2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

පැරණි බොදු කතා නැවුම් ආරකින්

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

ප්‍රවීණ ගත් කතුවර පියසිරි මාතරගේ මහතා විසින් රචිත පැරණි ලක්දිව රහත් හිමිවරු නම් කෘතිය ඉතා කැමැත්තෙන් කියවීමි. දිගින් දිගට කියවාගෙන යෑමේ රුචිය ඇති කරමින් මෙය රචනා කොට තිබේ. කාහටත් තේරුම් ගත හැකි සරල බස් වහරක් යොදාගනිමින් සම්පාදනය කර තිබීම මෙහි විශේෂත්වයකි.

විදේශ රටවල ජනප්‍රියව ඇති සිංහල හඬ කැවූ කතන්දරවලටත්, කාටුන්වලටත්, ජංගම දුරකථනවලටත් කොටු වී ඇති ළමා හා තරැණ පරපුර තුළ දේශීයත්වය පිළිබඳ හැඟීම් දැනවීමට මෙබඳු කතා පොත් ඉවහල් වේ. අවුරුදු 2500කටත් අධික කාලයක සිට අප හැදුණු වැඩුණු තෝතැන්න වන බෞද්ධ සංස්කෘතිය, සභ්‍යත්වය හා බෞද්ධ සාහිත්‍යය අපගේ ජීවිතවලින් බැහැර කළ නොහැකිය.

පොළොන්නරැව, දඹදෙණිය හා කෝට්ටේ ආදී යුගයන්හිදී බුත්සරණ, අමාවතුර, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය හා සද්ධර්මාලංකාරය ආදී ධර්ම ග්‍රන්ථයන් ද සමකාලීනව පැවති සරල ව්‍යවහාරමය භාෂාවෙන් රචනාකොට ඇත්තේ ධර්මාවබෝධයෙන් බැහැර වන පොදු ජනතාව නැවතත් ධර්මයෙන් දැනුවත් කිරීම සඳහාය. මේ අනුව ඒ ඒ යුගයන්හි ජීවත් වූ සැදැහැති බාල, තරැණ හා මහලු යන වයස්  සීමාවන්හි සිටි කාට වුවත් තේරෙන භාෂාවෙන් බෞද්ධ සාහිත්‍යමය ග්‍රන්ථයන් ලියා ජනතාව දැනුවත් කිරීම නම් වූ බුද්ධි චර්යාවෙහි යෙදුණාහ.

මීට පෙර අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම හා ඉණ වට බැඳි කුසල යන ශාස්ත්‍රීය ග්‍රන්ථ ද, යොවුන් නවකතා ඇතුළු වෙනත් කෘතීන් ද රචනා කොට ඇති පියසිරි මාතරගේට ඒ තුළින් ලබාගත් අත්දැකීම් මෙම කෘතිය සඳහා පසුබිම් වන්නට ඇතැයි සිතිය හැකිය.

බුද්ධකාලීන මහ රහතන් වහන්සේලාගේ හා මහ රහත් ශ්‍රාවිකාවන් වහන්සේලාගේ කතා බහුලව අසන්නට හා පොතපතින් කියවන්නට ලැබුණත්, ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ වැඩ සිටි මහ රහත් උතුමන්ගේ චරිතාපදානයන් පිළිබඳව විශුද්ධි මාර්ගය, සද්ධර්මාලංකාරය හා අටුවා ග්‍රන්ථ වැනි පැරණි පොතපතෙහි සඳහන් වුවත්, මෙසේ එකවිට කියවන්නට ලැබෙන අවස්ථා සුලභ නොවේ. එබඳු කතා දරැවන්ට සුදුසු ලෙස ඉදිරිපත් කෙරෙන ග්‍රන්ථ ඊටත් දුර්ලභය. එබඳු කතා කිහිපයක් තෝරාගෙන දරැවන්ට ගැලපෙන පරිදි සරල භාෂාවෙන් ඉදිරිපත් කර තිබීම කාලෝචිතය.

දරැවන් වෙනුවෙන් මෙබඳු දහම් පොතපත ඉදිරිපත් කිරීම ඔවුන් තුළ යහපත් දැහැමි හැඟීම් වර්ධනය කිරීමට ද හේතු වේ. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්ගේ කෘතීන්හි, අටුවාවන්හි ඇතුළත් මෙබඳු ශ්‍රී ලාංකේය මහ රහතන් වහන්සේලා පිළිබඳ කතා සංග්‍රහ කර තිබේ. පැරණි ලක්දිව රහත් හිමිවරු පොතෙහි ඇතුළත් වන්නේ විශුද්ධි මාර්ගය, සද්ධර්මාලංකාරය හා අටුවා ග්‍රන්ථයන්හි එන පැරණි කතා වුවත්, කතුවරයා තමන්ගේම බස් වහරක් යොදාගනිමින් ඒවා නව මුහුණුවරකින් යුතුව ඉදිරිපත් කරයි. එම නිසා සහෘදයාට කතාවන්හි නැවුම් බවක් දැනෙයි.

ශ්‍රාස්ත්‍රපති, විද්‍යාපති, රාජකීය පණ්ඩිත
 වටගෙදර විමලබුද්ධි අනු නා හිමි