලැබූ පිරිස 20539ක් වශයෙන් වාර්තා වන බවද ඔහු පැවසීය.

මේ අතර පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචල උපේන්ද්‍ර ජයතිලක මහතා අදහස් දක්වමින් කියන්නේ රිය අනතුරු හේතුවෙන් ලෝකයේ පාසල් වයසේ ළමුන් 500ක් දිනකට මරණයට පත්වන බවය. ලෝකයට හා අනාගතයට දැඩි අවදානම් සහගත බලපෑමක් වන එම කාරණය සමඟ ඒ මහතා පෙන්වා දෙන්නේ අවුරුදු 5-29 අතර පිරිස මිය යන ප්‍රධාන හේතුව රිය අනතුරු බවය. ළමා හා තරුණ වයසේදී මෙසේ මිනිසුන් මරණයට පත්වීම දැඩි අවදානමකි. ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සෑම තත්පර 25කට වතාවක්ම රිය අනතුරු නිසා කෙනකු මිය යන බවය. එසේම ලංකාවේ දවසකට අට දෙනකු රිය අනතුරු නිසා ජීවිතක්ෂයට පත්වන බවද ඔහු ප්‍රකාශ කරයි.

රිය අනතුරු හේතුවෙන් විටෙක රියදුරන්, මගීන් මෙන්ම පදිකයන්ද ජීවිතක්ෂයට පත්වෙති. රථවාහන අතුරින් පාපැදි, යතුරුපැදි හා ත්‍රීරෝද රථ බහුලව අනතුරට පත්වෙති. ඒ අතුරින් ජීවිතක්ෂයට පත්වන පිරිස අඩු ආදායම්ලාභීන් බවට වාර්තා වේ. ලෝකයේම පවතින තත්ත්වය මේ ආකාරයට වෙද්දී සංවර්ධනය වෙමින් පවතින රටවල මෙහි අනුපාතය 90%කි. සංවර්ධිත රටවල මෙම අවදානම 10%ක් දියුණු රටවල අනතුරු අවම වීමට බලපාන සාධක ඇතත් ලංකාවේ මාර්ග, වෙනම මංතීරු පොදු ප්‍රවාහන පහසුකම් හා ප්‍රමාණාත්මකව නීතිය ක්‍රියාත්මක නොවීම නිසා සිදුවන අනතුරු හා මරණ බහුලය. ලෝකයේ සංවර්ධිත රටවල රථවාහන 60%ක් පමණ හා සංවර්ධනය වෙමින් පවතින රටවල වාහන ප්‍රමාණය 10% ලෙස හඳුනාගෙන ඇත. එහෙත් දියුණු රටවල වාහනවල හා මාර්ගවල පවතින ක්‍රමවත් බව නිසා අනතුරු අඩුය.

මේ පිළිබඳව අදහස් දක්වන අචල උපේන්ද්‍ර ජයතිලක මහතා පවසන්නේ දියුණු රටවල ජනතාව සතුව විනයගරුකත්වයක් පවතින බවත් අප වැනි දියුණු වෙමින් පවතින රටවල ජනතාවට එවැනි විනයක් නොමැති බවය. පෙරකී රටවල ජනතාව මාර්ග සංඥා මාර්ග නීති නිසි ලෙස පිළිපදින අතර එම නිසා රිය අනතුරු අවම බවත් මෙරට ජනතාව මාර්ග නීති භාවිත කිරිමට උත්සාහ ගන්නේ පොලිසියෙන් ගැලවීමට පමණක් බවද ඔහු පෙන්වා දෙයි. එබැවින් මේ තත්ත්වය අනතුරැවලට අතවැනීමක් බව ද ඔහුගේ අදහසය. ඒ අනුව ජයතිලක මහතා පවසන්නේ මෙරට ජනතාව විනයගරුක වීමත් නීතියට අවනතව කටයුතු කිරීමත් අවශ්‍ය බවය. එමෙන්ම පවතින නීති ප්‍රමාණවත් බවත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීම තුළ අනතුරැ අඩු කිරීමට හේතුවක් බව ඔහුගේ අදහසය.

මීට ඉහතදී වැරදි කීහිපයක් සඳහා දඩ මුදල් ඉහළ නැංවීම සිදු කෙරිණ. එම අවස්ථාවලදී බොහෝ පිරිස් ඒකරාශී වී උද්ඝෝෂණය කරමින් විරෝධතාව පළකරනු දකින්නට ලැබිණ. එවැනි කරුණු අනුව මිනිසුන්ගේ විනය ගරුකත්වය පිළිබඳව පවතින ගැටලුව සමාජයට පෙන්වයි. මේ නිසා මෙරට රථවාහන පදවන මාර්ගය භාවිත කරන රියදුරන් පදිකයන් ඇතුළු සමස්ත ජනතාව ආකල්ප හා චර්යාව අතින් තවත් දියුණු විය යුතුය.

මත්පැන් මත්ද්‍රව්‍ය පාලනය කිරීමට හා ඩෙංගු වැනි රෝග පාලනය කිරීමට බොහෝ රටවල නීතිය දැඩි කිරීම හරහා පියවර ගෙන තිබේ. රිය අනතුරු පාලනය කිරීම සඳහා එවැනි නීතිය දැඩි කිරීම සුබදායකය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල සාමාජිකයන් 2015 වසරේ එකඟතාවයකට පැමිණ තිබුණේ 2020 වසර වනවිට සිදුවන රිය අනතුරැ හරි අඩකින් අඩු කිරීමට පියවර ගැනීමටය. එහෙත් බොහෝ රටවලට එය අසීරු ඉල්ක්කයක් වී ඇත. තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ රිය අනතුරු අවම කිරීමට ගන්නා උත්සාහය තුළදී මෙරට මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන ආයතන, පොලිසිය, ප්‍රවාහන අමාත්‍යාංශය, මුදල අමාත්‍යාංශය ඇතුළු ආයතන රාශියකට මෙහි වගකීම බාරවේ. ඔවුන්ගේ සාමූහිකත්වය තුළින් ඉදිරියේදී සිදුවන රිය අනතුරු අඩු කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කරමු.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රිය අනතුරු නිසා දිනකට ලංකාවේ 8 දෙනකු මිය යන බවය. ගිය වසරේ වාර්තා වූ දත්ත අනුව ලංකාවේ සිදුව ඇති රිය අනතුරු ගණන 35000කි. එහෙත් රක්ෂණ සමාගම් පවසන්නේ එම වසර තුළ රිය අනතුරු ලක්ෂ 5ක් සිදුව ඇති බවය. ඒ අනුව සිදුවන රිය අනතුරු බහුලව පොලිසියට වාර්තා නොකරන බව පෙනෙන්නට ඇත.

රිය අනතුරු නිසා බහුලව මිය යන්නේ යතුරුපැදිකරුවන් හා පදිකයන්ය. සුඛෝපභෝගී නවීන රථ වාහනවල ගමන් ගන්නා පිරිස අනතුරුවලට ලක්වීම අඩු සහ අනතුරකට ලක්ව මියයන ප්‍රවණතාව අඩුය. ඒ වාහනවල පවතින ප්‍රමිතිය ඊට ප්‍රධානය. එබැවින් යතුරුපැදිකරුවන් හා පදිකයන් මේ පිළිබඳව දැනුම්වත් විය යුතුය.

නොසැලකිලිමත් හා තරගකාරී ධාවනය බීමත්ව රිය පැදවීම නොකළ යුතුය. ඇතැම් විට පවතින මාර්ගවල අඩුපාඩු රිය අනතුරුවලට හේතුවකි. වගකිව යුතු සියලු ආයතනවල ක්‍රියාකාරීත්වය සමඟ ජනතාවගේ අවබෝධය අවධානය මේ සඳහා යොමු කළ යුතුය.

සමන්ත ප්‍රදීප් විල්තෙර