2020 ජනවාරි 18 වන සෙනසුරාදා

අහෝසි කළ ප්‍රති තස්ත පනත

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

ප්‍රතිත්‍රස්ත පනත සම්පූර්ණයෙන් අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ විදේශ සබඳතා පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.  මාධ්‍ය නිදහස, වෘත්තීය සමිති නිදහස, ශිෂ්‍ය සංගම් හා ශිෂ්‍ය ව්‍යාපාරයේ නිදහස සහ දේශපාලන නිදහස යන සියල්ල අහුරා දමමින්, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම වෙනුවට ත්‍රස්තවාදය හුරතල් කිරීමට මෙම පනතින් සිදු වූ බවට විවේචන එල්ල වී යැයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. ඒ අනුව කලින් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි ඒ අයුරින්ම ක්‍රියාත්මක වනු ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම සම්මත කෙරුණේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන සමය වූ 1979 දී සහ 1983 න් පසුව ඇතිවූ දෙමළ සන්නද්ධ ක්‍රියාකාරකම් වැළැක්වීමේ පියවරක් ලෙසිනි. 1979 දී තාවකාලික පනතක් වශයෙන් සම්මත වූ එය 1982 දී ස්ථාවර පනතක් ලෙස සම්මත විය. දශක ගණනක් පුරා ක්‍රියාත්මක වූ මෙම පනතට ආරම්භයේ සිටම විරෝධතා එල්ල විය. 2015 නව රජය බලයට පත්වීමෙන් පසු 1979 සිට ක්‍රියාත්මක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නව පනතක් ගෙන එන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මගින් නව රජයට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව යහපාලන රජය මගින් කෙටුම්පත් කෙරුණු ප්‍රතිත්‍රස්ත පනත හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබීය. බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌ත මර්දන පනතට සමානව කෙටුම්පත් වූ මේ ත්‍රස්‌ත මර්දන පනත වහාම ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ව සිටි සෙයිද් රාද් හුසේන් මෙන්ම වත්මන් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ද ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබිණි. මේ හැර අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයද මෙම ප්‍රතිත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් වධහිංසා සිදු කිරීම, ලිංගික අපචාර, බලහත්කාරයෙන් කටඋත්තර ගැනීම වැනි දෑ සිදු කළ බවට පොලීසියට හා පැවති ආණ්ඩුවලට චෝදනා එල්ල විය. සාක්ෂි රහිතව පවා අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට අවස්ථාව ලබා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට දේශීයව මෙන්ම විදේශීයව ද දැඩි විවේචන එල්ල විය. ප්‍රතිත්‍රස්ත පනත සම්මත කෙරුණේ මේවාට පිළියමක් ලෙසිනි.

මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනතට  වාමාංශික පක්ෂ සහ දේශපාලන ක්‍රියාකාරීන් සිය විරෝධතාවය පලකර තිබිණි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මර්දනකාරී පනත් වන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත යන දෙකම අහෝසි කළ යුතු බවටය.

එවක විපක්ෂය නියෝජනය කළ වත්මන් ආණ්ඩුවේ පිරිස් ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළේ එමගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා හඳුන්වා දුන් නීති ලිහිල් කොට ත්‍රස්තවාදීන්ට සහන සලසන බව පවසමිනි. 

ඔවුන් සඳහන් කරන පරිදිම ප්‍රතිත්‍රස්ත පනත මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති ඇතැම් වගන්ති මඳක් ලිහිල් කළ බව පෙනී යයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයකු නොවන බලධරයකු ඉදිරිපිට කරන ලද පාපොච්චාරණයන් පිළිනොගැනීම, මානව හිමිකම් කොමිසම් සභාවට රැඳවියන්ට ප්‍රවේශය ලබා දීම හා මහේස්ත්‍රාත්වරයකු විසින් ලබාදෙන රුඳවුම් පිළිබඳ අතුරු නියෝගයකට අභියාචනා කිරීමේ හැකියාව ප්‍රතිත්‍රස්ත පනතට ඇතුළත් කර තිබිණි.

ත්‍රස්තවාදය ලෙසින් හැඳින්විය හැකි වැරදි සම්බන්ධයෙන් අදාළ වන පනත් 14ක් ද, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 6 ක් ද ඇතුළුව නීති 20ක් පමණ ශ්‍රී ලංකා නීතියේ අන්තර්ගතය. එසේම හදිසි තත්ත්වයක් තුළදී කටයුතු කිරීමට ජනපතිවරයාට හදිසි නීතිය පැනවීමේ හැකියාවද පවතී. එහෙයින් තවදුරටත් ත්‍රස්තවාදය සම්බන්ධ පනත් අවශ්‍ය නොවන බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මතය විය.

ත්‍රස්තවාදය සම්බන්ධ පනත්වලින් සිදුවන්නේ අත්අඩංගුවට ගන්නා වූ සැකකරුවන්ගේ, රඳවා තබාගන්නා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ට හිමිවන ආරක්ෂාව අවම කිරීම යැයි සමාජ ක්‍රියාකාරිකයෝ පවසති. ප්‍රතිත්‍රස්ත පනතේ ත්‍රස්තවාදය යන්නට පුළුල් අර්ථකථන පවතින බවත් ඒ අනුව බොහෝ සිදුවීම් ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථ දැක්වීමට බලධාරීන්ට අවකාශ සැලසෙන බවටත් ඔවුහු චෝදනා කළහ. නව රජය ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කොට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යළි පවත්වාගෙන යාමට පියවර ගෙන .ඇත්තේ ප්‍රතිත්‍රස්ත පනතින් ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන්නන් කෙරෙහි ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට අවකාශ තිබූ බැවින් යැයි කියයි.

මේ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙලෙස සඳහන් කළේය.“රජය ප්‍රතිත්‍රස්ත පනත අවලංගු කිරීමට පියවර ගත්තේ එහි අන්තර්ගත ඇතැම් කරුණු සැලකිල්ලට ගනිමිනුයි. සාධනීය කරුණු එකක් දෙකක් එහි ඇතුළත් වුවත් එම පනත මගින් ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් වෘත්තීය සමිති සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයක් තිබුණා. වෘත්තීය සමිතිවලට උද්ඝෝෂණ පැවැත්වීම, මාධ්‍යවේදීන්ට ගවේෂණාත්මක මාධ්‍යකරණයේ යෙදීම වැනි දේ වැළැක්විය හැකි විධිවිධාන එම පනතේ ඇතුළත් වුණා. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් අතිශය ලිහිල් දඬුවම් යෝජනා කෙරුණා. ඔවුන් ස්වේච්ඡාවෙන් වරද පිළිගන්නේ නම් ඔවුන්ට දඬුවම් නොකළ යුතු යැයි යෝජනා වී තිබුණා. ඔවුන්ට ඇප ලබා දීමට විශේෂ විධිවිධාන යොදා තිබුණා. එය ත්‍රස්තවාදීන්ට සහාය දක්වමින් සකස් කළ කෙටුම්පතක් ලෙස බැලූ බැල්මට පෙනී ගියා. අපට එය පෙනුණේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නක් නොව ත්‍රස්තවාදය ශක්තිමත් කරන, සමාජයේ අත්‍යවශ්‍ය සාධක වන බහුජන ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය මර්දනය කරන පනත් කෙටුම්පතක් විදිහටයි. ඒ නිසා එය අවලංගු කිරීමට ආණ්ඩුව තීරණය කළා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද යල්පැන ගිය එකක්. නූතන තාක්ෂණික ලෝකයට ගැලපෙන පරිදි එය සංශෝධනය විය යුතුයි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.”

 නව රජය ප්‍රතිත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීමට ගත් තීරණය මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම ඍජුව ප්‍රතික්‍ෂේප කිරීමක්‌ බඳුය. මේ වසරේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් කිසියම් පියවරක් ගනීවිදැයි යන පැනයට පිළිතුරු දුන් ගම්මන්පිල මන්ත්‍රීවරයා “අනිවාර්යයෙන්ම ඔව්. ඔවුන්ගෙන් බලපෑමක් එල්ල නොවන්නේ ජාත්‍යන්තරයේ පදයට නටන රූකඩ ආණ්ඩුවලට විතරයි. රටේ ස්වාධිපත්‍යය, ජාතික ආරක්ෂාව රකින ආණ්ඩුවලට බටහිර බලවේගවලින් අනිවාර්යයෙන්ම බලපෑම් එල්ල වනවා. එම බලපෑම්වලට මුහුණ දී ඒවා පරාජය කිරීමට අපි සූදානම්. ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විපක්ෂයේ සිටින කාලයේ සිට අපි සූදානමින් සිටියා. අපි ඒ පිළිබඳව දීර්ඝ කාලීනව සාකච්ඡා කළා. එම තොරතුරු මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීම සුදුසු නැහැ.”

ඩයස්පෝරාව ඇතුළු බලවේගවල වුවමනාව මත මංගල සමරවීර ඇතුළු කිහිප දෙනකුට ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමේ අවශ්‍යතාවයක් තිබූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉවහල් වූයේත් කිසි ලෙසකින් පරාජය කළ නොහැකි බවට ජාත්‍යන්තරය පවා ප්‍රකාශ කර තිබියදී තිස් වසරක යුද්ධයෙන් රට මුදා ගැනීමට ඉවහල් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බවත් ඔහු සඳහන් කරයි. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා