2017 මාර්තු 25 වන සෙනසුරාදා

ජාතික සම්මානයෙන් පිදුම් ලද රටේ විශිෂ්ටයෝ

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 351

 

තම මාතෘභූමිය වෙනුවෙන් උදාරතර සේවයක නිරත වන්නන් ඇගයීම රටක පුරවැසියක් සතු වගකීමක් නොව යුතුකමකි. වසර 12කට පසු මෙසේ තම රට වෙනුවෙන් උදාර සේවයක් සිදුකළ විශිෂ්ටයන් 89 දෙනෙකුට සම්මාන පුද කෙරුණු ශ්‍රී ලංකා ජාතික සම්මාන උළෙල 2017 පසුගිය සඳුදා (20) සවස කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙසේ ජාතික සම්මානවලින් පිදුම් ලැබූවන් රජයේ ගැසට් පත්‍රය ඔස්සේ ද නිවේදනය කරනු ලැබූ අතර ඔවුන්ගේ නාම ලේඛනයක් ජනාධිපතිවරයා විසින්ද  පවත්වාගෙන යනු ලැබේ. 

සම්මාන ප්‍රදානෝත්සවය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහල විසල් අසිරියක් ඉසිලූ සෙයක් එදින පෙනෙන්නට තිබිණ. අන් උත්සවයකට වඩා මෙහිදී දක්නට ලැබුණු සුවිශේෂීත්වයක් වූයේ සම්මානලාභීන් හා සම්මාන ප්‍රදානය කළ ජනාධිපතිවරයාද එකම වේදිකාවක අසුන් ගෙන සිටීමය. 

සම්මාන ප්‍රදානෝත්සවය ඇරඹුණේ උළෙලේදී පිරිනැමුණු එකම ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය දිවංගත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ට වෙත පිරිනමමිනි. අමරදේවයන්ගේ අභාවයෙන් මාස කිහිපයක් ඉක්ම යද්දී පැවැති සම්මාන උළෙලේදී එතුමා වෙනුවෙන් සම්මානය භාරගැනීමට වේදිකාවට ගොඩවූයේ ඔහුගේ ප්‍රිය බිරිය වන විමලා අමරදේව මහත්මිය ය. ඇය වේදිකාවට ගොඩවීමේදී සභාවේ සිටි සියලු දෙනා හුනස්නෙන් නැගී සිට ආචාර දැක්වීම හැඟුම්බර මොහොතක් විය. 

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය වනාහි ශ්‍රී ලාංකික ජාතිය උදෙසා සිදුකළ උත්කෘෂ්ඨ හා අතිකීර්තිමත් සේවය සඳහා පිරිනැමෙන්නකි. එය ජීවතුන් අතර සිටින නාමධාරී සම්මානලාභීන් පස්දෙනකුට පමණක් සීමා වන්නකි. ප්‍රදනයේ ස්වභාවය ගැන සඳහන් පත්‍රයක් සහ නෙළුම් මලක ලාංඡනයක් ඇති රන් පදක්කමක් සම්මානලාභියාට හිමිවේ. 

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයට අමතරව තවත් සම්මාන කාණ්ඩ 11ක් යටතේ සෙසු සම්මාන පිරිනමනු ලැබිණ. දේශය උදෙසා කරන ලද අතිවිශිෂ්ටවූත් ප්‍රශංසනීය වූත්, සේවයට උපහාර වශයෙන් පිරිනමනු ලබන සම්මානය වන්නේ දේශමාන්‍ය සම්මානයයි. සම්මානයේ ස්වභාවය සඳහන් පත්‍රයක් හා නිල් මානෙල් මලක හැඩය ගත් රිදී පදක්කමක් හිමිවන අතර ජීවතුන් අතර සිටින 75දෙනකුට පමණක් එය සීමාවේ. මෙවර දේශමාන්‍ය සම්මාන 10ක් පිරිනැමුණු අතර අබ්බාස් අලි අක්බාර් අලි, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මිනේක ප්‍රසන්න වික්‍රමසිංහ, ආචාර්ය දේවනේසන් තේසයියා, නන්දදාස රාජපක්ෂ, මහාචාර්ය ප්‍රියානි සොයිසා, අමරදාස ගූණවර්ධන, මහාචාර්ය කේ.එම්.ද සිල්වා, ලතා වල්පොල, තිස්ස දේවේන්ද්‍ර යන කීර්තිමත් ශ්‍රී ලාංකියෝ එම සම්මානයට හිමිකම් කීහ. 

දේශබන්ධු සම්මානය පිරිනැමෙන්නේ, ජාතිය උදෙසා කළ ප්‍රශංසනීය ස්වභාවයේ විශිෂ්ට සේවය වෙනුවෙනි. එහි පදක්කම මොනරා ලාංඡනය රැගත් රිදියෙන් කරන ලද්දකි. එහි නාමධාරී සංඛ්‍යාව 65කට සීමාවේ. කැප්ටන් එම්.ජී. කුලරත්න, වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන, දේවනායගම් ඊශ්වරන්, සුසන්තිකා ජයසිංහ, ලෙස්ලි දේවේන්ද්‍ර, ශාන් වික්‍රමසිංහ, රංජන් මඩුගල්ල, ෂාන් වික්‍රමසිංහ, ආචාර්ය පබිලිස් සිල්වා හා ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය යන ශ්‍රී ලාංකිකයෝ එසේ දේශබන්ධු සම්මානයෙන් මෙවර පිදුම්ලැබූහ. 

උපරිම පනස්දෙනකුට පිරිනැමෙන විද්‍යාජෝති සම්මානය හිමිවන්නේ, මුල්වරට ස්වාධීනව කරන ලද පර්යේෂණ මගින් ලබන ලද විශිෂ්ට විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණ වෙනුවෙනි. රිදියෙන් කළ පදක්කමේ සූර්ය ලාංඡනයක් දක්නට ලැබේ. මෙවර විද්‍යාජෝති සම්මානයට හිමිකම් කීවේ, මහාචාර්ය නිමල් සේනානායක, ආචාර්ය බන්දුල විජේරත්න, වෛද්‍ය කොල්වින් සමරසිංහ, මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, මහාචාර්ය ටී.කේ. විමල් පද්මසේන, මහාචාර්ය එරල් රැඩ්ක්ලිෆ් ජෑන්ස්, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, මහාචාර්ය එම්. ඩබ්.ජේ.පී. මෙන්ඩිස්, මහාචාර්ය එම්.එම්.ආර්. වාස් ජයසේකර, මහාචාර්ය සරත් කොටගම, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන්ය‍.

පර්යේෂණ සහ/හෝ ප්‍රතිභාව උපයෝගී කරගෙන කලාව, සංස්කෘතිය, නාට්‍ය ආදී ක්ෂේත්‍රවල ලද සුවිශේෂී ජයග්‍රහණ සහ එම ක්ෂේත්‍රයන්ට කරන ලද එබඳු සේවාවන් සඳහා පිරිනැමෙන කලාකීර්ති පදක්කමේ පුන් කලස් ලාංඡනයක් අඩංගු වේ. එහි නාමධාරීන්ගේ උපරිමය අසූ පහකි. අරන් ඩයස් බණ්ඩාරනායක, එඩ්මන්ඩ් රණසිංහ, පී කර්තිනි ඩුහුමන් මොහොමඩ්, අජිත් හේමචන්ද්‍ර, තලංගම ජයසිංහ, දාස හපුවලාන, ගර්මන් රොනල්ඩ්, ලක්ෂ්මන් ද අල්විස්, අයිවෝ ඩෙනිස්, දයා නෙල්ලම්පිටිය, ලාල් හෑගොඩ, සරවනෙයි විනයාගමූර්ති, සින්නාරම්පිල්ලෙයි තිල්ලනවරාජා, සුමින්ද සිරිසේන, සුරේෂ් මාලියැද්ද, සුනන්ද මහේන්ද්‍ර, ඩබ්ලිව්.ඒ. අබේසිංහ, කැමිලස් පෙරේරා, ලලිතා සරච්චන්ද්‍ර, ලයනල් බෙත්තරගේ‍්, මධුභාෂිණී දිසානායක, නාමෙල් වීරමුනි හා සුමනා ජයතිලක යනාදීහු කලාකීර්ති සම්මානයට හිමිකම් කියූහ. 

ශ්‍රී ලංකා ශීඛාමණී සම්මානය හිමිවන්නේ සාමාන්‍ය ස්වභාවයේ විශිෂ්ට සේවය උදෙසා ය. තඹ පදක්කමක් වන එයට ශ්‍රී පාදස්ථානයේ ලාංඡනයක් එක්කර තිබේ. එහි උපරිම නාමධාරී සංඛ්‍යාව දෙසීයකි. අචි මොහොමඩ් ඉෂාක්, ගුණසෝම නවරත්න, පියදාස අභයවර්ධන, ක්‍රිෂ්ණි මූර්තිරත්නම්, ලීලානන්ද ප්‍රේමතිලක, ලුෂන් බෙනඩික් රෝසා හා සිව සුබ්‍රමනියම් පත්මනාදන් යන ශ්‍රී ලාංකික පුරවැසියෝ මෙවර ශ්‍රී ලංකා ශිඛාමණි සම්මානයෙන් පිදුම් ලැබූහ. 

විද්‍යානිධි සම්මාන 10ක් මෙවර පිරිනැමුණු අතර ඊට හිමිකම් කීවේ, ඒ.එම් මසුන් කාසිම්, තිලක් අබේසේකර, එච්.ආර්.එම්. ගුණසේන, ලොයිඩ් පෙරේරා, එම්.එස්. මූකයියා, එස්. සෝමසිරි ගුණවර්ධන, එස්. සිවානන්තන්, එස්. සන්දරසේගරම්, චන්ද්‍රසිරි ගුණසේකර හා ඩබ්.එම්.ටී. වන්නිනායක යන මහත්වරැ විසිනි. උපරිම නාමධාරීන් සියදෙනකුට පිරිනැමෙන විද්‍යානිධි සම්මානයෙන් අරමුණු කෙරෙන්නේ ප්‍රශංසනීය විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණ ලද කීර්තිමත් පුරවැසියන්ට සම්මාන පිදීමය. එය පහනක ලාංඡනය රුගත් තඹ පදක්කමකි. 
කලාව, සංස්කෘතිය, නාට්‍ය ආදියේ උන්නතිය උදෙසා කරන ලද විශේෂ සේවය සඳහා ප්‍රදානය කරනු ලබන කලාසූරී සම්මානය උපරිම නාමධාරීන් එකසිය විසිපහකට සීමාවේ. සංඛ ලාංඡනයක් ඊට අදාළව පිරිනැමෙන තඹ පදක්කමේ දක්නට ලැබේ. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, කැත්ලින් ජයවර්ධන, බර්ටි ගුණතිලක, නවරත්න ගමගේ, නීටා ප්‍රනාන්දු, සරත් අබේගුණවර්ධන, ප්‍රේමසර ඈපාසිංහ, සරත් හැන්නදිගේ, ශ්‍රීයානි අමරසිංහ, සුමිත්‍රා රාහුබද්ද, තිස්ස නාගොඩවිතාන හා ඩබ්ලිව්. ජයසිරි යන අය මෙසේ කලාසූරී සම්මාන ලබාගත්හ. 

ශ්‍රී ලංකා තිලක සම්මානය හිමිවන්නේ සාමාන්‍ය ස්වභාවයේ ප්‍රශංසනීය සේවය වෙනුවෙනි. තාරකා ලාංඡනය සහිත පදක්කමක් ඊට හිමිවේ. පණ්ඩුල ඇඳගම හා හේමබණ්ඩාර ජයසිංහ යන විද්වතුන්ට මෙවර එම සම්මානය හිමිවිය. 

වීර ප්‍රතාප සම්මානයට හිමිකම් කියන්නේ නිර්භීත ක්‍රියා අගයමිනි. ඊට මුරගලක ලාංඡනය රැගත් ලෝකඩ පදක්කමක්  ඇතුළත් වේ. රංජිත් අමරජීව හා ශානක ප්‍රසාද් යන මහත්වරු එම සම්මානය හිමිකරගත්හ. 

එහිදී පිරිනැමුණු තවත් සුවිශේෂී සම්මාන කාණ්ඩයක් වූයේ ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන්ට පිරිනැමෙන ශ්‍රී ලංකා රංජන සම්මානයයි. එය මෙරට දෙවැනි ඉහළම සම්මානය වන අතර ශ්‍රී ලාංකිකයන් සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් කරන ලද ප්‍රශංසනීය ස්වභාවයේ විශිෂ්ට සේවය වෙනුවෙන් ප්‍රදානය කෙරේ. ප්‍රදානයේ ස්වභාවය සඳහන් පත්‍රයක් හා ශ්‍රී ලංකාවේ මැණික් වර්ග හයක් ඔබ්බවා අලංකාර කළ සඳකඩපහණ ලාංඡනයක් සහිත රිදී පදක්කමක් ඊට අදාළව පිරිනැමේ. ආචාර්ය සරත් ගුණපාල සහ සිද්ධාර්ථ තාවුල් යන මහතුන් ශ්‍රී ලංකා රංජන සම්මානය ජනාධිපතිවරයා අතින් ලබාගත්හ. 

ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරැ ජයසූරිය මහතා සහ මැති ඇමැතිවරැ සහ සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.
 
 රජිත ජාගොඩ ආරච්චි 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00