යාග හෝම බලි තොවිල් ශාන්තිකර්ම අතීතයේ ගම හැඩ කළ මතක අතර රැඳෙයි. ගමේ වූ විශ්වාසයන් එකින් එක නැති වී යනවිට මෙම අපූරු සංස්කෘතික අංග ද අප ගම් බිම්වලින් වියැකී ගියේය. එහෙත් මෙම අපූරු සංස්කෘතිකාංග පිළිබඳ මතක පසුගිය වසර අවසානයේ අලුත් විය. ඒ දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පන්සල්, දේවාල, වරායවල් ආදී ස්ථාන කේන්ද්‍රය කරගෙන පැවැත්වූ දොවොල් මඩු ශාන්ති කර්ම පෙළ නිසාවෙනි. ඇතැම් තැන වාර්ෂිකව කරගෙන යන මෙම ශාන්තිකර්මය තවත් තැනක අලුතින් පටගෙන තිබිණි. අපට ඉඩ ලැබුණු විටක මේවාට ගොඩ වී තවත් අතීතයකට මං සලකුණු කොට ගතිමු.
පහත රට නැටුම් සම්ප්‍රදාය හා බැඳුණු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය පහත රට පැරැන්නන් අතර බොහෝ ප්‍රචලිතව තිබී ඇත. ගම්වැසියන්ගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මය අතිරින් ප්‍රමුඛ වූයේ දෙවොල් මඩුවයි. හැල්ලුම් මඩු, කිරි මඩු, පූජා මඩු, පහන් මඩු, තුන් දා ගී මඩු, හත් දා ගම් මඩු, ගරා මඩු, දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම මෙකල ගම් බිම්වල පවත්වා තිබේ. මේ බොහෝ මඩු පත්තිනි දෙවියන් මුල්කර ගෙන පවත්වා ඇත. ගමින් ගමට පුරවරයෙන් පුරවරය වෙනස් වූ මෙම ශාන්තිකර්ම අතරින් දෙවොල් මඩු හැරුණු කොට යම් පමණකට හෝ ශේෂව ඇත්තේ ගම් මඩුවයි.
අප වෙත නිරීක්ෂණය වූ පරිදි වර්තමානයේ වර්ෂාවසානේ පහතරට ගම්බිම්වල පවත්වන දොවොල් මඩුවල ද ඇත්තේ එදා වූ සාම්ප්‍රදායික අරමුණුමය. ඒ අනුව ඔවුන්ගේ කර්මාන්තවලට සහ ප්‍රදේශවලට බලපාන්නා වූ අපල උපද්‍රව රෝග පීඩා ඇතුළු නොයෙකුත් කරදර පීඩාවලින් මිදීම මෙම ශාන්තිකර්මවල අරමුණයි. එය වඩාත් හොඳින් පැහැදිලි වනුයේ දකුණේ ධීවර වරාය කිහිපයක් කේන්ද්‍රය කරගනිමින් පසුගිය සමයේ පැවති ශාන්තිකර්ම නිසාවෙනි. එවා බොහෝමයක් වාර්ෂිකව පත්වාගෙන එනු ලබන ශාන්තිකර්මය. වරායේදී නම් සියල්ලන්ගේ ආධාර උපකාර ඇතිව දෙවොල් මඩු සංවිධානය වෙයි. සමහරක් තම තනි වියදමෙන් ද කරන ශාන්තිකර්ම පහතරට දැක ගත හැකිය.
වර්තමාන මෙම ශාන්තිකර්ම අවස්ථාවලදී සංස්කෘතික අංගවල අමතරව දැක ගතහැකි දෑ කිහිපයකි. රහ මෙර පානය කොට මෙවන් අවස්ථාවන්ට සහභාගී වීම අනුචිත යැයි එදා තිබුණු මතය දැන් වියැකී ගොසිණි. සළු වූ තරුණ පිරිස් රැසක් මෙම අවස්ථාව දැක ගත හැකිය. එසේම වෙරළකරයේ නම් මෙවන් අවස්ථාවල කංසා භාවිතය බහුලව සිදුවෙයි. මේ අතර එදා මෙන්ම අදත් පරල වී නර්තනයේ යෙදෙන්නන් මෙම අවස්ථාවල දැක ගත හැක. නූතනය කොතරම් වෙනස් වුවත් මෙවන් දෑ අතීතය සහ විශ්වාසයන් අතර ඇති මානව බැඳීම මනා කොට පිළිබිඹු කරයි.
අතීතයේ ගමේ පැවති මඩු ශාන්තිකර්මවල තිබූ සම්ප්‍රදායන් පිළිබඳව මෙහි දී සිහි කළ යුතුය. එදා යමකුට දෙවොල් මඩු ශාන්ති කර්මයක් කරවා ගැනීමට අවශ්‍ය වූ විට මඩු යාග සිදු කරන කපු පරම්පරාවේ මුල් කපු මහතා හමුවී අරාධනා කිරීම සිදුව ඇත්තේ පිළිවෙතකට අනුවය. බුලත් දී තෑගී බෝග දී ඉතා ගෞරවයෙන් මෙම ආරාධනාව සිදුව තිබේ. එදා ඇරයුම පිළිගත් ප්‍රධාන කපු තැන පේරු හතක නොහොත් පරම්පරා හතක ඇදුරන් කැඳවා මඩු ශාන්ති කර්මය පැවැත්වීමට කටයුතු කර තිබේ. කෙසේ නමුත් අද වනවිට මෙම ඇදුරන් කපු මහතුන් සොයා ගැනීම පහසු නැත. මාතර සහ දකුණේ පරම්පරා කිහිපයකට අයත් පිරිස අද මෙම ශාන්තිකර්ම සියල්ලේ වගකීම් දරයි. ඔවුන් අතරේ කලායතන කිහිපයක් ද වෙයි.
මෙහිදී මඩු ශාන්තිකර්මවල ඉතිහාසය ද සිහිකිරීම යහපත්ය. මෙරට පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය රුවන්වැල්ල ප්‍රදේශයේදී ඉන්දියාවෙන් පැමිණි සේරමාන නම් රජ කෙනකු විසින් පවත්වන ලද බව කියැවේ. ඊට අදාළ ජනප්‍රවාද රැසකි. ඉන් එකක් පමණක් අප ශාන්තිකර්ම පිළිබඳ සටහනකින් උපුටා දක්වමු.
“ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිට සේරමාන නම් රජුට සිටි ගෝනකුගේ කෑගැසීම නිසා රජුගේ නින්දට බාධා ඇති විය. දිගින් දිගටම ඇති වූ කෑගැසීම නිසා රජු ගෝනා මැරීමට නියෝග කළේය. රාජ පුරුෂයන් ගෝනා මැරීමට පසුපස එළවද්දී උගේ පය පැටලී අසල තිබූ රජුගේ උයනෙහි පොකුණට වැටී මරණයට පත්විය. රජතුමා මෙම විපත තමාට කළ බව දැනගත් ගෝනා රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්වූයේ එම පොකුණෙහිම කුඩා මැඩියෙක්ව උපදමින්ය. දිනක් උයනට ගිය රජු පොකුණෙහි පිපී තිබූ මානෙල් මලක් කඩා සුවඳ ආඝ්‍රහණය කරන විට මල යට සැඟවී සිටි ගෙම්බා නහය දිගේ රජුගේ මොළයට රිංගා ගත්තේය. මෙයින් රෝගාතුර වූ රජුට නොයෙක් ප්‍රතිකාර කළ ද සුව නොවීය. දිනක් රජතුමා රූමත් කතක් සිහිනෙන් දුටු අතර මේ පිළිබඳව පුරෝහිත බමුණන්ට දැන්වීමෙන් ඔවුන් කියා සිටියේ සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි මෑණියන් බවත් ඇගේ ශාපයක් රජුට ඇති බවත්ය. ශාපය දුරලීමට බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් පිං පැමිණවිය යුතු බව ඔවුන් කියා සිටියේය. මීට සුදුසුම රට ලංකාව යැයි තීරණය කළ සේරමාන රජු ඇතුළු පිරිස නැව් නැගී වත්තල් තොටින් දිවයිනට පැමිණ කැලණියට ගොස් බුදුන් වැඳ පත්තිනි දේවියට පිං දී නවගමුවේදී රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹ ගෙඩියක් පූජා කරන ලදී. අනතුරුව රුවන්වැල්ලේ දී පළමු දෙවොල් මඩු යාගය කරන ලදී."
ඉතිහාසයේ සම්ප්‍රදායන් සහ ප්‍රවාද පිළිබඳ සාකච්ඡා කරතොත් මෙම සංවාද වෙනත් මගක් ගනී. නූතන මඩු ශාන්තිකර්ම විෂයේ අප දුටු තවත් අපූරු නරඹන්නන් පිරිසක් පිළිබඳ සිහිකළ යුතුය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් කණ්ඩායම් ලෙස මෙන්ම තනි තනිව ද මෙම ශාන්තිකර්ම නැරඹීමට පැමිණෙති. ඒ ඔවුන්ගේ අධ්‍යයනවලට ප්‍රායෝගික අත්දැකීම් එකතු කරගනු පිණිසය. ඒ අනුව වර්ශයේ පවත්වන මෙම ශාන්තිකර්මවල සෙත් ශාන්තිය අනාගත පරපුරට ද ලැබෙන බව පෙනී යන අපූරු අවස්ථාවකි.
දෙවොල් මඩු ශාන්ති කර්මයක පෙළපාළිය මේ ආකාරයෙන් එකින් එක පෙළට සිදුවේ. ඇතැම් තැන දෙබස් සංවාද තිබේ. ඒවගේ ඇත්තේ නූතනත්වයය. නිදිගැට කඩා දමුනු රිසියෙන් අද ශාන්තිකර්ම බොහෝමයක දෙපිට කැපෙන ආදීය අන්තර්ගතය. තැන තැන මේ පිළිබඳ විවේචන ද තිබේ. කෙසේ නමුත් නූතනත්වය හැරපියා අනාගතය කරා යාම මෙම සංස්කෘතික අංගවලට නොකී බව අප අමතක කළ යුතු නැත.
අවසානයේ පහත රට ගම්බිම්වල ඇතැම් පිරිස් වෙහෙසී පවත්වන මෙම මඩු ශාන්තිකර්ම පිළිබඳ අප ඇගැයුමක් කළ යුතය. වියැකී යන මෙම සම්ප්‍රදායන් සුරැකී තිබීමට එකම හේතුව එය බව ද කිව යුතුය. එසේම පහතරට ප්‍රදේශයේ මෙම ශාන්තිකර්මය කරන පාරම්පරික ඇදුරන්ගේ අවසන් පරම්පරාව ජීවත් වෙති. ඔවුනට මේ හරහා යහපතක් සිදුව ඇත. එහෙත් මේ සියල්ල සුරක්ෂිත කිරීමට මෙන්ම අනාගතය ඉතිරි කර තැබීමට මෙම ශාන්තිකර්ම පවත්වන රටවල රාජ්‍ය අනුග්‍රහයක්, මැදිහත් වීමක් අවශ්‍ය බැව් අවසානයේ කිව යුතුමය.
► චමිඳු නිසල්