මම සිටියේ අප පුවත්පතට මහාචාර්ය රාජ් සෝමදේවගේ කල්තොට ප්‍රදේශයේ කැණීමක් ගැන ලිපියක් ලියමිනි. ලියාගෙන යාමේදී ඒ සඳහා අවශ්‍ය පසුබිම් තොරතුරු තවත් සොයාගත යුතු විය. පුස්තකාලවලට ගොස් ශාස්ත්‍රීය පොතපතට සෙවීමට වෙලාවක් නැත. මහාචාර්ය සෝමදේව සිටියේ කල්තොට වන මැද නිසා ඔහු සම්බන්ධ කර ගැනීමටත් අපහසුය. මම අන්තර්ජාලය පිරික්සන්නට වීමි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාව Archaeology.lk නම් වෙබ්අවඩියක් තිරයේ දිස්විය. එහි පළකර තිබූ ශාස්ත්‍රීය ලිපිවලින් මගේ කාර්යය කරගත හැකි විය. ලංකාවේ තරුණයන් පිරිසක් විසින් 2009 දී ස්වේච්ඡාවෙන් නිර්මාණය කරන ලද සිංහල බසින් ක්‍රියාත්මක මෙම වෙබ්අඩවිය පසුගියදා තම 10 වැනි සංවත්සරය සැමරීය. ඒ අතරම ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය මුල්කර ගනිමින් History.lk වෙබ්අඩවිය ද එදින දියත් කෙරිණි. මෙම වෙබ්අඩවි ඉතිහාසය සහ පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍ර අනාවරණය කරන අප රටේ ඇති එකම වෙබ්අඩවි වශයෙන් වැදගත්ය.
මෙම කටයුත්තට මුල්වූයේ අනුරාධ පියදාස සහ චන්දිම අඹන්වල නම් තරුණයන් දෙදෙනාය. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිටින මහින්ද කරුණාරත්න සහ සන්ධ්‍යා කුමාරි නවරත්න මැණිකේ ද ඔවුන් හා සම්බන්ධ වූහ. පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිධරයන් වන අනුරාධ හා චන්දිම දෙදෙනා එම ක්ෂේත්‍රයට සැබවින්ම පෙම් බැඳි පර්යේෂකයෝ වෙති. ඉතිහාසයට කුඩම්මාගේ සැලකිලි ලැබෙන ඉන් තරුණ පරපුර පලා යන යුගයක මොවුන්ගේ උත්සාහය අගය කළ යුතුය.
චන්දිම අඹන්වල රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යා සභාවේ සාමාජිකයෙකි. චන්දිම මේ පිළිබඳව අපට පැවසුවේ මෙසේය. “අපි සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් වෙබ්අඩවි දෙකක් Archaeology.lk යටතේ පවත්වාගෙන යනවා. පුරාවිද්‍යාව ඉතිහාසය හා සංස්කෘතිය ආවරණය කරමින් පර්යේෂණ ලිපි එහි පළ කරනවා. ඊට අමතරව දිනිති නමින් අන්තර්ජාල සඟරාවක් ද පවත්වාගෙන යනවා. රටේ සංස්කෘතිය පිළිබඳ නිවැරදි තොරතුරු ලෝකය පුරා මුදාහැරීම අපේ අරමුණයි.”
මම History.lk වෙබ්අඩවියට පිවිසුණෙමි. එහි තිබූ එක් ලිපියක් වූයේ මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවක් වූ “උතුරේ බෞද්ධ උරුමය හා වල්ලිපුරම් රන්පතින් නිෂ්ප්‍රභා වන ඊළාම් නිජබිම්වාදය”යි. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ලෙන් චිත්‍ර පිළිබඳ විමසුමක්, මොකක්ද මේ සිංහල ජාතිවාදය, චේතියගිරි වන්දනා ගමන හෙවත් මිහින්තලා චාරිකාව එහි තිබෙන ලිපි සමහරකි. පාඨකයාට ආකර්ශනීය වන සේ මෙම ලිපි ඉදිරිපත් කර තිබේ.
Archaeology.lk වෙබ්අඩවියේ ද සැරිසර සමරු, සමුද්‍ර හා ජලාශ්‍රිත පුරාවිද්‍යාව, ප්‍රාග් ඉතිහාසය, සත්ව පුරාවිද්‍යාව, පුරාවිද්‍යා කතිකා, ශිෂ්‍ය ලිපි, අභිලේඛන හා පුරාඅක්ෂර විද්‍යාව, ආදී ක්ෂේත්‍ර රාශියක් පිළිබඳව ලිපි පළකර තිබේ. එයට දිනෙන් දින අලුත් කාලීන ලිපි එක්කරමින් සංස්කරණය වේ.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා ඉතිහාසය සම්බන්ධ තොරතුරු ජාත්‍යන්තර මට්ටමට ගෙන යමින් එම දැනුම බෙදාහදා ගනිමින් කතිකාවතක් ගොඩනැංවීම මෙම සයිබර් සන්නිවේදකයන්ගේ අරමුණ වී ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ ගල් පැලෙන බොරු ප්‍රචාරය කරමින් රට අපකීර්තියට පත්කිරීමට සමහරු දඟලන යුගයක මෙහි වැදගත්කම වඩාත් දැනේ. මේ පිළිබඳව ලැබෙන ප්‍රතිචාර ගැන අදහස් දක්වන අනුරාධ පියදාස වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.
“අපට දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙනුත් විශාල පරිශීලකයන් සංඛ්‍යාවක් සිටිනවා. ලංකාවේ උපාධි අපේක්ෂකයන් විශාල වශයෙන් මෙම වෙබ්අඩවිය භාවිත කරනවා. පාසල් සිසුන්, ගුරුවරුන් වගේම අපේ රටේ අතීතය ගැන තොරතුරු ලබාගැනීමට කැමති පාඨකයන් රාශියක් අපත් සමඟ සිටිනවා.”
පුරාවිද්‍යා වෙබ්අඩවියට දිනකට පරිශීලකයන් දහසක් පමණ ළඟාවන අතර ඉතිහාස වෙබ්අඩවිය ද ජනප්‍රිය වෙමින් පවතී. මේ සඳහාම වෙන්වූ ෆේස්බුක් පිටු ඔවුහු ද පවත්වාගෙන යති. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ්අඩවි 10 අතරට තේරුණු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ඊස්වාභිමානී තරගයේ හොඳම වෙබ්අඩවිය බවට ද පත් විය. මාන්තාන් ජාත්‍යන්තර වෙබ්අඩවි තරගයේ ජූරියේ විශේෂ ඇගැයීමටද මෙය පාත්‍ර විය.
අද බොහෝ තරුණයෝ අන්තර්ජාල පරිශීලකයෝ වෙති. එහෙත් මුහුණුපොතින් එහාට යාමට තරම් ඉස්පාසුවක් ඔවුන්ට නැත. අනුන්ගේ ඕපාදූප මුහුණුපොත හරහා සොයනවාට වඩා අපේ නිවැරදි ඉතිහාසය හා සංස්කෘතික වටිනාකම් දැනගැනීමට මෙම වෙබ්අඩවි උපකාරී වේ.
“නිදහස් අධ්‍යාපනය ඔස්සේ ඇවිත් පුරාවිද්‍යාව හදාරන සිසුන්ගේ පර්යේෂණ හැකියාව හා වෘත්තීය බව වර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සමාජය වෙලාගෙන ඇති මිත්‍යා ඓතිහාසික කතා බිඳ දැමීමටත් අපි ක්‍රියා කරනවා.” අනුරාධ වැඩිදුරටත් අපට පැවසුවේය.
පසුගියදා විග්නේෂ්වරන් මහාවංශය ප්‍රවාදයක් බවත් ලංකාවේ සිටියේ දෙමළ බෞද්ධයන් බවත් පැවසුවේය. “අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ ලංකාවේ යාපනේ විද්වතුන් කියන පිරිසක් දැන් ලහිලහියේ ඉතිහාසයක් නිර්මාණය කරගෙන යනවා. එහි පදනම තමා ලංකාවේ දෙමළ නිජභූමියක් පැවතුණා කියන එක. මූලාශ්‍රය විකෘති කරමින් සිදු කරන නිර්මාණයක් තමා මේ පිරිස කරන්නේ. ඒ සඳහා අපේ ප්‍රතිචාරය කුමක්ද? එක්කෝ අපි මහාවංශයට ගරහනවා. නැත්නම් රාවණා මායාව ඔස්සේ දුවනවා. නැත්නම් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියලා මතවාද පතුරවමින් සිටිනවා. මේවා රටේ අනාගත සුබසිද්ධියට වැරදි ප්‍රතිඵල ඇතිකරනවා. එවැනි දුර්මත බිඳහෙළන වේදිකාවක් බවට අපේ නව ඉතිහාස වෙබ්අඩවිය පත්කිරීම අපගේ අරමුණයි.” අනුරාධ පියදාස පැවසූ අදහස අද දවසට බොහෝ වැදගත් කරුණකි.
කුසුම්සිරි විජයවර්ධ