2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ගාල්ලේදී කඩා වැටුණු අපේ තැපැල් උරුමය

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

ගාලු කොටුවේ ඓතිහාසික ඕලන්ද ගොඩනැගිල්ලක් වන පැරණි තැපැල් කාර්යාලයේ පසුපස බිත්තිය සම්පූර්ණයෙන් කඩා වැටුණේ පසුගිය 7දාය. ඒ නිසා ඒ අසලින් දිවෙන මාර්ගය ද අවහිර විය. එය රාත්‍රී කාලයේ කඩා වැටීම නිසා කිසිවකුටත් හානියක් නොවූ අතර දිවා කාලයේ කඩා වැටුණා නම් ජීවිත හානිවීමට පවා ඉඩ තිබුණි. බිත්තිය කඩා වැටුණු මාර්ගය වාහන මෙන්ම පදිකයන්ද ගමන් කරන ස්ථානයක් නිසාය. සවුත්ලන්ඩ් විදුහලට යන සිසුවියන්ද, අධිකරණයට යන ජනතාව මෙන්ම විදේශ සංචාරකයෝද නිතර මේ මාර්ගයේ ගමන් කරති.

කිසිවකුට හානියක් නොවුණත් මේ සිද්ධියෙන් අපගේ ඓතිහාසික උරුමයකට සිදුවුණේ මිල කළ නොහැකි හානියකි. මෙම ගොඩනැගිල්ලේ මෙයට පෙරත් කිහිපවරක් සමහර කොටස් කඩාගෙන වැටුණි. මේ නිසා එහි ස්ථාපිත කර තිබූ තැපැල් කාර්යාලය වෙනත් කුලී ගොඩනැගිල්ලකට ගෙනයාම සිදුවිය. එහෙත් ඕලන්ද යුගයේ ස්මාරකයක් වන ගොඩනැගිල්ල පූර්ණ සංරක්ෂණයකට පත්කිරීමට බලධාරීන්ට උනන්දුවක් තිබුණාදැයි පැනයකි.

ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්කළේ 1988 දීය. මේ නිසා එහි ගොඩනැගිලි ආවාට ගියාට ප්‍රතිසංස්කරණය කළ නොහැකිය. ගාලු උරුමය පදනමේ අධ්‍යක්ෂිකා බී.කේ.එස්. ජයලක්ෂ්මි අප සමඟ ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසය. “ගොඩනැගිලි සංරක්ෂණය කිරීමට අපට බලයක් වගේම හැකියාවක් නැහැ. අපි කරන්නේ සංරක්ෂණ සැලසුම් සකස් කර ඒ සඳහා අදාළ පාර්ශ්ව සම්බන්ධීකරණය කිරීමයි. මෙම ගොඩනැගිල්ලටත් සංරක්ෂණ සැලසුමක් සකස් කරලා තියෙන්නේ. මේක අයිති තැපැල් දෙපාර්තමේන්තුවට.

අපි පසුගිය නොවැම්බර් 6දා තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සමඟ රැස්වීමක් පැවැත්වුවා. එහිදී තීරණය වුණේ සංරක්ෂණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නැති නිසා පෞද්ගලික අංශයත් සමඟ ඒකාබද්ධව සංරක්ෂණය කිරීමට එම දෙපාර්තමේන්තුව එකඟ වුණා. ඒ සංරක්ෂණ යෝජනාවට කැබිනට් අනුමැතිය ගත යුතුයි. නමුත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඒ සඳහා ප්‍රතිචාරයක් ඉන්පසු ලැබුණේ නෑ. ඒ අතර තමයි කඩා වැටුණේ.”

අප මෙයට මාස කිහිපයකට පෙර ද මෙම උරැමය ගැන දේශයේ ලිපියක් පළ කළෙමු. එහෙත් බලධාරීන් මුනිවත රුක්කා මිස කිසිවක් සිදුකර නැත.

“මෙහි බිත්ති වැස්සට තෙමෙන බවත් ගොඩනැගිල්ල සංරක්ෂණය කළ යුතු බවත් තැපැල් දෙපාර්තමේන්තුවට කලින් කිහිප වරක්ම දැනුම් දුන්නා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ තමයි සංරක්ෂණය කළ යුත්තේ. තැපැල් දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාරයක් නැති නිසා අපි තෙමෙන බිත්තිවලට ඉටිකොළ ආවරණයක් යොදා තිබුණා.” ජයලක්ෂ්මි වැඩිදුරටත් පැවසුවාය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් පවසන්නේ පුරාවිද්‍යා ස්මාරක වශයෙන් නම් කළ අබලන්ව සංරක්ෂණය කළයුතු තත්ත්වයේ පෞද්ගලික හා රජයේ ගොඩනැගිලි 6 ක් පමණ ගාලු කොටුවේ තිබෙන බවයි.

“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් තැපැල් ගොඩනැගිල්ලේ සංරක්ෂණ කටයුතු සඳහා වරින්වර මැදිහත් වුණා. ගොඩනැගිල්ලේ වැවුණු වල් පැළෑටි මර්දනය කළා. බිත්ති තෙමීම වැළැක්වීමට කටයුතු කළා. අපට පෞද්ගලික හා රජය සන්තක ගොඩනැගිලි සංරක්ෂණය කිරීමට ප්‍රතිපාදන නැහැ. මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අපි තැපැල් දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තිබුණේ.” සහකාර අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.

ගාල්ල කොටුවේ තැපැල් කන්තෝරැව ලංකාවේ ආරම්භ වූ පැරණිම තැපැල් කාර්යාල පහෙන් එකකි. එය ආරම්භ වූයේ 1820 දීය. කොළඹ සහ ගාල්ල අතර තැපැල් අශ්ව කෝච්චි සේවය ආරම්භ කළේ එයට වර්ෂ 12කට පසු 1832 දීය. ඒ සඳහා අශ්වයන් දෙදෙනකු බැඳි රියක් යොදාගැනුණි.

ගාලු කොටුවේ පල්ලිය හරස් වීදියේ පිහිටි ගොඩනැගිල්ලට තැපැල් කන්තෝරුව ගෙන ආවේ 1872 දීය. මෙම ගොඩනැගිල්ල 1668 දී ඉදිකළ බව සඳහන්ය. එය මුලින්ම යොදාගෙන ඇත්තේ ඕලන්ද ආණ්ඩුකාරවරයාගේ නිල නිවෙස ලෙසිනි. 1744 දී එය බලකොටුවේ ප්‍රධාන ලිපිකරුගේ නිල නිවාසය විය. වර්ෂ 1760 දී මෙම ගොඩනැගිල්ල පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ වෙළෙඳ කාර්යාලය වශයෙන් යොදාගෙන තිබේ.

වර්ෂ 1857 දී සුද්දන්ගේ පාලන කාලයේ මෙම ගොඩනැගිල්ල භාවිත කළේ ගාල්ල ටෙලිග්‍රාෆ් කාර්යාලය වශයෙනි. 1872 දී එය ගාල්ල මහ තැපැල්හල බවට පත්විය. තනි මහලේ ගොඩනැගිල්ලක් වන මෙය ඉදිරිපස විවෘත ආලින්දයකින් යුක්තය. ආලින්දයේ පියස්ස රවුම් කුලුනුවලින් සමන්විතය. මෙලෙස අබලන් වී කඩා වැටෙමින් පවතින්නේ එවන් අමිල උරුමයකි.

පසුගිය කාලයේ අබලන්ව පැවති ගාල්ල ලන්දේසි රෝහල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කර සාප්පු සංකීර්ණයක් බවට පත් කෙරිණි. එක් එක් ආයතනවලට බෝලය පාස් කරමින් සිටිනා අතර ස්වභාවික හේතු නිසා මේ ගොඩනැගිලි විනාශයට පත්වෙමින් පවතී. නාගරික සංවර්ධන අධිකාරිය හෝ මැදිහත් වී පුරාවිද්‍යා සංරක්ෂණ විධිවලට අනුව මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම කඩිනම් අවශ්‍යතාවයකි.
(සේයාරූ: අන්තර්ජාලයෙනි.)
කුසුම්සිරි විජයවර්ධන