නීතිය යනු ස්වභාවධර්මයේ ස්වාභාවික නියමයක් නොවේ. ඔරේනස් ගෙපිල්කඩ පැන්නා පමණි. නැවුම් උදෑසන අරුණැල්ලකින් ඔපවත්ව ගියා සේ ගෙපැළ සිරියාවන්ත වී ගියේය.
අසුන් ගන්න උතුමාණෙනි
රාසා අසුනක් පිළියෙල කළේය. නිවස තුළ හුන් රාසාගේ මවත්ල බාල සහෝදරයාත්, මොහොතක් ගල් ගැසී ආගන්තුකයා දෙස බලා උන්නාහ. මොහොතකින් පැමිණ ඔරේනස් අසල හිසනමා ආචාර කොට එකත් පසෙක වන්හ. ඔවුහු ගෞරව කරන්නේ කල්තියා සැලසුම් කරගත් දෙයක් පරිදිය. හුරුපුරුදු බවක් සහිතවය.
රාසාගේ ඉල්ලීම පරිදි මෑණියන් දෑ සංග්‍රහ කටයුතු යමක් පිළියෙළ කරන්නට ගියහ.
උතුමාණෙනි..... ඔබතුමගේ නම කොහොමද?
ඔරේනස්..... ඔබ
මම රාසා... උතුමාණෙනි. ඔබ කොහෝ සිට කොහේ දක්වා යන ගමනක්ද?
එය කදිම චාරිකාවක් දරුව. මාගේ ගුරුවරයාණන්ගේ මඟපෙන්වීම යටතේ මම අතීතයේ සිට වර්තමානය හරහා අනාගතයට චාරිකාවේ යෙදෙමි. මාගේ ඒකායන පැතුම නොකල්ව විනාශයට ගියාවූද, පරමාර්ථයන් සුන්කර ගත්තා වූද ජනතාවකට නිම්නයේ උල්පත් ඇති තැන් පිළිබඳ පාර කීමය.
නිම්නයයැයි කීවේ උතුමාණෙනි?
ඔරේනස්ට මුව විවර කරන්නට ලැබුණේ නැත. යාබද ගෙවත්තෙහි අසල්වැසි ඊසාක් පැමිණියේය. හේ දර කපන්නෙකි. ගෙට ගොඩවූ ඔහු විමසිලිමත්ව ආගන්තුකයා දෙස බැලුවේය. රජතුමාගේ විශේෂ අවසරයක් ලබා මාලිගයටත් ප්‍රභූ නිවාසවලටත් අවැසි දර සහ දැව සම්පාදනය කළේ ඔහුය. රාජ්‍ය අවසරය ඇපයට තබා දර සහ දැව හැර වනසතුන් පවා දඩයමේ ගිය ඔහු නොපනත්කම්හි කෙළ පැමිණියෙකි.
කවරෙක්ද?
ඔහු රාසාගෙන් ඇසීය.
ආගන්තුකයෙක්
කොහේ සිටද?
අතීතයේ සිට
අතීතයේ සිට... ඒ කෙබඳු දේශයක්ද?
නොදනිමි
නොදන්නා අයවලුන් ගෙතුළට වද්දා ගැනීමේදී මීට වඩා ප්‍රවේසම් විය යුතු බව රාජ අණ බව නොදන්නෙහිද රාසා? එය ඔබට පමණක් නොවෙයි මේ ගමටත්, රටටත් අවදානමක්
මේ මහත්මයා හිතන පරිදි අවදානම යනු කුමක්ද?
ඔරේනස් විමසුවේය. ඊසාක් නිරුත්තරය.
අවදානම යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද මහත්මයා?
ඔරේන්ස් නැවත විමසුවේයග පිළිතුරු නැත.
මහත්මයා අවදානම යනුවෙන් ඔබතුමන්ලා අදහස් කරන්නේ ඔබතුමන්ලාගේ සුඛ විහරණය උදෙසා වන අවහිරතාවයි. ඔබතුමන්ලාගේ සරල අවශ්‍යතා සඳහා ඇතැම්විට සාමාන්‍ය වැසියාගේ සමස්ත ජීවිතයම අවදානමට ලක්වන බව දන්නවාද?
ඊසාක්ගේ මුහුණ මැලවී ගියේය.
කොහෙන් ආ කෙරුමෙක්ද මේ? තා කාගේ එකෙක්ද?
ඔබ කොහේද මහත්මයා?
මම රජතුමාගේ රාජ සේවක මණ්ඩලයේ උසස් නිලධාරියෙක්
රජාගේ හෝ සේවකයෙකු නම් සේවකයා යනු වහලෙක් මහත්මයා. මම කාගේවත් නොවෙයි. මටත් කවුරුවත් නැහැ. මම මගේමයි. ඔබව පාලනය කිරීමට රජතුමාට හැකියි. මන්ද ඔබ ඔබේ නොව ඔබ රජුගේ නිසා මා මගේ බැවින් මා පාලනය කළහැකි එකම පුද්ගලයා මා පමණයි.
කතාබහ අතරේ රාසාගේ මව සංග්‍රහ කටයුතු කළාය.
නිතරම අවදානම ඇත්තේ අනුන්ගේ දෙයකින් යැපෙන උන්ටයි මහත්මයා. මන්ද, එය කොයි මොහොතේ හෝ නැතිවී යා හැකියි. ඔබගේ රජතුමා හෙවත් ඔබගේ පාලකයා ඔබට දී ඇති වනාන්තර අවසරපත ඔහුට කැමති වේලාවක කැමති අයෙකුට පැවරිය හැකියි. ඔය තනතුරු නම්බු නාම සියල්ල එහෙමයි. අනුන් දුන් තනතුරු නම්බුනාම අවශ්‍ය රිසි විටෙක නැවත උදුරා ගැනීමේ අයිතිය ඔවුන් වෙතම තියෙනවා. එනිසයි ඔවුන් බියකින් හා චකිතයකින් තොරව ප්රදානය කරන්නෙ... නීතිය යනු ස්වභාවධර්මයේ ස්වාභාවික නියමයක් නොවේ. නීතිය යනු පාලකයන් තම ආරක්ෂාව උදෙසාත් තම සුඛවිහරණය උදෙසාත් තනාගත් අර්ථකථනය කරගත් පද්ධතියක්. එය හදන්නේත්, කඩන්නේත් ඔවුන්මයි. නුඹලා කරන්නේ ඒවාට අවනතව උන්ගේ අගුපිල් මත වැටෙන ඉඳුල් කටු ලෙවකෑම පමණයි මහත්මයා. . . මඟක් මඟක් පාසා නිදහසේ සරන සුනඛයන් නුඹලාට වඩා කාලකන්නිකමින් අඩු බව පැහැදිලියි. මගේ අරමුණ මේ යථාර්ථය මිනිසාට තේරුම් කිරීමයි. ස්වභාව නීතියට පිටතින් කිසිදු නීතියක්, ආගමක් හෝ පාලනයක් නොතිබෙන බව තේරුම් කරදීමයි.
ඔරේනස් තේ පැන් පානය කළේය. ඊසාක් තරහින් පුපුරමින් පිටත්ව ගියේය.
සමන් එදිරිමුණි
ලබන සතියට.