කෘෂිකර්ම අමාත්‍යාංශ පවත්වාගෙන යන සුපිරි බිල්ඩිමේ කතාව පසුගියදා නැවත කරළියට ආවේය. ඒ කෘෂිකාර්මික අමාත්‍යාංශය නැවත ගොවිජන මැඳුරට ගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිවීම සමඟයි. සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අයත් යැයි කියැවුණු වර්තමාන කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල පසුගිය ආණ්ඩු සමයේ කුලී පදනම මත ලබාගත්තකි. එදා මේ සම්බන්ධ දැඩි ආන්දෝලනයක් ඇතිවූ සැටි කාහටත් මතකය. නව ආණ්ඩුව බලයට පත්වූ පසු ගොඩනැගිල්ල මාරු කිරීමට තීරණය කිරීමත් සමඟ දැන් මීට අතුරු කතාද නිර්මාණය වී තිබේ.
අපි පළමුව වර්තමානයේ කතාව විමසමින් මෙස සිදුවීම පෙළ ඔබ හමුවේ දිගහරිමු. මේ සියල්ල විමසා අවබෝධ කරගැනීම ඔබට භාරය. ගොඩනැගිලි මාරුවට අදාළ තීරණය අරගත්තේ පසුගිය දෙසැම්බර් 18 දින රැස්වූ නව අමාත්‍ය මණ්ඩලය විසිනි. කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා එම තීරණය මාධ්‍යයට කීවේ මෙලෙසය.
“මසකට ලක්ෂ දෙසීය හතළිස් එකක වියදමින් පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත්කර නැවත ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවුණා. ඒ වගේම අදාළ ගිවිසුම පිළිබඳ නැවත සාකච්ඡා කොට එම ගිවිසුම අහෝසි කිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳවත් සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලය මෙම තීණ්දුව අනුමත කරා.”
මේ සමඟ නැවතත් කරළියට පැමිණි කෘෂිකාර්මික බිල්ඩිමේ වර්තමාන කතාව දැන ගැනීමට අප මීට දෙසතියකට පෙර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇමතුවෙමු. එහිදී ඔහු මේ සම්බන්ධ දැක්වූයේ මෙවන් අදහසකි.
“මෙතන බරපතළ මූල්‍ය විෂමාචාරයක් සිද්ධවෙලා තිබෙනවා. පළවෙනි කාරණය ආයතනය එක්ක ගිවිසුම් ගතවෙලා අවුරුද්දක් විතර යනකම් අපි මේ ගොඩනැගිල්ලට ඇවිල්ලා නෑ. ඒ අවුරුදු එකහමාරටත් සල්ලි ගෙවලා තිබෙනවා. පස්සේ මේකේ පාටිෂන් වගේ දේවල් අපේ වියදමින් කරලා අපි මෙතෙන්ට ඇවිල්ලා තිබෙනවා. ඒ අතරතුර තව ගිවිසුම් දෙකක් ගහලා තිබෙනවා මේකේ නඩත්තු කටයුතු කරන්නේ ගොඩනැගිල්ල අයිති ආයතනය විසින් බවත් අතුගාන සහ පිරිසිදු කරන ඒවා අපි ඒගොල්ලන්ට දෙන්න බැඳිලා ඉන්නවා යනුවෙනුත්”
අමාත්‍යවරයා සඳහන් කරන පරිදිම මෙම ගිවිසුම්වල ගැටලු තිබේ. ඒවා පිළිබඳ අධීක්ෂණ කටයුතු මේ වනවිට සිදුවෙමින් ඇත. මෙම තීරණයෙන් පසු ගොඩනැගිලි මාරුවට දින දහයක් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් මේ වනවිට එම දින දහය ඉක්මවා ගොස් ඇත. අප සමඟ මීට පෙරදී මෙම කාලය ගැනීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.
”කැබිනට් අනුමැතිය ලැබුණු දවසේ ඉඳන් මම කියනවා, යන්න ඉඩ දෙන්න අපිට කියලා. එදා ඉඳන් වෙච්ච දේවල්වල හැටියට මේ ගොඩනැගිලිවල ඉන්න එක අපිට ලැජ්ජාවක්. මේ ලේකම්වරු අරක කියනවා, මේක කියනවා, කල්‍් යනවා කියනවා. මට දින දහයක් යනවා කිව්වා. අන්තිම එක හැටියට මම මේකත් බලනවා. තවත් ඕනෑ නම් දින හතරක් පහක් දෙනවා. එහෙම බැරි වුණොත් එළියේ මේසයක් පුටුවක් තියාගෙන මම වැඩ කරනවා.”
අමාත්‍යවරයා අප සමඟ මෙසේ කීවේ දෙසැම්බර් 26 වැනි දිනයි. අනුමැතිය ලැබී තිබුණේ දෙසැම්බර් 18 වැනි දිනයි. එහෙත් මේ දක්වා මෙම ගොඩනැගිලි මාරුව සිදුවී නැත. මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට අපි පසුගිය සතිය පුරා උත්සාහ කළෙමු. නිලධාරීන් සම්බන්ධ වී අප නැවතත් සම්බන්ධ කරගන්න බව කී මුත් මෙම ලිපිය ලියන මොහොත වනවිටත් ඔවුන් මීට අදාළව අප වෙත නිශ්චිත පිළිතුරක් ලබාදී නැත. මෙය ගොඩනැගිලි කතාවේ වර්තමාන තත්ත්වයයි. අපි මෙහි අතීත කතාව විමසීමට උත්සුක වූයෙමු.
මෙම ගොඩනැගිලි මාරුව සිදුවූයේ ජාතික ආණ්ඩුවේ දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේදීය. රාජ්‍ය අංශයේ දූෂණ විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඔහුගෙන් මේ සම්බන්ධ ප්‍රශ්න කර තිබුණි. එහිදී ඔහු නිසි පරිදි පිළිතුරු ලබා නොදී මගහැර සිටි බව පසුගිය සමයේ මාධ්‍ය වර්තා කොට තිබුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ද මෙම ගනුදෙනු සමඟ පැටලුණි. ඔහු සම්බන්ධවද විමර්ශන සිදුවිය.
එහිදී රාජ්‍ය අංශයේ දූෂණ විමර්ශනය සඳහා වන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රකාශ පසුගිය සමයේ විශාල මාධ්‍ය අවධානයක් දිනාගත්තේය. කුලී ගිවිසුම අත්සන් කරනවිට ගොඩනැගිල්ල භාවිතයට ගත නොහැකි තත්ත්වයක පැවති බවත් නමුත් ඒ සඳහා වසර එකහමාරක් පුරා මසකට රුපියල් මිලියන 21.5 බැගින් අධික කුලී මුදලක් ගෙවා ඇති බවත් ඒ අනුව හෙළිවිය. මෙම ගොඩනැගිල්ලේ බදු කුලී ගිවිසුම අත්සන් කර ගොඩනැගිල්ල ලබා ගැනීමට රුපියල් බිලියන 1.3ක් වැය කර ඇතැයි කියවේ. එමෙන්ම එයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අමාත්‍යාංශය රුපියල් මිලියන 466ක් වියදම් කර ඇති බව තොරතුරු ඇත. මෙම විමර්ශනයේදී ලේකම්වරයාගේ හෙළිදරව්ව පරිදි ‘සුහුරුපාය’ ගොඩනැගිල්ලේ 14 සිට 18 දක්වා මහල් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ලබාගත්තේ නම් රජයට රුපියල් බිලියන ගණනක් ඉතිරි කර ගත හැකිව තිබුණු බවද කියවුණි.
මේ අතර ගොඩනැගිල්ල සම්බන්ධ ඇතිවූ තව ගැටලුවක් නම් ඊට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව දී ඇති අනුමැතිය නිත්‍යානුකූලව ලබා දී නොමැති බවට නගරාධිපති මධුර විතානගේ ජනාධිපති කොමිසමට පැවසීමයි. විශේෂ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේය. එහිදී අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇති ඉඩම සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ බෙදුම් නඩුවක් පවතින බවත් එය ඉදිකිරීමට හිටපු නගරාධිපතිවරයා ලබාදී නොමැති බවත් කියැවුණි.
මෙම ගොඩනැගිල්ලට අනුමැතිය දීම ගැන හිටපු අග්‍රාමාත්‍යවරයා එල්ල වූ චෝදනා ද මෙහිදී අමතක කළ නොහැක. පාර්ලිමේන්තු ආංශික කාරක සභාව රුස්වීමට පෙර ගොඩනැගිල්ල ලබාගැනීම හරහා මෙම නව ගොඩනැගිල්ලට ඒමට සිදුවූ බවත් කියැවීම ඊට හේතුවයි. කැබිනට් පත්‍රිකාවක් හරහා මෙම කටයුතු සිදුවී ඇත. නැවත කැබිනට් අනුමැතිය යටතේ ගොඩනැගිලි මාරුව සිදුවන්නේ එබැවිනි. කෙසේ වුවත් මෙම ගොඩනැගිලි අවුල ඉතා සංකීර්ණ බව අවසානයේ කිවයුතුය. එහෙත් වරදක් වී නම් තරාතිරම නොබලා දඬුවම් දීම නව රජයේ වගකීමයි.
► චමිඳු නිසල් ද සිල්වා