විවාහ වී වසර නවයහමාරක් ගතවුවද තම කුසින් බිහිවූ දරු පැටියකුගේ සුරතල් මුහුණ දැකගැනීමට ඇයට වාසනාවක් නොවීය. කෙතරම් කාලයක් ගතවුවද දරුවකු පිළිබඳව බලාපොරොත්තුව අත්නොහළ ඈ තවදුරටත් උත්සාහ කළේ කෙසේ හෝ දරුපැටියකු සාදා ගන්නටය. එහෙත් වෛද්‍ය නිරීක්ෂණයට අනුව ඇයට දරුවකු ලැබීමට ඇත්තේ සීමිත වූ ඉඩ ප්‍රස්ථාවකි. නැත්නම් ඒ ඉඩක් නැති තරම්ය.
ඩොක්ටර් මට දිගමට බෙහෙත් ගත්තොත් දරුවෙක් හදාගන්න පුළුවන් වෙයි නේද?
මේ ඇයගේ ඒකායන බලාපොරොත්තුවයි. වෛද්‍යවරු කොතරම් පැහැදිලි කළද ඈතම සිහිනය බිඳගන්නට කැමති නැත. ඇය අපට මුණගැසුණේ පසුගිය දාක ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවකය.
කුලගෙට පිවිසෙන යුවතියකගේ නිසැක බලාපොරොත්තුව දරු සම්පතක් ලබාගැනීම වුවද විවිධ වූ රෝගී තත්ත්වයන් නිසා දරුඵල නොලැබීම වර්තමානයේ විවාපත් කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මෙසේ පීඩා විඳින කාන්තාවන්ගෙන් ඇතැම් පිරිස් හට කළලයක් පිළිසිඳ ගත්තද සුළු කාලයකින්ම එය ගබ්සා වීම්වලට ලක්විය හැකි අතර තවත් පිරිසකට කළලයක් පිළිසිඳ ගැනීම පවා සිදු නොවේ.
විවිධ රෝග අවස්ථා ඇතුළුව තවත් සාධක බොහොමයක්ම දරුවන් හට නොගැනීම කෙරෙහි බලපාන අතර ඒ අතරිනුත් වර්තමානයේදී සුලබවම හමුවන රෝගී අවස්ථාවන් වන්නේ ඩිම්බකෝෂගතව පවතින ග්‍රන්ථි (Polycystic Ovarian Syndrome) එන්ඩ්‍රොමෙට්ට්‍රියෝසිස් හා ගර්භාෂ ගත අර්බුදයි. මේ අතින්ද අද අපේ වෙදකමෙන් කතා කරන්නේ ඩිම්බකෝෂ ගතව පවතින ග්‍රන්ථි හෙවත් Polycystic Ovarian Syndrome යන රෝගී තත්ත්වය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කෞමාරභෘත්‍යය සහ ස්ත්‍රී රෝග අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආයූර්වේද වෛද්‍ය එච්.වී. වක්කුඹුර මහත්මියයි.
යෞවන වයසේ කාන්තාවන් අතර සුලබයි
වර්තමානයේ යෞවන වයසේ පසුවන කාන්තාවන් වැඩි දෙනෙකු පෙළෙන රෝගී අවස්ථාවකි ඩිම්බකෝෂගතව පවතින ග්‍රන්ථි අවස්ථාව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව Polycystic Ovarian Syndrome ලෙසින් හැඳින්වෙන මෙම රෝගයේදී ප්‍රධාන ලෙසම සිදුවන්නේ ඩිම්බකෝෂ ආශ්‍රිතව ගෙඩි හටගැනීමයි. මෙම ගෙඩි භයානක වර්ගයේ හෝ ඉවත්කළ යුතු ගෙඩි ලෙස නොසැලකෙන අතර මේවා නොමේරූ ඩිම්බයි. නිවැරදි ලෙසින් ඩිම්බ නොමේරීම, නිසි කාලයට ඩිම්බ පිට නොවීම මෙම රෝගයේ ස්වභාවයයි.
මුහුණේ වැඩිපුර රෝම වැවීමත් රෝග ලක්ෂණයක්
Polycystic Ovarian Syndrome රෝගයෙන් පෙළෙන කාන්තාවන් විවිධ වූ රෝග ලක්ෂණ කිහිපයක්ම පෙන්නුම් කරයි. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම මෙම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයයි. සාමාන්‍යයෙන් ඔසප් වීම සිදුවන්නේ දින 28කට වතාවකි. එහෙත් එක් එක් කාන්තාවන්ගේ සිරුරේ ස්වභාවය, පාරිසරික තත්ත්වය, ආහාර පාන ඇතුළු තවත් නොයෙකුත් සාධක නිසා මෙම චක්‍රයෙහි යම් වෙනස්වීම් සිදුවිය හැකිය. ඔසප් වී දින තුන හතර රුධිරය පිටවීම සාමාන්‍ය තත්ත්වය වුවද දින 1,2 5,7 රුධිරය පිටවීමද අසාමාන්‍ය නොවේ. එහෙත් ඔසප් නොනැවතී දින ගණනාවක් රුධිරය පිටවීම රෝගී තත්ත්වයකි.
මීට අමතරව මෙම රෝගයට ගොදුරැවන ඇතැම් කාන්තාවන් තරබාරු වීම, බෙල්ල කළු පැහැවීම, මුහුණ ඇතුළුව සිරුරේ ඇතැම් ප්‍රදේශයන්හි අනවශ්‍ය ලෙස රෝම වැවීම ආදිය දැකගත හැකිය. එසේම ඇතැම් අයට ඔසප් සෑදීම මාස තුන හතර ප්‍රමාද වන්නා සේම ඇතැමුන්ට වසරක පමණ කාලයක් වුවද ඔසප් වීම සිදුනොවිය හැක.
කාන්තාවක් මෙවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන අවස්ථාවකදී ඇයගේ ඩිම්බ මේරීමක් සිදුවන්නේ නැති නිසා දරුඵල නොමැති අයට බටහිර වෛද්‍ය ක්‍රමයේ හැටියට සිදුකරන්නේ ඖෂධ ලබාදී හෝ එන්නත් කර ඩිම්බ මේරීමට සැලැස්වීමයි. එහෙත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ස්වභාවිකවම ඖෂධ හරහා එම තත්ත්වය සකසා දෙනු ලැබේ.
ව්‍යායාම නොමැතිකම රෝගයට හේතුවක්
ගෙදර දොරේ වැඩකටයුතුවලට යෞවන වයසේ පසුවන කාන්තාවන් යොමුවන ප්‍රමාණය අද වනවිට බෙහෙවින්ම අඩුවී ඇත. අපි එදිනෙදා සිදුකරන වැඩකටයුතු හරහා සිරුරට අවශ්‍ය ව්‍යායාමයක්ද ලැබෙන අතර ඒ නිසාම ඇතැම් ලෙඩ රෝග වළක්වා ගැනීමේ හැකියාවද ඇත. මෙවැනි රෝගී තත්ත්වයකට ගැහැනු දරුවන් ගොදුරු වීමට මූලික වන එක් හේතුවකි ව්‍යායාම නොමැතිකම. මිරිස් ඇඹරීම, පිටි කෙටීම ආදී සියලු කාර්යයන් ඉස්සර කාලයේදී නිවසේදීම සිදුකරගත් අතර ඒ නිසාම ස්වභාවිකවම කාන්තා සිරුරට විවේකය ලැබුණි. විශේෂයෙන්ම ඩිම්බකෝෂවලට ව්‍යායාම ලැබුණි. නමුත් අද වනවිට එවැනි තත්ත්වයක් නැත.
පයින් යෑම බොහෝදුරට අඩුවීම, එක තැනක වැඩි වෙලාවක් ඉඳගෙන පාඩම් කටයුතුවල නිරත වීම ආදිය වර්තමාන යෞවනියන්ගේ පුරුදු ස්වභාවයන් වන අතර මෙවැනි රෝග තත්ත්වයන් හට ගැනීම කෙරෙහි එය ප්‍රබලවම බලපා ඇත.
පිටි, තෙල් වැඩිපුර ගන්න එපා
අධ්‍යාපනයේ පවතින තරගකාරීත්වය සමග 3 වසරෙන් ඇරඹූ පසු අවසානයේ උසස් පෙළ නිමාවන තෙක්ම දරුවන් ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවකි. මෙම කාර්යබහුලතාවයත් සමඟ තමන්ගේ ආහාර රටාව නිසි ලෙස පවත්වා ගැනීමට බොහෝ දරුවන්ට හැකියාවක් නොලැබේ. ගෙදරින් බත් අරන් ගියත් ඒවා කෑම පවා අතපසු කරන දරුවන් බොහෝවිට සිදුකරන්නේ කෙටිකෑමක් ආහාරයට ගෙන ඉක්මණින් ටියුෂන් පන්ති වෙත දිව යාමයි. මෙම කෙටිකෑමවල බොහෝ විට අන්තර්ගත වන්නේ තෙල් හා පිටියි. පිටිකෑම, තෙල් කෑම වැඩිපුර ආහාරයට ගැනීමද Polycystic Ovarian Syndrome රෝගය ඇතිවීම කෙරෙහි බලපායි. එමෙන්ම ප්‍රෝටීන් අඩංගු ආහාරද, කුකුල් මස්ද වැඩිපුර ගැනීම නුසුදුසුය. මෙවැනි ආහාර පාන ලබාගැනීමෙන් සිදුවන්නේ දැරියන් තව තවත් මෙවැනි රෝගවලට ගොදුරුවීමයි.
නිරවුල් මානසිකත්වය රෝගවලින් මිදීමට ඔසුවක්
මානසික ශක්තිය යනු අප තුළ ඇති බලවත්ම ශක්තියයි. බොහොමයක් රෝග හට ගැනීම කෙරෙහි මානසික තත්ත්වයද ඍජුවම බලපායි. සමාජයේ, අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින තරගකාරීත්වයත් සමග ස්වභාවික ජීවන රටාවන් වෙනස්වීම නිසා අද වනවිට බොහෝ දෙනකුගේ මානසික මට්ටමද පවතින්නේ නිරවුල් නොවන අවස්ථාවකය. මානසික තත්ත්වය නිරවුල් නොවීමෙන් එය හෝමෝන ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් ඇතිකරන නිසා නිරවුල් මානසික තත්ත්වයක් නොමැතිවීමද මෙවැනි රෝග කෙරෙහි බලපායි. විශේෂයෙන්ම මවුපියන්ද මෙහිදී තම දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු වන අතර ඔවුන් රැකියාවට යාම, නිවෙස් කරා ඒමට ප්‍රමාද වීම, දරුවන් මවුපියන් හැමදෙනාම රෑ බෝවී නිවෙස්වලට පැමිණීම, ඉන්පසු මොනවා හෝ දෙයක් ගිල දමා නිදාගැනීම ආදී මේ සෑම දෙයක්ම එකතුවීම හරහා රෝගී වීමේ ප්‍රතිශතය වැඩිවේ.
රෝගය වැඩිවුණොත් දරුඵල නැහැ
මේ වනවිටද Polycystic Ovarian Syndrome රෝගයෙන් පෙළෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර අද දවස වනවිට දක්නට ලැබෙන තවත් ගැටලුවක් වන්නේ මෙම රෝග තත්ත්වය උග්‍ර වී ඊළඟට ඩිම්බ නොමෝරන තත්ත්වයකට පැමිණ හෝමෝන මුළුමනින්ම වෙනස්වීමයි. මෙහිදී FHS හා LH යන හෝමෝන ඉක්මණින් වර්ධනය වීම සිදුවන අතර මෙලෙස මෙම හෝමෝන වැඩිවීමේදී ඩිම්බකෝෂ ක්ෂය වී යාමද සිදුවේ. යම් හෙයකින් කාන්තාවක් එවැනි තත්ත්වයකට පත්වුවහොත් ඇයට දරුවකු හදාගන්නවා තබා ආර්තවයද නිසි පරිදි සිදුවීමට නොහැකිය. එනම් මෙවැනි තත්ත්වයදී ආර්ථවයද සම්පූර්ණයෙන්ම නවතින අතර දරුවකු ලැබීම සිදුවන්නේද නැත. මෙවැනි අවස්ථාවේ පසුවන රෝගීන් වැඩි පිරිසක් මේ වනවිටත් හමුවන අතර වසරෙන් වසරට රෝගීන් සංඛ්‍යාවේද ඉහළ යාමක්ද දක්නට ලැබේ.
ආයුර්වේද ඖෂධවලින් සුවකළ හැකියි
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හරහා සිදුකරන ලද නවතම පර්යේෂණවලට අනුව මෙවැනි තත්ත්වයට පත්වූ රෝගීන් හටද ඖෂධ ලබාදී ඔවුන්ව සුවපත් කිරීමට මේ වනවිට අවස්ථාව උදා වී ඇත. එසේම මෙවැනි රෝගීන්ගේ ආහාර රටාව සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකළ යුතු අතර මස්වර්ග, තෙල්කෑම, පිටිකෑම මොවුන්ට නුසුදුසුයි. මීට අමතරව මෙවැනි රෝගීන් හට ව්‍යායාමයක්ද සිදුකරවීම අවශ්‍ය වන අතර ඖෂධීය ප්‍රතිකාර සිදු කෙරෙන්නේ මේ අනෙකුත් පාලනයන්ද සිදුවන අතරතුරේදීය.
රෝගයෙන් මිදීමට නම්
• තෙල් හා පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකීම.
• එළවළු වැඩිපුර ආහාරයට ගැනීම.
• ආහාරයට ගන්නා බත් ප්‍රමාණය අඩු කිරීම.
• ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම.
හේමමාලා කුමාරි රාජකරුණා