2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ඇයි අපිව කල්ලතෝනි කරන්නේ: අපේ භික්ෂුණී ශාසනයේ ශෝකාලාපය

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 221

හදවතට මහා දුකක් වේදනාවක් දැනෙනවා. මේ මුළු ජීවිතයම සාසනයට පූජා කරපු අපිව ඇයිද කල්ලතෝනි කරන්නේ? ඇයිද අපට වෙනම විදිහක් මේ රටේ...?” එසේ අසන්නේ හල්පාන්දෙණියේ සුපේෂලා භික්ෂුණින් වහන්සේය.

ආශ්‍රම ජීවත් වීම පිණිස සිය දෙමාපියන් අතහැර පැමිණෙන අවුරුදු 6 වයසේ තරම් කුඩා සාමනේරවරියන් ද ලංකාවේ වෙති. ඔවුන්ට හැඳුනුම්පත් නැත. එහි අර්ථය නම්, ඔවුන්ට සරසවියට පිවිසීමේ වරම හෝ විදේශගතවීමේ වරම අහිමි බවය.

“මගේ ජාතික හැඳුනුම්පත හදන්න බෑ කියලා කියනවා. අපේ ලොකු භික්ෂුණින් වහන්සේටත් ඇඬුණා, පොඩි භික්ෂුණින් වහන්සේලාටත් ඒ අවස්ථාවේදි ඇඬුණා. මටත් ගොඩක් දුක හිතුණා.. එසේ පවසන්නේ සාමනේරවරියක වන අමුණුවත්තේ සමන්තභද්‍රිකාය.

“මට අවශ්‍ය සියලු ලිපි ලේඛන තිබුණත් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය මට හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා. මම දහම්පාසල් අවසාන විභාගය වන ධර්මාචාර්ය විභාගය කරනවිට ගොඩාක් අපහසුතාවයන්ට ලක් වෙන්න සිද්ධ වුණා. නමුත් අපි ලංකාවේ භික්ෂුණී ශාසනය ලෝකය අතරටම ගෙනියලා, භික්ෂුණීන් වහන්සේලාගේ සීල සම්පන්න ගුණ සම්පන්නභාවය ලෝකයට පෙන්නන්න උත්හාස කරනවා. ඒ පිළියන්දල සුදීපා භික්ෂු සාමනේරවරියගේ හඬයි.

ශ්‍රී ලංකාවේ 4000 කට වඩා වැඩි භික්ෂුණීන් වහන්සේලා පිරිසක් සිටිති. ඔවුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම, නොඑසේ නම් ඔවුන් රටේ නීත්‍යානුකූල පුරවැසියන් ලෙස පිළිගැනීම 2004 වසරේ පටන් නතර කර තිබෙන්නේ රටේ බලපෑම්සහගත මහනායක හිමිවරුන් විසින් මොවුන්ව ‘භික්ෂුණීන් වහන්සේලා’ ලෙස හඳුන්වන හැඳුනුම්පත් නිකුත් කිරීම නතර කරන ලෙස හෝ, ඔවුන්ව නීත්‍යානුකූල ලෙස පිළිගැනීම නතර කරන ලෙස රජයට කියා සිටීමෙන් පසුවය.

එතැන් පටන් ලංකාවේ භික්ෂුණින් වහන්සේලා හා සාමනේරවරියන් හට අත් වී තිබෙන්නේ ඔවුන් සේවය කරන ප්‍රජාවෙන් ගරු බුහුමන් ලබන නමුත්, පුරවැසියන් වශයෙන් කිසිදු පිළිගැනීමක් නොමැති තත්ත්වයකට පත් වන්නටය.

රටේ ජ්‍යෙෂ්ඨතම භික්ෂුණින් වහන්සේ ලෙස සැලකෙන කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණිය BBC පුවත් සේවය සමඟ පැවසුවේ මෙයයි. “අපිට සලකන්නේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි අය විදිහටයි. අපිව ජීවිතයේ සෑම අංශයකදීම වෙනස්කම්වලට ලක් වෙනවා. අපි මේ බිමේ ඉපදුණු, බුදුන් වහන්සේගේ දියණිවරැන්. මේ වෙන කිසිවක් නෙවෙයි, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත වෙනස්කම්වලට ලක් කිරීමයි.

කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණිය, 1998 වසරේදී උපසම්පදාව ලැබූ විසි දෙනාගෙන් එක් අයෙකි.

වසර 1000කට ආසන්න කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ භික්ෂුණි ශාසනයක් පැවතුණේ නැත. දමිළ චෝල රජුන්ගේ ආක්‍රමණයන් සමඟ ඔවුන්ගේ පැවැත්ම අර්බුදයට ලක් විය.

පසුව, 1998 වසරේදී පළමු වරට භික්ෂු සාමනේරවරියන් 20දෙනකු හට උපසම්පදාව ලබාදීම සිදුකෙරිණි. ඒ වසරේ අග භාගය වනවිට එම සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගියේය. මේ වනවිට ලංකාවේ භික්ෂුණී ශාසනයේ සාමාජිකාවන් 4000 කට වඩා සිටින බව කියැවේ. කෙසේ නමුත් නායක හිමිවරැන් සහ භික්ෂුන් වහන්සේලා මේ පියවර ගැන ප්‍රසාදය පළ කළේ නැත.

මීළඟ බුදුන් පහළ වනතෙක් භික්ෂුණී ශාසනය පිහිටුවිය නොහැකි යැයි නායක හිමිවරුන් තර්ක කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ, ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය මුල් බැසගන්නා අවධියේ උපසම්පදාව ලත් භික්ෂුණින් වහන්සේලා නොසිටි නිසා මෙය කළ නොහැක්කක් බවයි. භික්ෂුණින් වහන්සේලා කියා පිරිසක් සිටින බව පිළිගැනීමට ද උන් වහන්සේලා විටෙක මැලි වෙති.

මන්තා භානි නමැති භික්ෂුවක් 1998 වසරේදී බීබීසී පුවත් සේවය සමඟ මෙසේ කියා ඇත. “බුදුන් වහන්සේ පවා භික්ෂුණී ශාසනයට අවසර දුන්නත්, උන්වහන්සේ එසේ කළේ පැකිලීමකින් යුතුවයි. මේ ලෝකය තුළ ස්ත්‍රීන් බෙලහීන පිරිසක් නිසා, අන් අයගේ හිරිහැරවලට ලක් වනු ඇතැයි උන්වහන්සේ කල්පනා කළා.

එයින් වසර 6කට පසු හැඳුනුම්පතක් ලබාගැනීමේ අයිතිය භික්ෂුණින් වහන්සේලා වෙතින් ඉවත් කරන ලදී.

එක් භික්ෂුනින් වහන්සේ නමකගේ හැඳුනුම්පත 2015 වසරේදී අලුත් කිරීමට යාමේදී එය නැති වී ඇතැයි ඇයට දැනුම් දී තිබිණි.

ඉනාමළුවේ හිමි ඇතුළු ලිබරල් හිමිවරුන්ගේ සහාය
එදා ලංකාවේ භික්ෂුණී ශාසනය නැවත පිහිටුවාලීමේ අරගලයට උපකාර කළ ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි වැනි ලිබරල් හිමිවරුන්ගේ සහයෝගය පමණක් ඔවුන්ට අද ලැබේ. එදා ඉනාමළුවේ සුමංගල හිමි එම වෑයම වෙනුවෙන් බොහෝ ජ්‍යෙෂ්ඨ හිමිවරුන්ගේ විවේචනයට බඳුන් විය. ඉනාමළුවේ හිමි චෝදනා කරන්නේ භික්ෂුණී ශාසනයට විරුද්ධ වන්නන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට විරුද්ධ අය බවයි. බුදුන් වහන්සේගේ සමයේ ‘මහ නායක හිමිවරුන්’ කියා පිරිසක් නොසිටි බව ද උන්වහන්සේ පෙන්වා දෙති. තවද නිවන් දැකීමෙන් පසුව බුදුන් වහන්සේ සියලු භික්ෂූන්ට පැවසුවේ සිය ඉගැන්වීම් අනුගමනය කරන ලෙස මිස, මහනායක හිමිවරැන්ගේ අවවාද පිළිගන්නා ලෙස නොවේ යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කරති.

මහනායක හිමිවරුන් වෙනුවෙන් ප්‍රකාශයක් සිදුකරන මැදගම ධම්මානන්ද හිමි අවධාරණය කරන්නේ සිය ස්ථාවරය බුදුන්ගේ ඉගැන්වීම මිස ස්ත්‍රී, පුරුෂ සමාජභාවය මත වෙනස්කම්වලට ලක්කිරීමක් (gender discrimination) නොවන බවයි.

‘පූජ්‍ය’ පමණක් දෙන්නම්!
බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ, ආණ්ඩුව මේ ප්‍රශ්නයට පිළියමක් ලෙස “පූජ්‍ය - Reverend යන්න භික්ෂුණීන් වහන්සේලා හැඳින්වීමේදී යෙදීමට සූදානම් බවයි.

නායක හිමිවරැන්ගේ උපදෙස් පැතීමේ නීතිමය අවශ්‍යතාවයක් නොමැති බව පිළිගන්නා කාරියප්පෙරුම මහතා, මේ පිළිබඳ අධිකරණ තීන්දුවලින් පසුව ‘සම්ප්‍රදාය නීතිය බවට පත්ව ඇතැ’ යි ද පැවසීය.

රජයේ විභාග, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, බැංකු ගිණුමක් ආරම්භ කිරීමේ අයිතිය ඇතුළත්ව පුරවැසියන් වශයෙන් ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් මේ අනන්‍යතා අර්බුදය හමුවේ උල්ලංඝනය වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්
දැන් භික්ෂුණින් වහන්සේලා හට මේ අර්බුදය විසඳා ගැනීම සඳහා අධිකරණයේ සහාය පැතීමට සිදුව තිබේ. ඔවුහු මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතා සිටිති.

2015 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කළේ මේ අර්බුදයේදී බෞද්ධ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවය.

නමුත් තවම කිසිවක් වෙනස් වී නැත.
Sri Lanka’s Bhikkuni nuns and their fight for identity papers by Saroj Pathirana - BBC ලිපියේ සිංහල අනුවාදය

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00