2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ඉන්දියාව ගිනි තැබූ අලුත් පුරවැසි පනත

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

ඉන්දියාවේ පුරවැසි පනතට එක්වූ නව සංශෝධනයක් හේතුවෙන් රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැන නැග්ගේය. දුම්රිය බස්රථ වාහන ගිනි ගත්තේය. වෙනෙකක් තබා ගිලන් රථවලට ද ප්‍රහාර එල්ල විය. සරසවි සිසුන් බැට කෑහ. නව පනත මගින් මුස්ලිම් ජනයා කොන්කර, අසීරැවට පත්කර, අසාධාරණයකට ලක්කර ඇතිබව කියමින් පිරිසක් පාරට බැස තිබුණි. නව නීතිය මගින් ව්‍යවස්ථාවේ අනාගමික ස්වභාවය වෙනස් වීමට ලක්වන බව කොංග්‍රසය ප්‍රමුඛ විරුද්ධ පක්ෂ මොර දුන්හ. තවත් පිරිසක් පාරට බැස්සේ අසල්වැසි රටවල දේශසීමා තරණය කරමින් සංක්‍රමණික සුනාමියක් සිය උපන් බිමට කඩාපාත් වනු ඇතැයි භීතියට පත්වය. දෙසැම්බර් 11 සම්මත වූයේ වසර 64ක් ඉපැරණි 1955 පුරවැසි පනතට එක් වූ සංශෝධනයකි. ඒ හේතුකොට 6 දෙනකුගේ ජීවිත බිලිගනිමින් 50 දෙනකුට තුවාල සිදු කරමින් පැතිර ගිය භීෂණ රැල්ල සිකුරාදා දිනය වනවිට මදක් සමනය වූයේ ශ්‍රෙෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟිනි.

රට පුරා මහා ආන්දෝලනාත්මක කලබැගෑනියකට මුල් වූ පනතට ශ්‍රෙෂ්ඨාධිකරණය අත පෙවූයේ එයට එරෙහිව පෙත්සම් 60කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ හෙයිනි. ඉන්දියානු විද්‍යාඥයන් සහ විද්වතුන් 1000කට වැඩි පිරිසක් අස්සන් තබන ලද පෙත්සමක්ද ඒ අතර විය. මෙම පනත ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියෝග කරන එම පෙත්සම් මගින් පනත බලාත්මක වීම වළක්වන ලෙස ඉල්ලා තිබුණි. ඉන්දියානු එක්සත් මුස්ලිම් ලීගය පනත නීතිවිරෝධි ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටියේය. කොංග්‍රසය ද උසාවි ආවේය. අගවිනිසුරු එස්. ඒ. බෝබ්දේ ප්‍රමුඛ විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් වූ විනිසුරැ බී. ආර්. ගවානි සහ සූර්යාකාන්ත් තුන්කට්ටුව මධ්‍යම රජයට පනත මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවාදැයි සොයා බලන ලෙස දැනුම් දීමට කටයුතු කළ යුතු බව පිළිගත්ත ද පනත බලාත්මක වීම වැළැක්වීමට අවශ්‍ය නැතැයි තීන්දු කළේය. එසේම පෙත්සම් විමසා බැලීම ජනවාරි 22 දක්වා කල් තැබුවේය. රට පුරා නීතිවිරෝධි රංචු ගැසීම තහනම් කරන 144 වැනි වගන්තිය බලාත්මක කරන්නට ද කටයුතු කර තිබුණි. ඒ සමගම ඇසෑමය ප්‍රමුඛව රට පුරා පැතිර ගිය විරෝධය යම්තරමකට සමනය වී ගියේය.

ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන්හී ද දෝෂ දර්ශනයට ලක් වූ මේ පනත හේතුවෙන් සිදුවන වෙනස කුමක්ද? ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ බංග්ලාදේශයෙන් 2014 දෙසැම්බර් 31ට පෙර සංක්‍රමණය වූ හින්දු, සීක්, බෞද්ධ, ජෛන, පාර්සි සහ කිතුණු ආගමිකයන් හට පුරවැසි භාවය ලබාදීමට මෙම සංශෝධනය නීතිමය ඉඩකඩ සලසා දෙයි. නමුත් එයින් මුස්ලිම්වරුන් හට ඒ අවස්ථාව ලබා දී නැත. එසේම මෙම සංශෝධනයේ වාසිය ඇසෑමයේ, මෙගාලයේ සහ ත්‍රීපුර හී ඇතැම් ගෝත්‍රික ජනතාවට ලැබෙන්නේ නැත. අරැණාචල්ප්‍රදේශ්, මිසෝරාම්, මණිපූර් සහ නාගාලන්තය ද මේ වාසිදායක තත්ත්වය ලබන්නේ නැත. එසේම අසල්වැසි රාජ්‍යවන ශ්‍රීලංකාවෙන් සංක්‍රමණය වූ හින්දූන් සහ චීන බලපෑම නිසා පලා ආ තිබ්බත බෞද්ධයන් සම්බන්ධයෙන්  ද මෙම පනත කතා නැත. ඉන්දීය බුද්ධි තොරතුරු කාර්යාංශයට අනුව මේ පනත හේතුවෙන් බිලියන 1.3ක් වන ඉන්දීය පුරවැසි ගහනයට වහාම අලුතෙන් 31300ක් එකතු වන්නට නියමිතය. අගමැති මෝදි, ඇමති අමිත් ෂා, මෙන්ම විශිෂ්ට ලේඛිකා තලිස්මා නස්රීන් සහ දිල්ලියේ ජුම්මා මහ පලලියෙ ප්‍රධානියා ද පුනපුනා කීවේ මේ පනත ඉන්දියාවේ සිටින මුස්ලිම්වරුන්ට කිසිදු හානියක් නොකරන බවය.

මේ සම්බන්ධයෙන් කොරහෙත් කිඹුලන් දකින්නන් ඉදිරිපත් කරන තදබල විවේචචනයක් ද ඒ සමගම එළියට ආවේය. එනම් මේ පනත යටතේ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනය (NRC) තුළ නම සඳහන්ව ඇති නමුත් වෙනත් තහවුරු කිරීමක් අහිමි පනත මගින් නම් කර ඇති ආගම් හයට පමණක් අයත් පුද්ගලයන්ට පුරවැසි අයිතිය හිමිවන බවයි. නමුත් ඉහත ආගම්වලට අයත් නැති පුරවැසි පැටිකිරිය තහවුරු කළ නොහැකි පිරිස රටක් රාජ්ජයක් නැති අනාථයන් බවට මෙයින් පත්කර ඇති බවය. ඔවුන් කියන පරිදි මේ සඳහා හොඳම නිදසුන පනත හේතූවෙන් කලින්ම ගිනි ඇවිළුනු ඇසෑමයයි.

පනත් සංශෝධනය සම්මත වූ දිනට පසුදා එනම් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 12) මුලින්ම විරෝධතා ආරම්භ වූයේ ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙනි.

ඇසෑම් ප්‍රාන්තයේ උද්ඝෝෂණ හටගත්තේ කාරණා දෙකක් හේතූකොටගෙනය. අසල්වැසි බංග්ලාදේශයේ සිට පැමිණෙන මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සිය ප්‍රදේශයේ දැනට වෙසෙන ජනතාවට වඩා ඉහළ යා හැකි බවට ජනතාව තුළ හටගත් භීතිය එකකි. ඔවුන් සිය රුකියා සහ ඉඩම් අත්පත් කරගෙන සිය සංස්කෘතිය සහ අනන්‍යතාව පවා වෙනස් කරනු ඇති බව ඇසෑම් වැසියන්ගේ තර්කය වී තිබේ.
එසේම ඇසෑම් ප්‍රාන්තයේ උද්ඝෝෂණ ඇඹුණේ අනෙක් පළාත්වල මෙන් නව නීතිය මගින් ව්‍යවස්ථාවේ අනාගමික ස්වභාවය වෙනස්වීම සම්බන්ධයෙන් පමණක්ම නොවේ. ඇසෑමයේ අර්බුදය වෙනස් තත්වයක් බවටපත්වීමට තවත් හේතුවක් තිබේ. ඒ ඇසෑම් පුරවැසි ලේඛනයයි(NRC).

තම භූමියෙහි කෝටි දෙකක් තරම් වූ  අනවසර සංක්‍රමිකයන් පිරිසක් ජීවත්වෙන බව ඇස්තමේන්තු කර ඇතැයි ඉන්දියානු ආණ්ඩුව 2016 වසර තරම් ඈතකදී ප්‍රකාශයට පත් කළේය.

ඒ අතර ඇසෑම් ප්‍රාන්ත බලධාරීන් විසින් පසුගිය සප්තැම්බරයේ ‘පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනයේ ‘අලුත්ම පිටපත ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි. මෙම ඇසෑම් ප්‍රාන්තයේ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනය (NRC) 1951 වසරේ දී ආරම්භ කරන ලද්දකි. එම ලේඛනය අනුව, ඇසෑම් ප්‍රාන්තයේ ඉපදීමෙන් ඉන්දියානුභාවය උරැම තැනැත්තන් සහ අසල්වැසි බංග්ලාදේශ් සංක්‍රමණිකයන් වෙන්කොට හඳුනා ගැනීමක් සිදු කෙරෙයි. එහෙත් එම ලේඛනය කාලාන්තරයකට පසු පළමුවරට යාවත්කාලීන කර තිබෙන්නේ මෙම වසරේදීය(2019). එම යාවත්කාලීනය අනුව ඇසෑම් බලධාරීන්, ප්‍රාන්තවාසීන්ට ඔවුන්ගේ පැටිකිරිය දක්වන ලෙස දැනුම් දී ඇති අතර, එය පෙන්නුම් කිරීමට අපොහොසත් වන ජනයාගේ පුරවැසි අයිතිය අහිමි කරමින් ඔවුන් ‘අනවසර විදේශිකයන්’ ගණයට ඇතුළත් කෙරෙනු ඇත.
ඇසෑම් ප්‍රාන්තයේ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනයෙහි(NRC)   ඇතුළත්වන්නේ 1971 මාර්තු මස 24 වෙනිදිනට පෙර තමන් එම ප්‍රාන්තයට පැමිණ සිටි බව තහවුරු කළ හැකි පුරවැසියන්ගේ ලැයිස්තුවකි. 1971 මාර්තු මස 24 යනු බංග්ලාදේශය පාකිස්ථානයෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලද දවසට පෙර දිනයයි. එම ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනයේ නම් ඇතුළත් නොවන ජනතාවට එදිනට පෙර තමන් ප්‍රාන්තයේ ජීවත් වූ බව තහවුරු කිරීම සඳහා දවස් 120ක කාලයක් දී තිබුණි. දැන් එම කාලය ද ගෙවී අවසන්ය. මේ අනුව,ඇසෑම් ප්‍රාන්තයේ පුරවැසියන් හැටියට පිළිනොගත් දහනව ලක්ෂයක අනාගත ඉරණම කුමක්ද යන්න මතුකර ඇත්තේ අර්බුදකාරී ගැටලුවකි.

ඉන්දියාවේ වැඩිම ජනවර්ග ගණනක් ජීවත්වෙන ප්‍රාන්තය ඇසෑමයයි. අධිජනගහනය සහ එම ප්‍රජාවේ බහු වාර්ගික භාවය නිසාම ඔවුන්ගේ අනන්‍යතාව සහ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය දීර්ඝ කාලයක පටන් බල පැවැත්වෙන්නකි. ඇසෑම් ප්‍රාන්තවාසීන් අතර හින්දි භාෂාව ව්‍යවහාර කරන ඇසෑම් ජාතිකයන්, බෙන්ගෝලි ජාතිකයන් සහ මිශ්‍ර වූ ගෝත්‍රික ප්‍රජාවක් ද දක්නට ලැබෙයි.

ජනගහනය අනුව එම ප්‍රාන්තයේ තුන්වෙනි ස්ථානය මුස්ලිම් ජනවර්ගයා හිමිකර ගනී. ඔවුන් තුන්කෝටි විසි ලක්‍ෂයක් පමණ වන අතර, ඇසෑම් මුස්ලිම් ජනතාව සංඛ්‍යාව අතින් දෙවැනි වන්නේ ඉන්දීය පාලිත කාශ්මීරයට පමණි. ඔවුන්ගෙන් වැඩිදෙනා බ්‍රිතාන්‍ය පාලන සමයෙහි සංක්‍රමණය වූවන්ගෙන් පැවැත එන්නෝය.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කිලෝමීටර් හාරදහසක තරම් දීර්ඝ දේශසීමා සම්බන්ධයක් ඇත. එම අසල්වැසි බංගලාදේශයෙන් අනවසර සංක්‍රමණිකයන් සියරටට රිංගා ගන්නා බවට ඉන්දියාව දශක කීපයක පටන් මැසිවිලි පළ කරමින් සිටියි. දැන්  අලුත් සංක්‍රමණික නීති සං‍ශෝධනය එන්නේ එවන් පසුබිමකය.

මෙහිදි සිය පාරම්පරික පුරවැසිභාවය ඔප්පු කිරීමට අපොහොසත් වෙන ඇසෑම්වාසීන් රටක් නොමැති ජනකායක් බවට පත් වන්නේද? යන්න දැන් පැන නැගී ඇති ප්‍රශ්නයයි. ඒ අනුව, එම ප්‍රාන්තයේ පදිංචිකරුවන් දහනව ලක්ෂයකට (මිලයන1.9) පමණ ඉන්දියානු පුරවැසිභාවය අහිමි වියාමේ අණතුර මතුව තිබේ.

එවැනි අභියෝගයකට මුහුණ දී සිටින ජනතාවට දැන් ඇති එකම විකල්පය තම අයිතිය ඉල්ලා අභියාචනා කිරීම පමණි. මෙහි මුලින් සඳහන් කළ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනයයෙහි (NRC) සිය නම ඇතුළත් නොවන ඇසෑම් වාසීන්ට විදේශිකයන් සඳහා පිහිටුවා ඇති විශේෂ අධිකරණයට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ද අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය හිමි වෙයි. නමුත් කොරේ පිටට මරේ මෙන් යම්හෙයකින් එවැනි අභියාචනයක් අධිකරණය විසින් බැහැර කළොත් එම අයදුම්කරැ හෝ අයදුම්කාරිය කාල නියමයකින් තොරව රඳවා තැබෙනු ඇත.

එසේම එම විශේෂ අධිකරණ ආයතනද "ගුණාත්මකභාවය පිරිහුණ උදාසීන" ආයතන විශේෂයක් හැටියට ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. මේ තත්ත්වය යටතේ මියන්මාරයේ ‘රෝහින්ග්‍යා අර්බුදයට’ සමාන අර්බුදයකින් ඉන්දියාවේ ඇසෑමය තුළ සංක්‍රමණික ගැටලුවත් නිම වීමේ ඉඩක් බොහෝදුරට උදාවී පවති.

►  සුගත් පී.කුලතුංග ආරච්චි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00