2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

හොර රහසේ වැනසෙන අගනුවර තෙත්බිම්

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 224

මුහුදු මට්ටමේ පිහිටි කොළඹ ලොව අනෙකුත් රටවල් හා සසඳන විට කුඩා නගරයකි. එහෙත් එහි පාරිසරික වැදගත්කම තවමත් ඉහළය. පරිපාලන අගනුවර වන කෝට්ටේ කොළඹ නගරයට යාබදව පිහිටා තිබෙන්නේ දියවන්නා ඔය පසුබිම් කර ගනිමිනි. එය 13 - 14 සියවස්වලදී ද රටේ අගනුවර වශයෙන් රජවරුන් කිහිප දෙනකුගේ පාලනයට යටත් විය. පෘතුගීසි ඇතුළු ආක්‍රමණිකයන්ගෙන් අගනුවර ආරක්ෂා කර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේද එය වගුරැබිම්වලින් වටවූ පංක (මඩ සහිත) දුර්ගයක් වීමයි.

කෝට්ටේ අභයභූමිය, බෙල්ලන්විල අත්තිඩිය අභයභූමිය, කොළොන්නාව තෙත්බිම්, කැලණිමුල්ල, මුල්ලේරියාව කැලණි ගංගා පිටාර බිම්, කොළඹ බේරේ වැව, බැද්දගාන තෙත්බිම් උද්‍යානය, තලවතුගොඩ දියසරු උයන, තලංගම වැව පරිසර ආරක්ෂක කලාපය ආදී වශයෙන් නගරය අවට තෙත්බිම් පිහිටා තිබේ. නගරයේ ගංවතුර තර්ජනය අඩු කිරීමටද, පාරිසරික සුන්දරත්වය මෙන්ම ජෛව විවිධත්වය ඉහළ නැංවීමටද මේ තෙත්බිම් අනගි මෙහෙයක් ඉටු කරයි.

පසුගිය වර්ෂයේ ඩුබායිහි පැවති රුම්සාර් පාර්ශ්වකරැවන්ගේ 13 වැනි සැසිවාරයේදී කොළඹ තෙත්බිම් නගරයක් ලෙස ද ප්‍රකාශයට පත් විය. එය ලොව එකම තෙත්බිම් අගනුවර වශයෙන් වැදගත්ය. කොළඹ නගර සභා බලප්‍රදේශය, කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව, කඩුවෙල නගර සභාව, දෙහිවල නගර සභාව ආදී පළාත් පාලන ප්‍රදේශවල මේ තෙත්බිම් පැතිර තිබේ. ජාත්‍යන්තර වශයෙන් කොළඹ තෙත්බිම්වලට ඇගැයීමක් ලැබුණද ඒ අවට සංචාරය කිරීමේදී අපට පෙනී ගියේ ඒවාට සිදුවන හානියෙන් නම් අඩුවක් නැති බවයි. රහසිගතව මෙන්ම මහදවල් ප්‍රසිද්ධියේ ද තෙත්බිම් ගොඩකිරීම සිදුවේ.

කොළඹ තෙත්බිම් ඉඩම්වල ප්‍රමාණය හෙක්ටයාර් 2000 ක් පමණ වෙනවා. මේවා පහත්බිම් සංවර්ධන සංස්ථාවට, නාගරික සංවර්ධන අධිකාරියට සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතියි. මධ්‍යම පරිසර අධිකාරියට තලංගම පාරිසරික කලාපය අයිතියි. පෞද්ගලික ඉඩම් රාශියකුත් තෙත්බිම් වශයෙන් තිබෙනවා. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් කුඹුරු ඉඩම්, පෞද්ගලික ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සීඝ්‍රයෙන් සිදුවෙනවා. කුඹුරැ ඉඩම්වල වටිනාකම අඩු නිසා හිමිකරුවන් තෙවැනි පාර්ශ්වයක් ලවා ඒවා ගොඩකරවනවා. සමහර අවස්ථාවලදී කුඹුරැවලට කසළ දමා ගොඩකිරීමත් දකින්න පුළුවන්. මේක නීති විරෝධී වැඩක්. අප සමඟ පැවසුවේ පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසර නිලධාරී ඉන්දික රාජපක්ෂය.

කොළඹ තෙත්බිම් අතරින් නීතිමය ආරක්ෂාව හිමිව තිබෙන්නේ කිහිපයකට පමණි. තලංගම වැව ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස නම්කර තිබේ. බෙල්ලන්විල අත්තිඩිය සහ කෝට්ටේ වනජීවී සංරක්ෂණ පනත යටතේ අභයභූමි බවට පත්කර තිබේ. නීතිමය ආරක්ෂාව අහිමි තෙත්බිම්වලට ආරක්ෂාව ලබාදීම අත්‍යවශ්‍යව පවතී.

කොළඹ නාගරිකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 15.4%ක් පමණ වැසී පවතින්නේ තෙත්බිම්වලිනි. වගුරැබිම්, ජලාශ සහ කුඹුරැ ඉඩම් ඒවාට අයත්ය. මේවායේ හොඳ ජෛව විවිධත්වයක් පවතී. ශාක විශේෂ 180 ක් පමණද, පක්ෂීන් හා ක්ෂීරපායින් ඇතුළු සත්ව විශේෂ 250 ක් පමණද මේ තෙත්බිම්වලින් වාර්තා වේ. වාර්ෂිකව මෙම තෙත්බිම් විනාශ වී යාමේ වේගය 1.2%කි. කොළඹ අවට කුඹුරැ ඉඩම්වලින් 60%ක් පමණ 1980 සිට අද වනවිට ගොඩකර ගොඩනැගිලි ඉදිකර අවසන්ය. මෙලෙස ගොඩකිරීම් සිදුවුවහොත් දැනට තිබෙන තෙත්බිම්වලින් 1/3ක් 2038 වනවිට අහිමි වී යනු ඇත.

කොළඹ තෙත්බිම්වලට බලපාන විනාශකාරී ක්‍රියා මට්ටම් තුනක් හඳුනාගත හැකිය.

 සම්පූර්ණයෙන් ගොඩකිරීම නිසා විනාශ වීම.
 ගුණාත්මක පාරිසරික තත්ත්වය වෙනස් වන පරිදි කසළ දැමීම.
 කර්මාන්තශාලා හා මළ අපද්‍රව්‍යවලින් තෙත්බිම හායනය වීම.

කොටිකාවත්ත මහබුත්ගමුවේ මායී වෙල්යාය කසළ දැමීම නිසා විනාශ වන එවැනි තෙත්බිමකි. 1980 වනවිටත් මෙහි කුඹුරැ වගා කළ අතර ඒ මැදින් ගලායන ඇළ මාර්ගයේ ප්‍රදේශවාසීහු ස්නානය කළහ. අද එය ප්‍රාදේශීය සභාවේ කසළ පුරවන ස්ථානයක් බවට පත්ව ඇත. එය පිහිටා ඇත්තේ කොටිකාවත්ත සුසානභූමිය පිටුපසයි. මහබුත්ගමුව ගර්ටි ගුණපාල මේ වෙල්යායේ කුඹුරු ඉඩම් හිමිකාරියකි. මේ ඇයගේ අදහස්ය.

මේ වෙල්යායේ කුඹුරු අපටත් අයිතියි. මායී වෙල්යාය අද කසළ කන්දක් වෙලා. මේ කුඹුරු ඉඩම් මැනලා නිරවුල් කරලා කුණුගොඩ ඉවත් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. ඉඩම් අයිති අයට වන්දි ගෙවලා රජයේ ව්‍යාපෘතියකට යොදාගන්නවා නම් අපි කැමතියි. අද අක්කර 8ක් කුණුවලින් පිරිලා. ළිංවල වතුර බොන්න බැහැ. අවට ජනතාවට ජීවත්වීමට බැහැ. අපි මේ ගැන විරෝධතා කළා. නමුත් විසඳුමක් නෑ. මේ වෙල්යායේ කුඹුරු කරපු වයසක ගොවියො තවමත් ඉන්නවා.

කැලණිමුල්ල ප්‍රදේශයේ කැලණි ගංගාවට මීටර් 500ක් ආසන්නව පිහිටි තෙත්බිමක්ද අපද්‍රව්‍ය දමා පුරවන ජාවාරමක් ක්‍රියාත්මකව පවතින ප්‍රදේශයකි. වරාය නගරය හා කොළඹ මහා පරිමාණ නිවාස සංකීර්ණවල අබලි ද්‍රව්‍ය දමමින් එම තෙත්බිම පුරවමින් තිබේ. එම ඉඩම් කොටස කණ්ඩායම් තුනක් විසින් පිරවීම සිදුකරන බව පැවසේ. අබලි ගොඩනැගිලි ද්‍රව්‍ය, සිමෙන්ති කොටස්, ප්ලාස්ටික්, රබර්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පවා මෙහි ඇති බව නිරීක්ෂණයේදී පෙනී ගියේය. රිජිෆෝම් කොටස්, තාවකාලික වැසිකිළි කොටස් පවා මෙහි දමා තිබෙන බව දැකගැනීමට ලැබුණි. අක්කර හතක් වන එම ප්‍රදේශයේ අක්කර දෙකක් පමණ මේ වනවිට පුරවා තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ එම ප්‍රදේශයේ තෙත්බිමක් ගොඩකිරීමට අවසර දී නැති බවයි. පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මේ පිළිබඳව පරීක්ෂණ කළ අතර ඒ අනුව පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය විසින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවද මෙහි ගොඩකිරීම්වලට අවසර ලබා දී නැති බව දැනගැනීමට ලැබුණි. ලැබුණු පැමිණිල්ලක් මත වරක් මෙම ගොඩකිරීම තහනම් කළ බවද එම සංස්ථාව පවසයි. එසේ නම් මෙම ඉඩම් ගොඩකරන්නේ කෙසේද යන්න ගැටලුවකි.

මෙලෙස විවිධ කාලවල ගොඩකිරීම නිසා දශක තුන හතරකට පෙර පැවති තෙත්බිම් අද කොන්ක්‍රීට් වනාන්තර බවට පත්ව තිබේ. ඓතිහාසික මුල්ලේරියාව වෙල හා වැව පැවති ප්‍රදේශය පස් පුරවා ගොඩනැගිලි ඉදිකිරීම කලක පටන්ම සිදුවේ. මෙම වැව ගැන ආර්.එල්. බ්‍රෝහියර්ගේ ලංකාවේ පුරාතන වාරිමාර්ග කෘතියේ ද සඳහන්ය. ගොතටුව හඩ්සන් බැම්ම අසල තිබූ වගුරුබිමද ගොඩකර අනවසර නිවාස ඉදිවූයේ කලකට පෙරය. තොටළඟ පාලම ළඟ තිබූ මාදම්පිටිය පාරේ තෙත්බිම අද ශේෂයක්වත් නැත. බත්තරමුල්ල ජයවඩනගම ප්‍රදේශයේ කුරුලු පාරාදීසයක්ව පැවති තෙත්බිමක් ද කලකට පෙර ගොඩකර ගොඩනැගිලි ඉදිකර අවසන්ය.

දිනෙන් දින නාගරික තෙත්බිම් ගොඩකෙරේ. ඉඩම්වලට ඇති අධික වටිනාකම එයට ප්‍රධාන හේතුවයි. මෙම ගොඩකිරීමේ ප්‍රතිඵලයක් ලෙස පැය බාගයක් වැස්සත් කොළඹ පාරවල් යටවේ. දවස් බාගයක් වැස්සොත් පහත්බිම්වල ගෙවල් දොරවල් පවා යටවේ. ඉතිරිව පවතින කොළඹ තෙත්බිම් රැකගැනීමේ සැලසුම්සහගත කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව දැනෙන කාලයකි මේ. නගර අලංකාර කරන අතරම නාගරික සුන්දරත්වය ඔප්නංවන තෙත්බිම් ආරක්ෂා කිරීමට බලධාරීන් වහාම උනන්දු විය යුතු වේ.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00