2016 අගෝස්තු 24 වන බදාදා

මෙන්න අලුත් චණ්ඩි අටක්

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 527

 

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ලොව උණුසුම්ම ස්ථාන (Hot spots) 34 අතරින් එකක් වන අතර, ඒ නිසා එහි පාරිසරික වැදගත්කම ඉතා ඉහළ බව කිවයුතු නොවේ. සත්ව සහ ශාක විශේෂ රුසක් අප රටේ ජෛව විවිධත්වයට දායක වේ. නමුත් කලක පටන්ම නිහඬ සතුරෙක් අපේ ජෛව විවිධත්වය අවදානමට ලක් කරමින් සිටී. ඒ ආක්‍රමණශීලී සත්ව සහ ශාක විශේෂ ගොන්නකි.

 

මේ අතරින් ආක්‍රමණශීලී සතුන්ගේ උවදුර නිසා අපේ ආවේණික දුලබ සත්ව විශේෂ අසරණව සිටිති. පසුගියදා පරිසරවේදී ආචාර්ය ආර්.එම්.සී. බණ්ඩාර සඳහන් කළේ මෙරටට කැලෑවලදී හඳුන්වාදෙන ලැබූ සත්ව විශේෂ 58ක් අතරින් සත්ව විශේෂ 8ක් දැඩි ආක්‍රමණශීලී විශේෂ බවට පත්ව ඇති බවයි. ඒ අතරම ඉදිරියේදී ආක්‍රමණශීලී සත්ව විශේෂ බවට පත්වීමේ අවදානමක් සහිත සත්ව විශේෂ 12ක්ද හඳුනාගෙන තිබේ.
ජාත්‍යන්තර ආක්‍රමණශීලී විශේෂ ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාවේ ශාක සහ සත්ව විශේෂ 82ක් හමුවේ. ඒ අතර සිටින සත්ව විශේෂ සංඛ්‍යාව 20කි. මේ අතර මිරිදිය මසුන්, උරගයන් සහ ගොළුබෙල්ලෝද වෙති.
අපේ සතුන්ට මෙන්ම පරිසරයටද හානි පමුණුවන සත්ව විශේෂ අතරින් ඉහළින්ම සිටින්නේ රතු කන් ඉබ්බා, යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා සහ ඇපල් ගොළුබෙල්ලාය. ටැංකි සුද්දා විශේෂ දෙකක්, දේදුනු ට්‍රවුට් සහ පුල්ලි මගුරාද මේ ගොන්නට අයත් වන බව ආචාර්ය බණ්ඩාර පවසයි.
රතු කන් ඉබ්බා (Red eared slider) ඒ නමින් හඳුන්වන්නේ හිස දෙපස පිහිටා ඇති රතු කහ පුල්ලි නිසාය. මධ්‍යම ප්‍රමාණයේ මිරිදිය ඉබ්බෙක් වන ඌගේ උඩු කබොල ඔලිව් කළු වර්ණයෙන් යුක්තය. එහි කහ පැහැති ඉරි වැටී තිබේ. ශ්‍රී ලංකාවට මේ ඉබ්බා ආනයනය කර ඇත්තේ සුරතල් සතකු වශයෙනි. පසු කලෙක සමහර අයිතිකරැවන් විසින් ඉබ්බන් වැඩිපුර බෝවූ විට හෝ අනවශ්‍ය වූ විට පරිසරයට මුදාහැර තිබේ. එමෙන්ම සමහර සතුන් පලාගොස් ස්වභාවික පරිසරයට එක්ව ඇත. ලොව දරැණුතම ආක්‍රමණිකයන් 100 දෙනා අතරට මේ ඉබ්බා ද අයත්ය.
අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ කලාපයේ ජීවත්වන යෝධ අප්‍රිකානු ගොළුබෙල්ලා (Giant African Snail) ඉතිහාසයක් සහිත ආක්‍රමණිකයෙකි. ඌ ශ්‍රී ලංකාවටම හඳුන්වාදී ඇත්තේ සුද්දන්ගේ කාලෙ 1840 දීය. බ්‍රිතාන්‍ය වැවිලිකරැවකුගේ නොසැලකිල්ල නිසා අප්‍රිකානු ගොළුබෙල්ලා අප රටට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී සිටින අතර කෘෂිකාර්මික පලිබෝධකයෙකි. දුඹුරැ වර්ණයට හුරැ කවචයක් සහිතය.
අපට තවත් හිසරදයක් වූ ඇපල් ගොළුබෙල්ලා (Apple snail) හඳුන්වාදී ඇත්තේ 1980දීය. මත්ස්‍ය මින්මැදුරැවල අලංකාරයට රටින් ගෙනා මේ ගොළුබෙල්ලා ස්වභාවික පරිසරයට පැමිණීම නිසා ආක්‍රමණශීලී විශේෂයක් ලෙස වර්ධනය වී තිබේ. ඇපල් ගොළුබෙල්ලාගේ නිජබිම දකුණු අමෙරිකාවේ ඇමේසන් නිම්නයයි. මුලින්ම මේ සතුන් නිරීක්ෂණය වූයේ කොළඹ සහ ගාල්ල ජලාශවලිනි. පසුව කළුතර, මහනුවර, රත්නපුර, ගම්පහ, මාතර දිස්ත්‍රික්කවලින් ද වාර්තා විය.
සුරතල් මසුන් ඇතිකරන අයට නම් ටැංකි සුද්දා (Tank Cleaner) අමුත්තෙක් නොවේ. ඒ ටැංකිවල වීදුරැවල බැඳී ඇති දියසෙවල උන් ආහාරයට ගනිමින් ටැංකි සුද්ද කරන නිසාය. සුරතල් මත්ස්‍ය කර්මාන්තයට ගෙනා ටැංකි සුද්දා සුරතල් මසුන් ඇතිකරන්නන් විසින්ම ස්වභාවික පරිසරයට මුදාහැරීම නිසා ආක්‍රමණශීලි විශේෂයක් බවට පත්ව සිටී. මුලින්ම මේ මත්සයා නිරීක්ෂණය කළේ 1992දී බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේදීය. ඊට පසු බස්නාහිර, වයඹ, උතුරැමැද සහ නැගෙනහිර පළාත්වල ජලාශවලින්ද ටැංකි සුද්දා හමුවිය. දේශීය හා ආවේණික මසුන්ගේ පැවැත්මට ටැංකි සුද්දා තර්ජනයකි.
දේදුනු ට්‍රවුට් මත්සයා මුලින්ම හඳුන්වාදී ඇත්තේ ඉහළ මධ්‍යම කඳුකරයේ ජලාශවලටය. ඒ 1889 දීය. හෝටන් තැන්න හා නුවරඑළිය ප්‍රදේශයට උන් හඳුන්වා දී ඇත්තේ සුද්දන්ගේ මසුන් බිලීබෑමේ ක්‍රීඩාවටය. නැගෙනහිර  සයිබීරියාව, එක්සත් ජනපදය සහ කැනඩාව වාසභූමිය කරගත් දේදුනු ට්‍රවුට් හෝටන් තැන්න, පට්ටිපොල, බෙල්හුල්ඔය, ආග්‍රාඔය ආශ්‍රිතව පැතිර සිටී.
නුවරඑළියේ පිහිටි ට්‍රවුට් මසුන් බෝකරන ස්ථානයකින් උන් බාහිර පරිසරයට මුදා හැර තිබෙන බව වාර්තා වේ. අද ට්‍රවුට් බිලීබෑම අභාවයට ගියද උන් අපගේ දේශීය මත්සයන්ට තර්ජනයක් වෙමින් පැතිරෙමින් සිටිති.
පුල්ලි මගුරා (Marble Cat Fish) 1994 දී ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් මත්ස්‍යයෙකි. ඌ අප රටට ආවේණික මගුරා මත්ස්‍යයාට ස්වරෑපයෙන් සමානය. මේ මත්ස්‍යයාද මින් මැඳුරැවලින් ස්වභාවික පරිසරයට මුදා හැර ඇති බව වාර්තා වේ. උගේ නිජබිම ඉන්දුනීසියාවේ ජාවා දුපත්ය. දැනට අප රටේ බස්නාහිර සහ වයඹ පළාත්වල ඇළ දොළ ආශ්‍රිතව පැතිරෙමින් සිටී.
ස්වභාවික පරිසරයට ආගන්තුක සත්ත්ව විශේෂ එක් කිරීම නිසා එහි සමබරතාව බිඳී යයි. එහි සිටින සත්ත්ව විශේෂවල පැවැත්ම අනතුරට ලක්වේ. මේ නිසා මෙම සතුන් දැනට පැතිරී සිටින ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට බෝවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. 

 කුසුම්සිරි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00