මෙගාවොට් හාරදහසක් පමණ නිපදවිය හැකි බලාගාර අප සතුව තිබේ. රාත්‍රි කාලයේ දිනෙක විදුලි ඉල්ලුම මෙගාවොට් 2500ක් පමණ වේ. මෙම ධාරිතාව සැපයීම සඳහා ප්‍රමාණවත් බලාගාර පැවතිය යුතුය. නඩත්තු කටයුතු, බිඳවැටීම් වැනි කරුණු මත දැනට පවතින සියලුම බලාගාර එකවර ක්‍රියාත්මක කළ නොහැකිය. නියං සමයේ ජලවිදුලි බලාගාරවලින් උත්පාදනය කරන මෙගාවොට් ප්‍රමාණය සීමිතය. සෑම වසරකම මෙගාවෙට් 150ක 200ක පමණ විදුලිය ඉල්ලුමක් අලුතින් නිර්මාණය වේ. මෙම ඉල්ලුම සපුරාලීම සඳහා වසරකට වරක් නව විදුලි බලාගාර ඉදිවිය යුතුය. එහෙත් පසුගිය පස්වසර පුරා එකදු විදුලි බලාගාරයක් හෝ ඉදිවූයේ නැත. එහි ප්‍රතිපලය වන්නේ අප්‍රේල් මැයි වැනි කාලයේ විදුලි අර්බුදයක් නිර්මාණය වීමය.
ලංකා විදුලිබල මණ්ඩලයෝ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරැ අනුරැද්ධ තිලකරත්න මහතාගෙන් එලෙස විදුලි අර්බුදයක් ඇති වීමට බලපාන සාධක පිළිබඳව අප විමසා සිටියෙමු.
ඔහුගේ මතය වූයේ රටේ විදුලි අවශ්‍යතාව සපුරාලිය හැකි පරිදි විදුලි බලාගාර ඉදිකර තිබුණා නම් මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන බවටය. “නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි අදියරයේ මෙගාවොට් 300ක් අපේ විදුලිබල පද්ධතියට සම්බන්ධ වූයේ 2014දී. එයින් පසු වසර පහක කාලයක් තුළ කිසිදු ස්ථාවර බලාගාරයක් ඉදිකෙරුණේ නැහැ. එහෙත් මෙරට විදුලිබල ඉල්ලුම දිනෙන් දින ඉහළ ගියා. එය 100% ආසන්නට පැමිණ තිබෙනවා. ඊට සමගාමීව බලාගාර වැඩිවිය යුතුව තිබුණත් එලෙස සිදුවූයේ නැහැ. බලාගාර ඉදිකිරීම සඳහා විවිධ සැලසුම් ඉදිරිපත් වුවද ඒවාට විවිධ බලපෑම් එල්ල වුණා. සෑම දෙවසරකටම වරක් ජනන සැලැස්මක් ඉදිරිපත් කරනවා. එය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමත විය යුතුයි. පසුගිය වසරේ ඉතා අසීරුවෙන් එය අනුමත කර ගැනීමට හැකිවුණා. කඩිනමින් විදුලි බලාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව අප නව රජයේ බලධාරීන්ට පෙන්වා දුන්නා. මේ සඳහා ගල් අඟුරු සහ එල්.එන්.ජී (ස්වභාවික ද්‍රව වායු) බලාගාර ඉදිවිය යුතුයි. ඉතා කඩිනමින් එවැනි බලාගාරයක් ඉදිරිකිරීමට අවම වශයෙන් වසර 4ක් පමණ ගත වනවා.”
විදුලි අර්බුදයක් නිර්මාණය වීමට අප්‍රේල් මැයි වැනි කාලවල බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහල බැසීමද බලපාන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.
“ජලවිදුලි උත්පාදනය අවම වන විට අවශ්‍ය විදුලි ඉල්ලුම සපුරා ගන්නේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් හා තාපබලාගාරවලින්. මේ දිනවල පවතින වර්ෂාව නිසා ජලවිදුලි බලාගාරවලින් 50%ක පමණ විදුලි උත්පාදනයක් සිදුවන බැවින් ගල්අඟුරු හා තාපබලාගාරවලින් උත්පාදනය කෙරෙන විදුලිය ධාරිතාවත් සමඟ පවතින ඉල්ලුම සපුරාලිය හැකියි. එහෙත් පබරවාරි, මාර්තු පමණ වන විට මෙම ජල මට්ටම පහත බසින බැවින් ජල විදුලි උත්පාදනය 10%ක් වැනි ප්‍රමාණයකට අඩු වෙනවා. එවිට විදුලි අර්බුදයක් ඇතිවිය හැකියි. එයට බලපෑවේ මෙරට පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය බලාගාර ඉදි නොවීමයි. 2020 අපගේ බලාගාර පද්ධතියට එක්වීමට තිබූ සාම්පූර් බලාගාරය ඉදිකිරීම 2015 නවතා දැමීම නිසා ගැටලුව තවත් උග්‍ර වී තිබෙනවා. සාම්පූර් බලාගාරය ඉදිකිරීමට තිබූ භූමියේ මේ වන විට විවිධ පිරිස් පදිංචි කරලා. එය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම්, පරිසර සහතික වැනි සියලු අවශ්‍යතා සපුරා තිබුණා.. ඉතිරිව තිබුණේ. ටෙන්ඩර් කැඳවා ඉදිකිරීම් ආරම්භ කිරීමට පමණයි. එය නවතා නොදැමුවානම් ලබන වසරේ සිට විදුලි උත්පාදනය ආරම්භ කළ හැකිව තිබුණා. යළි නව බලාගාරයක් ඉදිකිරීමට සඳහා ඉඩම් වෙන්කිරීම, විවිධ සමාජ ගැටලු නිරාකරණය වැනි කටයුතු සඳහා වසර පහ හයක් පමණ ගතවෙනවා. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් පසු කිසිදු බලාගාරයක් ඉදිවූයේ නැහැ. එහෙත් දිනපතා විදුලි ඉල්ලුම ඉහළ ගියා. එය සපුරාලීම සඳහා වසර තුනකට වරක්වත් මෙගාවොට් 500 පමණ බලාගාරයක් ඉදිවිය යුතුයි.”
අපගේ විදුලි ඉල්ලුම උපරිමව පවතින්නේ රාත්‍රි 6 සිට 8 අතර කාලයේය. එම කාලය තුළ පැයකට මෙගාවොට් 2500ක් පමණ භාවිත වේ. මෙම තත්ත්වය වැසි සහිත දිනවල අවම වන අතර හා අධික උෂ්ණත්වය පවතින දිනවල ඉහළ යයි. ජලය හිඟ කාලයට මෙම ඉල්ලුම සපුරාලීම අසීරුය. පවතින සියලු ඩීසල් තාප හා ගල්අඟුරු බලාගාර ක්‍රියාත්මක කළද එම ඉල්ලුම සපුරාලිය නොහැකිය. එහිදී වරින් වර විදුලි කප්පාදුවක් කිරීමට සිදුවේ. මෙවැනි අවස්ථාවන්හි වැඩි මිලට පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීම් සිදු කෙරේ.
විදුලි අර්බුදයට ප්‍රධාන සාධකය නිවැරැදි තීරණ නොගැනීම සහ සැලසුම් ක්‍රියාත්මක නොකිරීම බව සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.
“සාමාන්‍යයෙන් වැසි රහිත කාලවල විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට මෙගාවොට් 300ක් පමණ ප්‍රමාණවත්. එහෙත් එම බලාගාර එකදිගට ක්‍රියාත්මක කළ නොහැකියි. ඒවායේ බිඳ වැටීම්, නඩත්තු කටයුතු සිදු කළ යුතුයි. හදිසියේ බලාගාරයක් බිඳවැටුනොත් එයට විකල්ප අවශ්‍යයි. ඇතැම් විට නඩත්තු කටයුතු සඳහා මාස දෙක තුනක කාලයක් ගතවිය හැකියි. එවිට එම බලාගාරයෙන් උත්පාදනය කළ විදුලිය ලබා දීමට වෙනත් බලාගාරවල සහය අවශ්‍ය වෙනවා. එහෙයින් සුමට ලෙස විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා අවම වශයෙන් තවත් මෙගාවොට් 600ක් 700ක් පමණ උත්පාදනය කළ හැකි බලාගාර එකතු විය යුතුයි.”
සෑම වසරකම මෙගාවොට් 200ක පමණ ප්‍රමාණයකින් විදුලිය ඉල්ලුම ඉහළ යයි. එහෙත් වසරකට වැඩිවන විදුලි ඉල්ලුම සලකා බලා ඒ ඒ වසර සඳහා අවශ්‍ය බලාගාර ඉදි කිරීමට සැලසුම් ඉදිරිපත් කළද ඒවා ක්‍රියාවට නැංවෙන්නේ නැත. මෙම සැලසුම් විදුලිබල මණ්ඩලයට තනිව ක්‍රියාත්මක කළ නොහැකිය. එය කල යුත්තේ රජය මගිනි. ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර දීම හා අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සලසා දිය යුත්තේ රජයයි. මෙවැනි අවස්ථාවල විවිධ ප්‍රාෙද්ශික දේශපාලනඥයන්ගේ අතපෙවීම් නිසාද බාධා ඇති වේ. කොමිස් ලබාගැනීමේ අරමුණින් ඔවුහු ඒවාට බාධා පමුණුවන බව පැවසේ. මෙවැනි දේශපාලන කඹ ඇදීම්ද බලාගාර ඉදිකිරීමට බාධකයක් වී තිබේ. පැවැති රජය සමයේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර පැවැති සීතල යුද්ධය නිසාද නිවැරුදි තීරණ ගැනීමට නොහැකි වූ බව පැවසේ.
දේශපාලනඥයන්ගේ කඹ ඇදීමෙන් පීඩාවට පත්වන්නේ මෙරට ජනතාවය. එමෙන්ම අමාත්‍යාංශවල ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ විවිධ අතපෙවීම්, මතභේද හා වෙනත් යටි අරමුණු හේතුවෙන්ද විදුලි අර්බුදයට විසඳුම් සෙවීම දිනෙන් දින කල් යමින් තිබේ. අභ්‍යන්තර අර්බුදවලට අමතරව ජාත්‍යන්තර බලපෑම්ද තිබේ. වසර දහයක පමණ කාලයක් පුරා සියලු කටයුතු සූදානම් කර තිබූ සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම නවතා දැමීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ බව පැවසේ. ඉඩම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසුණු අවස්ථාවේ විදුලිබල මණ්ඩලයේ ලේකම්වරයා තමන් සාම්පූර් බලාගාරය ඉදි නොකරන බව අධිකරණයට දන්වා තිබේ.. සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් අත්හැර දැමුණේ ඉදිරියේ විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බැවින් එහි ඉදිකිරීම් කඩිනමින් සිදුකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දන්වා තිබූ වාතාවරණයක් තුළය. නිවැරැදි දේශපාලන දැක්මක් නොමැති වීම මත විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති වූ කඹ ඇඳිල්ලෙන් පීඩාවට පත්වන්නේ මහජනතාවය.
විදුලිය අර්බුදයට පිළියමක් ලෙස ඉංජිනේරුවන් විසින් ජනන සැලැස්ම නමින් සැලැස්මක් සෑම වසර දෙකකටම වරක් සකස් කරයි. ජනතාවට අඩු වියදමින් විදුලිය නිපදවිය හැකි බලාගාර තෝරා ගෙන එක් එක් වසරේ එම බලාගාර ඉදිකළ යුතු ආකාරය එමඟින් ඉදිරිපත් කරනු ලැබේ. එහෙත් මෙම බලාගාර ඉදිකිරීම පමා කිරීම හෝ අවලංගු කිරීම හෝ පසුගිය කාලය පුරාවටම සිදුව තිබේ. විදුලිබල පනත අනුව බලාගාර ඉදිකිරීමේ බලය ඇත්තේ විදුලිබල මණ්ඩලයටය. එහෙත් විදුලිබල මණ්ඩලයට ඒ සඳහා විවිධ බාධක පවතී. 2015න් පසු කිසිදු ජනන සැලසුමක් මහජන උපයෝගීතා කොමිසම මගින් අනුමත නොකල බවට විදුලිබල මණ්ඩලය චෝදනා කරයි. විදුලි ඉංජිනේරුවන් විසින් ඉදිරිපත් කළ සැලැස්ම අනුමත කිරීම හෝ නොකිරීමේ බලය මහජන උපයෝගිතා කොමිසම සතු නමුදු එය වෙනස් කිරීමට බලයක් ඔවුන්ට නොමැත. ඔවුන් ඒවා වෙනස් කිරීමට යෑමෙන් ජනන සැලැස්ම සම්බන්ධයෙන්ද අර්බුදයක් නිර්මාණය වූ බව විදුලිබල මණ්ඩලයේ අදහසයි.
එහෙත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ සන්නිවේදන ජයනාත් හේරත් මහතා පවසන්නේ එම ප්‍රකාශය සාවද්‍ය බවයි.
“විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ජනන සැලසුම් සමාලෝචනය කොට එය රජයේ ප්‍රතිපත්තියට අනුව එනම් බලශක්තිය ජනනය කරන සම්මිශ්‍රණය අනුව බලාගාර ඉදිකිරීම සහ විදුලිබල පනතේ සඳහන් අවම පිරිවැය යන කොන්දේසියට අනුකූලව ඒවා අනුමත කිරීමේ බලය මහජන උපයෝගිතා කොමිසමට පැවරෙනවා. ජනන සැලසුමක් වසර 20ක කාලයට සකස් කරන අතර එය දෙවසරකට වරක් සංශෝධනය කරනවා. අප අනුමත කළ ජනන සැලසුම්වත් මේ වන තෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. එල්.එන්.ජී බලාගාරය, මන්නාරමේ සුළං බලාගාරය හොඳම උදාහරණ. එල්එන්ජී බලාගාරය සඳහා වන ජනන සැලසුම 2016 නොවැම්බර් මාසයේ අනුමත කළ එකක්. එහි ජනන කටයුතු ආරම්භවීමට නියමිත වූයේ 2019 ජනවාරියේ. පසුගිය වසර පහ තුළ මෙගාවොට් 900ක බලාගාර ඉදිකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමත කර තිබෙනවා. ඒවායේ ඉදිකිරීම් ප්‍රමාදයි. සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් නවතා දැමීම නිසා ගල්අඟුරු බලාගාර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය කුමක්දැයි මහජන උපයෝගිතා කොමිසම විදුලිබල අමාත්‍යංශයෙන් අවස්ථා කිහිපයකදීම විමසුවා. එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදි නොකරන බවට විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට දැනුම් දී තිබූ නිසා ගල්අඟුරු බලාගාර හැර අනෙක් බලාගාර ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ ජනන සැලසුම් අනුමත කළා. 2018දී රජයේ බලශක්ති සම්මිශ්‍රණය පිළිබඳ ප්‍රතිපත්තිය අප වෙත ලැබුණු හෙයින් ගල්අඟුරු බලාගාර ඇතුළු සියලු බලාගාර සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව පසුගිය වසර පහ තුළ ජනන සැලසුම් 4ක් පමණ අනුමත කළා. ජනන සැලසුම් අනුමත නොකළ බව කීම සාවද්‍යයි.”
විදුලි අර්බුදය පසුපස කොමිස් ජාවාරම්ද පවතින බවට තොරතුරු අනාවරණ වී තිබේ. විදුලි බලාගාරයක් ඉදි කිරීමේ සැලසුමක් යනු බිලියන ගණනක ව්‍යාපෘතියකි. ඇතැම් පුද්ගලයන් ඒවා තමන්ට අවශ්‍ය පරිදි සිදු කර ගැනීම සඳහා මෙම කටයුතු ප්‍රමාද කරන බවද ඒ පසුපස විශාල කොමිස් කුට්ටි හුවමාරු වන බවද පැවසේ. බලාගාර ඉදි නොවීමේ පසුබිමක් තුළ විදුලි අර්බුදයක් පැමිණෙන අවස්ථාවලදී පෞද්ගලික අංශයෙන් කෙටිකාලීන විදුලිය මිලදී ගැනීම්ද සිදුවේ. මේවා යටද කොමිස් මුදල් සංසරණය වන බව පැවසේ. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් නොමැත විදුලිය සපයන සමාගමේ කොන්දේසිවලට යටත්ව විදුලිය මිලට ගැනීම් සිදුවන බවට විදුලිබල මණ්ඩලයට සම්බන්ධ පිරිස් සඳහන් කරති. මෙය විදුලිබල මණ්ඩලයට අලාබ දායකය. කෙටිකාලීන විදුලිය මිලදී ගැනීම්වලදී එකකයකට අයකෙරෙන ගාස්තුව අධිකය. එය රුපියල් 26 සිට ඇතැම් අවස්ථාවල රැපියල් 65 වැනි අගයකි. විදුලිබල පනත අනුව විදුලිය මිලදී ගැනීම් සිදුවන්නේ නම් එය කළ යුත්තේ අවම පිරිවැයකිනි. මේ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අලාබය වැඩිවූ විට එය පියවා ගන්නේද විදුලි පාරිභෝගිකයන්ගෙනි. 2015 විදුලිය ඒකකයක් සඳහා අය කළ මුදල රුපියල් 15කි. එය මේ වන විට රුපියල් 24 දක්වා වැඩි වී තිබේ. ඒ අනුව වසර 4කදී රුපියල් 9කින් විදුලි ඒකකයක මිල වැඩිවී තිබේ.
ගාල්ලට මෙගාවොට් 100ක ඉන්ධන බලාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව පිළිබඳව 2016දී ඇමැති අනුකමිටුවක් මගින්ද තහවුරු කෙරිණි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් එය අනුමත කෙරිණි. එය මේ වන තෙක් ඉදි වූයේ නැත. සූර්ය බලශක්තිය (නිවෙස්වල වහලය මත සහ පොළොවේ සවිකරන) මගින් රටේ අවශ්‍යතාව සඳහා මෙගාවොට් 1200ක් පමණ දායකත්වයක් ලබාගත හැකිය. ඒ සඳහා දේශීය ආයෝජකයන්ද සිටින නමුදු බලධාරීන් විවිධ හේතු දක්වමින් අතපසු කර තිබෙන බවද වාර්තා වේ. රාජ්‍ය ආයතන සතුව ඇති විදුලි උත්පාදක යන්ත්‍රවලින්ද අවශ්‍ය අවස්ථාවන්හි විදුලිය ලබා ගැනීමේ සැලසුමක් 2018දී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශයක් ලෙස ඉදිරිපත් විය. එම විදුලි උත්පාදක යන්ත්‍රවලින් මෙගාවොට් 130ක් පමණ ජාතික පද්ධතියට ලබා ගත හැකි වන අතර හදිසි අවශ්‍යතාවකදී කඩිනමින් ජාතික පද්ධතියට සමමුහුර්ථ කළ හැකිය. ඒවායේ හිමිකරුවන් රාජ්‍ය ආයතන වන බැවින් ඒ සඳහා අවශ්‍ය ඩීසල් පමණක් ලබාදී නොමිලයේ හෝ අඩුමිලකට හෝ හිලව් ක්‍රමයකට හෝ විදුලිය ලබාගත හැකිය. එය ක්‍රියාවට නංවන ලෙස 2018 සැප්තැම්බර් මාසයේ කැබිනට් තීරණයක් ගෙන ඇති නමුදු මේ වන තෙක් ක්‍රියාවට නැංවී නොමැත. ඒ අනුව විදුලි අර්බුදය පසුපස මාෆියාවක් ඇති බව පෙනී යයි. අඩුවියදම් බලාගාර ඉදිකිරීම වෙනුවට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ. එයට හොඳම උදාහරණය ඇඹිලිපිටියේ ඒස් බලාගාරයයි. එය පෞද්ගලික අංශයේ බලාගාරයකි. 2005 සිට 2015 දක්වා මෙම බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම සඳහා ගිවිසුමක් පැවතිනි.
එම ගිවිසුම යටතේ බලාගාරයේ සමස්ත ආයෝජන මුදල (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 18ක්) ලංකා විදුලිබල මණ්ඩලය මගින් එම සමාගමට ගෙවා ඇත. මිලදී ගන්නා විදුලියට ඒකක ප්‍රමාණය මත පදනම්ව ගෙවීම් කරනු ලැබීය. මෙම දස අවුරුදු ගිවිසුම 2015 වසරේදී අවසන් විය. ගිවිසුම අවසන් වූ පසු 2016 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගත යුතු බවට විදුලිබල අමාත්‍යවරයා කල නිර්දේශයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුනි. බලාගාරය අයිති ඒස් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම ඩොලර් මිලියන 17කට බලාගාරය රජයට අලෙවි කිරීමට එකග විය. එහෙත් මෙම ගනුදෙනුව සාකච්ඡා කිරීම සදහා පත්කළ කමිටුව බලාගාරය සමග වසරකට ගිවිසුම් ගත වී විදුලිය මිලදී ගැනීමට නිර්දේශ ඉදිරිපත් කර තිබිණි. 2016 අප්‍රේල් මස සිට 2017 මාර්තු දක්වා වු විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය තුල බලාගාරයේ ආයෝජන වියදම් සදහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 76ක් පමණ ලංවිම විසින් ගෙවන ලදී. වර්ෂය සදහා එසේ ගෙවන ලද සමස්ත මුදල රුපියල් මිලියන 912කි. ඒස් ඇඹිලිපිටිය බලාගාරය සමග ක්‍රියාත්මක වු මුල් දස අවුරුදු විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම බලාගාරයේ සමස්ත ආයෝජනය වූ ඩොලර් මිලියන 20කට ආසන්න මුදල ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවා තිබියදීත් නැවත වරක් ආයෝජන මුදල සදහා ගෙවීම් කර ඇත. 2017 ජුලි 01 දින රජයේ තක්සේරුකරු විසින් ඒස් බලාගාරයේ වටිනාකම රුපියල් මිලියන 2370ක් බව සාකච්ඡා සම්මුති කමිටුවට ප්‍රකාශ කළේය.
බලාගාරයේ හිමිකරු විසින් 2016 මාර්තු මාසයේදී විකිණුම මිල ලෙස ඉදිරිපත් කර තිබුණේ රුපියල් මිලියන 2465කි. එය රජයේ තක්සේරුවට වඩා රුපියල් මිලියන 100ක් වැඩිය.. මිල අඩුකරගැනීම වෙනුවට සාකච්ඡා සම්මුති කමිටුව ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඒ පිළිබද නිර්දේශයක් ලබා ගෙන තිබේ. ලංවිම නිර්දේශ කර ඇත්තේ අයිතිකරු ඉදිරිපත් කර මිල වැඩි බවත් ගිවිසුම් ගත වී විදුලිය මිලදී ගැනීම වඩා වාසිදායක බවටය. ඒ අනුව ආසන්න වශයෙන් මසකට රුපියල් මිලියන 76 බැගින් මාස 36ක කාලයක් සදහා රුපියල් 2376ක් ගෙවීමට ලංවිම එකඟ විය. 2016 සිට 2021 දක්වා අවුරුදු 5ක කාලයක් මේ ආකාරයෙන් ගිවිසුම් ගතවී ලංවිම ඒස් බලාගාරයේ ධාරිතා ගාස්තුව වශයෙන් ගෙවන සමස්ත මුදල රුපියල් මිලියන 4560කි. බලාගාරය මිලදී ගත්තානම් ලංවිමට වැය වන්නේ රුපියල් මිලියන 2465ක් පමණි. ඒ අනුව ලංවිම විසින් අතිරේකව බලාගාරයට ගෙවන මුදල රුපියල් මිලියන 2000කට අධිකය. මෙම ගිවිසුමට අනුව බලාගාරයේ වටිනාකම මෙන් දෙගුණයකට ආසන්න මුදලක් ලංවිම විසින් ඒස් සමාගමට ගෙවනු ලැබුවද ගිවිසුම් කාලයෙන් පසුව තවදුරටත් බලාගාරයේ අයිතිය ඒස් සමාගම සතු වේ. ගාල්ල සඳහා නිර්දේශිත අඩුවියදම් බලාගාරය ඉදිකිරීම ප්‍රමාද කෙරුණේ එය ඉදිවූවානම් ඒස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලට ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවන බැවිනැයි පැවසේ. ඒස් ඇඹිලිපිටිය බලාගාරය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා පනත සාවද්‍ය ලෙස වටහාගෙන කටයුතු කර ඇතැයිද රජයට විශාල අලාබයක් සිදු කර ඇතැයිද විගණකාධිපතිවරයා කෝප් කමිටුවට වාර්තා කර ඇතැයිද කියැවේ. ඔහු ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව නීත්‍යානුකූල නොවන අයුරින් විදුලිය මිලට ගෙන ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ සන්නිවේදන ජයනාත් හේරත් මහතාගෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා මෙලෙස ප්‍රකාශ කළේය.
“මෙම විදුලිබලාගාරයෙන් විදුලිය ලබා ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවී නැහැ. ඊට හේතුව එය පනතට පටහැනිව, ටෙන්ඩර් ක්‍රමයකින් තොරව, නීත්‍යානුකූල නොවන අයුරින් කටයුතු කර ඇති නිසයි. එමෙන්ම විදුලිබල මණ්ඩලය නිර්දේශ කර ඇති බලාගාර ඉදි නොකොට සෑම වසරකම විදුලි හිඟයක් ඇතිවන බව පවසමින් දිගින් දිගටම මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් ගිවිසුම් දීර්ඝ කර තිබෙන්නේ පනතට පටහැනි ආකාරයෙන්.”
පහුගිය පස් වසර තුළ ප්‍රමාද කර ඇති බලාගාර මෙපරිදිය. මෙගාවොට් 300ක එල්එන්ජී බලාගාරය ටෙන්ඩර් සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇත්තේ 2016 නොවැම්බර් 17 දිනය. එහි ඉදිකිරීම් අවසන් කර ජනන කටයුතු ආරම්භ කිරීමට නියමිත වූයේ 2019 ජනවාරි 1දාය. එය වසර තුනකට වඩා ප්‍රමාද කර ඇති අතර තවමත් ටෙන්ඩර් ප්‍රදානය කර නොමැත.
මෙගාවොට් 35 බැගින් වූ ගෑස් ටර්බයින් 3ක් සඳහා ටෙන්ඩර් අනුමැතියට අදාළ තොරතුරු කොමිෂන් සභාව වෙත තවමත් ඉදිරිපත් කර නැත. එහි මෙගා වොට් 70ක් 2018 ජනවාරි 1 දිනද මෙගා වොට් 35 2019 ජනවාරි 1 දින ද අවසන් කිරීමට නියමිත විය. ටෙන්ඩර් කැඳවීම තවමත් ආරම්භ කර නැත. මෙගාවොට් 320ක ඉන්ධන බලාගාර මෙතෙක් අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැත. ඉන් මෙගාවොට් 170ක් 2017 ජනවාරි 1 දිනද මෙගාවොට් 150ක් 2018 ජනවාරි1 දිනද අවසන් කිරීමට නියමිතව තිබිණි. මෙගාවොට් 35ක බ්‍රෝඩ්බෑන්ඩ්ස් ජලවිදුලි බලාගාරය සහ මෙගාවොට් 120 උමා ඔය ජල විදුලි බලාගාරය සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය අදාල නොවන අතර ජනන කටයුතු ආරම්භ කිරීමට නියමිත වූයේ 2018 ජනවාරි 1 දිනය. මෙතෙක් ඉදිකිරීම් කටයුතු අවසන්ව නොමැත. මෙගාවොට් 100 මන්නාරම සුළං බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමට අවශ්‍ය අනුමැතිය මෙතෙක් ලබාගෙන නොමැත. එහි ජනන කටයුතු ආරම්භ කිරීමට නියමිත වූයේ 2018 ජනවාරි 1 දිනය.
ලොව අධිකම විදුලි බිලක් පාරිභෝගිකයාට ලබා දෙමින්, ජලය හිඟ කාලයට විදුලි කප්පාදුවක් සිදුකරමින් රටේ ජනතාව පීඩාවට පත්කරන විදුලිය අර්බුදය පසුපස ඇති මාෆියාව හා නිලධාරිවාදය තුරන් කරන තෙක් විදුලි අර්බුදයට විසඳුමක් නොමැත. ඒ සඳහා නව රජය මගින් කඩිනමින් නිවැරුදි තීන්දු තීරණ ගත යුතුය.
මෙවැනි පසුබිමක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලය ලබන අප්‍රේල් මාසයේ ඇතිවිය හැකි විදුලිබල අර්බුදය වැළැක්වීමට මෙගා වොට් 100ක හදිසි මිලදී ගැනීමක් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වේ. මේ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැති අතර විකල්ප බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීම සඳහා මෙතෙක් කටයුතු නොකිරීම ගැටලුවක් බව විදුලිබල ඇමති මහින්ද අමරවීර සඳහන් කර තිබේ.
► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා