2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

පෘතුගීසිකාරයා නත්තල සමරන්න සූරයා

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

අතීතයේ නත්තල් සිරි අසිරි සොයා සිරිලක කිතුනුවන්ගේ මතක අතරට පිවිසීමට අපට සිත් විය. සීත උඳුවප් මහේ අසිරිමත් නත්තලට ඇත්තේ තවත් රාත්‍රී දෙකක් පමණි. සාමයේ කුමරුන් මිහිමත පහළ වූ මේ සොඳුරු දිනය සැමරීමට ලොව පුරා කිතුනු ජනයා සූදානමින් සිටිති. මේ අතරේ අපි අපගේ කාල යාත්‍රාව දියත් කළෙමු. නැවට නැංගුරම්ලීම කෝට්ටේ යුගයෙනි.

1505 දී මෙරටට පැමිණි, වෙරළබඩ සිය අණසක පැතිරෑ පෘතුගීසින්ට එම යුගයේ උඳුවප් මාසය විශේෂිත විය. ඈත සුරෙන් එතෙර සිය ගම්බිම්වල අඹුදරුවන් පිළිබඳව සිතුවිලි මේ සමයේදී ඔවුන් තුළ අවදි විය. සුදුවන් හිමෙන් වැසී යන සිය ගම්බිම් පිළිබඳ මතක ඔවුන් තුළ සාංකාවක් ජනිත කරලීය. හිම පියළි නැතිමුත් උඳුවප් මාසය උත්සව සමය ලෙසින් සලකා වැඩ කරන්නට පෘතුගීසීහු පෙළඹුණහ. උඳුවප් මාසය එළඹෙන විට පෘතුගීසි බලකොටුවල කාලතුවක්කු ගිගුම් දුන්නේ එබැවිනි. අද එම මතකය ශේෂ කරගත් පුංචි රෝමයේ කිතුනුවෝ උඳුවප් මහේ ඇරුඹුම රතිඤ්ඤා හඬින් සලකුණු කරති.

ඒ අනුව සිරිලක නත්තල් අසිරිය සැමරුමේ ආරම්භකයන් වනුයේ කෝට්ටේ යුගයේ මෙරටට පැමිණි පෘතුගීසින්ය. පල්ලිවල සීනු හඬවමින් වෙඩි පත්තු කරමින් ඔවුන් සැමරූ නත්තල එකල ලාංකිකයන්ට ආකර්ශනීය වන්නට ඇත. මෙම සමයේ වූ ආගමික ප්‍රචාරයට ද මෙම සැණකෙළි සිරිය ආශිර්වාදයක් වන්නට ඇතැයි කියැවේ. ඒ අනුව 1505 සිට 1658 දක්වා පෘතුගීසි පාලන කාලය තුළ පෘතුගීසි අනුග්‍රහයෙන් සිරිලක නත්තල් සම්ප්‍රදායට එකතු වූ අංග රාශියකි. නත්තල වෙනුවෙන් ගවලෙන් තැනීමේ පුරුද්ද මෙන්ම කිතුනු ආභාෂය රැගත් නාට්‍ය සම්ප්‍රදාය ද පෘතුගීසින්ගෙන් ලද උරුමයක් බව කියැවෙයි.

පෘතුගීසි යුගය නිමවී 1658 - 1796 කාලයේදී ලන්දේසින්ගේ ග්‍රහණයට සිරිලක වෙරළබඩ පළාත් නතුවීමත් සමඟ නත්තල වෙනුවෙන් තවත් බොහෝ සංස්කෘතිකාංග එක් විය. විශේෂයෙන්ම නත්තල් කැරොල් ගී සම්ප්‍රදාය මෙම යුගයේ පෝෂණය වී ඇත. ඊට දේශීය මුහුණුවරක් ලැබුණේ මේ සමයේය. 1730 දී පමණ සිංහල කැරොල් ගී ගායනය ආරම්භ වී ඇති බව කියැවේ. එහි නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාය. මීට අමතරව 16 වැනි සියවසේ විසූ ජර්මානු ජාතිකයන් ලොවට නත්තල් ගස හඳුන්වා දෙන විට ලන්දේසීහු එයම අලුත් සංකල්පයක් ලෙස සිරිලක කිතුනුවන් තුළ පැළ කරනු ලැබූහ. මුල්කාලීනව මෙරට ජනයා නත්තල් ගස් වෙනුවට විවිධ ආදේශක යොදාගෙන තිබේ.

කෙසේවෙතත් නත්තල් ගස අද තිබෙන තත්ත්වයට ඔසවා තැබීමේ ගෞරවය හිමිවන්නේ ඉංග්‍රීසින්ටය. අප ඉංග්‍රීසි පාලනයට නතුව සිටි කාලයේ නත්තල් ගසට සම්බන්ධිත විශේෂිත සිදුවීමක් ලන්ඩන් නුවර සිදුවිය. එවක බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා රැජනගේ ස්වාමිපුරුෂයා වූ ඇල්බට් කුමරු 1841 වසරේ නත්තල වෙනුවෙන් වින්ඩ්සර් මාලිගයේ තිබූ නත්තල් ගස, මුතු මැණික් මෙන්ම ඉටි පහන්, රසකැවිලි, පළතුරු සහ ඉඟුරුපාන් ආදිය යොදාගනිමින් සැරසූ බව පැවසේ. ඉන් අනතුරුව ඉංග්‍රීසි ජාතිකයන් හරහා ලොව පුරා නත්තල් ගස සැරසීමේ අලුත් සාම්ප්‍රදාය පැතිරී ගියේය. මේ සමයේ  බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය ගුරුකොටගත් සිරිලක බැතිමත්හු ද නත්තල් ගස සැරසීම සඳහා සුරතල් බෝනික්කියන්, කුඩා ගෘහභාණ්ඩ මෙන්ම විසිතුරු ආභරණ, පුංචි සංගීත භාණ්ඩ‍, රසකැවිලි සහ පළතුරු ආදිය යොදාගත්හ.

මේ වන විට ක්‍රියාත්මක වූ යටත්විජිතකරණයත් සමඟ ලොව පුරා සාමයේ කුමරු පිළිබඳ පණිවිඩය පැතිර ගියේය. සිරිලක්වාසීන් මෙන්ම ලොව පුරා බොහෝ ජනකොටස් නත්තල සැමරීමට උත්සුක වූහ. එහෙත් ලොව හැමතැන වූ ඔවුනොවුන්ගේ ජන සංස්කෘතීන් නත්තල් සැමරැම සමඟ මුසු විය. අප සහෝදර දමිළ ජනයා මෙරටදී මෙන්ම ඉන්දියාව තුළ ද නත්තල මුළුමනින්ම තමන්ගේ කරගත්හ. අප වෙරළබඩ සිංහලුන් ද ඊට නොදෙවැනි විය. මුල්කාලීන නත්තල කොතරම් දේශීය වී දැයි කීමට සාක්ෂි මීගමුව, ජාඇළ, හලාවත, කටුකුරැන්ද, මග්ගොන ආදී ගම්බිම්වලින් අපට හමු වේ. එසේම අතීත පතපොතින් මෙන්ම මර්සලින් ජයකොඩි පියතුමන් වැනි උතුමන්ලාගේ මතක සටහන් අතරින් ද ඒ පිළිබඳ වූ තොරතුරු අපට හමු විය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ නත්තල වෙනුවෙන් සති දෙකක පමණ රජයේ නිවාඩු කාලයක් ලැබී තිබේ.  නත්තල වෙනුවෙන් සීට්ටු දැමූ පිරිස වෙනුවෙන් නත්තල් ‘සේල්’ ද පැවති බව පැවසේ. ඒ අනුව නත්තලට වෙළෙඳ අරුත එක්වීම ඇරුඹී ඇත්තේ ද මේ සමයේය. නත්තල වෙනුවෙන් සිරිලක කිතුනු ජනයා අතර අපූරු වූ පුරුදු ද තිබූ බව සඳහන්ය. ගෘහණිය කාසි මුට්ටි, කාසි පෙට්ටි එකතු කර ඇත්තේ නත්තල් වියදම් සඳහාය. එම මුදල් ගමට පැමිණි චීන වෙළෙඳුන්ට දී විසිතුරු සළු පිළි ආයිත්තම් ලබාගැනීම ඔවුන්ගේ සිරිත වී තිබේ.

අතීත නත්තලේ අසිරිය මුලින්ම රටට බෙදා ඇත්තේ කැරොකේ ගී කණ්ඩායමය. සුදු පැහැති ගොනකු බැඳ කිතු උපත පිළිබඳ නේක චිත්‍ර එල්ලා හැඩ කළ කැරොල් කරත්ත පිළිබඳ මතක අද ද පැරැණ්නන් තුළ ශේෂව තිබේ. වීදි පුරා සැරිසැරූ විසිතුරු ලෙස සැරසුණු කැරොල් ගී කණ්ඩායම් එදා කොළඹ, මීගමුව, හලාවත, කළුතර, මාතර මෙන්ම යාපනයේ පවා විරල නොවූ බව කියැවේ.

මුල්කාලීනව සිංහල කතෝලිකයන් අවුරුදු චාරිත්‍ර ද නත්තලේදී සපුරා ඇති බව කියැවෙන කතාවක් අපට අසන්නට ලැබුණි. මර්සලින් ජයකොඩි පියතුමා නත්තලේ මතක ගැන කී කතාවකින් එය තවත් තහවුරු වේ.

“ගෙදර ආවහම කැවුම් කොකිස් විමානයයි. නත්තල් රෑ පූජාවට යන දවසේ මුළු දවසේම අම්මා කැවුම් ඉව්වා. අක්කා කෙනෙක් අග්ගලා හැදුවා. ළඟින් යනකොට මටත් එකක් දුන්නා. අම්මා ළඟිනුත් මං හතර පස් පාරක් ගියා. ඒ වුණාට එක කැවුමයි දුන්නේ.”

ඒ අතීත මතක පිළිබඳ මර්සලින් ජයකොඩි පියතුමන් තබා තිබූ සටහනකි. එවැනි තවත් සටහනකින් අපි අපේ අතීත යාත්‍රාවට සමුදෙන්නට තීරණය කළෙමු. එම වදන් එම අතීතයට ඔබව රැගෙන යනු ඇත.

“පල්ලිය හරිම ලස්සනයි. මල් තිබුණා. පොල්තෙල් ලාම්පු එල්ලා තිබුණා. එක ලාම්පුවක් ගස් මුට්ටියක් විතර ඇති. ඒ මුට්ටි සුදු, නිල්, රතු පාට වීදුරැවලින් හදලා හීන් දම්වැලකින් කට වටේ බැඳලා තිබුණා. ඒ දම්වැල්වලින්ම පල්ලියේ බාල්කවල එල්ලලා තිබුණා. සමහර ලාම්පුවල දිග සුදු ඉටිපන්දම් ගහලා පත්තු කරලා තිබුණා. සමහර ලාම්පුවල කුඩා මැටිපහන්වලට තෙල් දමා වැටි දල්වලයි තිබුණේ. පල්ලිය වටේ ගිනිගොඩවල් ගහලා තිබුණා. මුළු පල්ලියේම බිමට කුරැඳු කොළ දමලා තිබුණා සුවඳ ගහන්න.”
සුභ නත්තලක්!

චමිඳු නිසල්
මූලාශ්‍ර : පැරැණ්නන්ගේ මතක, පතපොතේ හමු වූ විත්ති.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00