“ඒක ලොකුවට බාරගන්න එපා. මං එහෙම කිව්වේ විහිළුවට.”
මෑතකදී මගේ මිත්‍රයෙක් එසේ කීවේය.
විහිළුව යනු කුමක්ද? එය ලොකුවට හෝ බරපතල ලෙස බාර නොගත යුතු දෙයක්ද? එසේ නම් ඇතැම්විට විහිළුවෙන් ඇස් රතු වෙනවා යැයි කියන්නේ මන්ද?
විහිළුව උපදින්නේ කොතැනින්ද? බොහෝ විට කතාබහ තුළින්මය. නැතහොත් සිනා උපදවන සිදුවීම් ඇසුරිනි. ඇතැම් විහිළු එසැණින් මතු වී, පුපුරා, මැකී යයි. එහෙත් හොඳ විහිළු මතයේ රැඳෙයි. කටින් කට පැතිරෙයි. දිගුකල් පවතියි. රටින් රටටද ගමන් කරයි.
උසුළු විසුළු, විහිළු තහළු යන යුගල පදයන්ගෙන්ද අදහස් වන්නේ හාස්‍ය රසය ගෙනෙන දේය. අපේ සමාජයේද විහිළුකාරයෝ වෙති. “මිනිහා හොඳ ජෝකර්” යැයි හඳුන්වන්නේ එබඳු කවට කතිකයන්ය. සමහරු තමන් ජෝකර්ලා බව නොදනිති. එහෙත් ඔවුන් කරන කියන දෙයින් අනුන් තුළ සිනා උපදී. සමාජයේ ඉහළ සිට පහළටම විවිධ කොටස් තුළ එබඳු විහිළු සපයන්නෝ නොයෙක් “ජෝකරයෝ” සිටිති.
විහිළුවේ, වැඩිමල් සොහොයුරා උපහාසයයි. ඔහු, මලයාට වඩා බුද්ධිමත්ය. හාස්‍ය මුසු වූ, සරදම් සහිත කතාව උපහාසය දනවයි. එය සරල, ක්ෂණික විහිළුවට වඩා සියුම්ය. විධිමත්ය. උපහාසාලාපය, නර්මාලාපය යනුවෙන්ද උපහාස කියුම් හැඳින්වේ.
සාහිත්‍යයේදී, හාස්‍ය මෙන්ම උපහාසයද වෙන වෙනම ගැනෙන රස දෙකකි. විහිළුවකදී හක හක ගා සිනාසෙන නමුදු, උපහාසයේදී කට කොණකට සිනා නැඟේ. නොඑසේ නම්, සිත යටින් සිනා සේ. වීදාගම මෛත්‍රිය හිමිගේ “බුදුගුණාලංකාර”යෙහි ඇතැම් කවිද, රැ. තෙන්නකෝන්ගේ “වවුලුව” හෝ “මුළුතැන් අන්දරය”ද ස්පාඤ්ඤ ලේඛක සර්මාන්තේස්ගේ “දොන් ක්වික්සෝම්” ද එබඳු උපහාස රසයට මනා නිදසුන්ය.
උපහාර රසය, එක්වරම නොදැනෙන අයද නැතුවා නොවේ. එවැනි අයට, නූතන වහරේදී යෙදෙන්නේ “ටියුබ් ලයිට්” යන යෙදුමය. ටියුබ් ලයිට්, ස්විචය දැමූ සැණින්ම නොදැල්වේ. උපහාසය පමණක් නොව ඇතැම් විහිළුද, ටියුබ් ලයිට් උදවියට එකවරම නොවැටහේ. ඔවුන්ට සිනාව එන්නේ තරමක් ප්‍රමාදවය.
ඒ කෙසේ වෙතත්, සමාජයක පැවැත්මට හාස්‍යය, උපහාසය අවශ්‍යමය. එසේ නැති තැන ඇතිවන්නේ නීරස, වියළි ජීවිතයකි. ඉතිහාසයට අනුව රජවරුද විහිළුවට ප්‍රිය කළහ. එනිසා ඔවුහු “ජෝකර්ලා”ටද රාජ සභාවේ අසුන් පැනවූහ. සිරි ලංකාවේ සිටි, සුප්‍රසිද්ධ රාජකීය කවටයා අන්දරේය. අන්දරේලා, විවිධ නම්වලින් කලින් කලට රාජසභාවල සේවය කළෝය.
ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්. “අන්දරේලා” නමින් නාට්‍යයක් නිර්මාණය කළේය. මනෝද හොඳ අන්දරේ කෙනෙකි. ඉහත නාට්‍යයේ අන්දරේ ලෙස රඟපෑවේද ඔහුමය. මනෝ සිටින තැන සිනාව පිරී ඉතිරී යයි. (අද ඔහු බලවත් සේ රෝගාතුරව සිටින බව සිහිපත් කරනුයේ බලවත් ශෝකයෙන් යුතුවය.)
රජවරුන්ට කවටයින් සිටි නමුත්, ඔවුන්ට විහිළු කිරීමද පරිස්සමින් කළයුතු යැයි මතයක් තිබුණි. රජ සෙවණේ සිටි, කවට අන්දරේද මියගියේ, කාත් කවුරුත් නැති අසරණයෙකු සේය.
ඉන්දියාවේ බීර්බල්, චීනයේ අවාන්ති, ඉන්දුනීසියාවේ ෂිකබායන්, පෝලන්තයේ අන්දිරිගෝ හා අරාබියේ නස්රුදීන් වැනි සුප්‍රකට කවටයන් කළ කී දෑ අදටත් ජනප්‍රියය. 2019 අප්‍රේල් මාසයේදී වොලොද්මීර් සෙලෙන්ස්කි නමැති සුප්‍රකට විකට නළුවා, යුක්රේනයේ ජනාධිපති ධුරයට තේරී පත්වූයේ විහිළුකාරයන්ටද “රජකම්” කළ හැකි බව කියාපාමිනි.
“විහිළුකාරයෝ මියයති, එහෙත් ඔවුන්ගේ විහිළු මිය නොයයි” (The Jokers often die, the jokes never) යනුවෙන් කියමනක් ඇත.
සෝවියට් රුසියාවේ, ස්ටාලින් පාලනය පැවති සමයේ පසුබිම් කරගත් උපහාස කතාවක් ඇත.
අවන්හලක් තුළදී, ජර්මන්, ප්‍රංශ සහ රුසියානු ජාතිකයන් තිදෙනෙක් කතාබහක යෙදී සිටියහ. මොහොතකින් ඔවුන් අතර වාදයක් හටගත් අතර, ලෝකයේ වඩාත්ම නිර්භීත ජාතිය තමන් යැයි එකිනෙකා කියන්නට වූහ. රුසියානුවා අනෙක් දෙදෙනා නිහඬ කරවමින් මෙසේ කීය.
“මේ අහනවා. ස්ටාලින්ව විවේචනය කෙරෙන විහිළු හදන අයව හිර කඳවුරුවලට යවනවා. ඒත් ඒ මිනිස්සු හිරේ ඉඳගෙනත් විහිළු හදලා, පිටට එවනවා... අන්න ඒකයි රුසියානුවෝ නිර්භීතයි කියන්නේ.”
සෝවියට් සිර කඳවුරක් පිළිබඳ තවත් කතාවකි මේ.
දේශපාලන සිරකරුවෝ තිදෙනෙක් ව්‍යායාම සඳහා පිටතට ගනු ලැබූ අවස්ථාවක නිලධාරීන්ට හොරෙන් කතාවට වැටුණහ.
“ඔබ මෙහෙ එන්න කරපු වැරුද්ද මොකක්ද?” එකෙක් අනෙකාගෙන් ඇසීය.
“මට චෝදනා කෙරුවා, ආණ්ඩුවේ ඉන්න පොපෝව් කියන හාදයව විවේචනය කෙරුවා කියලා... ඔබ මෙහෙට එව්වේ මොකටද?”
“මම පොපෝව්ගෙ ගුණ වර්ණනා කළා කියලා.”
ඉන්පසු ඒ දෙදෙනා තුන්වැනියා දෙසට හැරුණි.
“ඔබ මෙහෙ ආවෙ මොකටද?”
තුන්වැනියා අනෙක් දෙදෙනා දෙස පුදුමයෙන් බලමින් මෙසේ කීය.
“මම තමයි පොපෝව්.”
මේ කතාවෙන් කියැවුණේ එකල සෝවියට් පාලනය තුළ පැවති මර්දනයේ ස්වභාවයයි.
නැගෙනහිර ජර්මනියේ පාලකයාව සිටි උල්බ්‍රිච්, සෝවියට් දේශයට දැඩි ලෙස හිතවත්කම් පෑවෙකි. ඔහු හැමදෙයටම උපදෙස් ගත්තේ, සෝවියට් පාලකයාව සිටි ක_ෂප්ගෙනි. එක් අවස්ථාවක, මාධ්‍යවේදියෙක් උල්බ්‍රිච් හමුවීමට, ඔහුගේ කාර්යාලයට ගියේය. උල්බ්‍රිච්ගේ මේසය මත තිබූ දුරකතනයේ රීසිවරයෙහි, ඉයර්ෆෝනය තිබුණත්, මවුත්පීසය (කතාකරන කොටස) නොමැති බව දුටු මාධ්‍යවේදියා පුදුමයට පත්විය.
“මේ ෆෝන් එකේ මොකක් හරි වැරුද්දක්ද?” මාධ්‍යවේදියා ඇසීය.
“නෑ... නෑ... මේ මම ක_ෂෆ්ට කතා කරන හොට් ලයින් එක.”
දේශපාලන විහිළු කලින් කලට, රටින් රටට වෙනස් වෙමින්, අලුත් වෙමින් පවතී. හිට්ලර්ගේ කාලයේ උපන් විහිළුවක් වර්තමානයේ රුසියාවේ ජනපති පුටින්ට ආදේශ කර ඇත්තේ මෙසේය.
“අපේ පුටින් සහෝදරයා විහිළු කතා එකතු කරනවා කියන්නෙ ඇත්තද?”
මාධ්‍යවේදියෙක් ජනාධිපති ලේකම්ගෙන් ඇසීය.
“නෑ... එතුමා එකතු කරන්නේ ඒ කතා හදන එවුන්ව.”
කපිල කුමාර කාලිංග