ලෝකය පුරා පැතිර යන පාරිසරික ව්‍යසනකාරී තත්ත්වය කලාකරුවකුගේ දෘෂ්ටිකෝණයෙන් ගෙනහැර දැක්වීමට ගාමිණී කන්දෙපොළ ඉර වර වර නවකතාවෙන් උත්සාහ ගෙන තිබේ.
නවකතාවේ මුඛ්‍ය තේමාව ලෙස, සොබාදහමට පරිසරයට ආදරය කිරීම, පරිසරය රැකගැනීම, මිනිසා සහ පරිසරය සමඟ ඇති සංසාරික බැඳීම, සොබාදහම බිහිකළ මිනිසාට සොබාදහමින් තොර පැවැත්මක් නොමැති බව ආදිය කතුවරයා සිතුවමක් අඳින්නාක් මෙන් සටහන් කරයි.
අතීතාවර්ජනයක් ලෙස ආරම්භ වන නවකතාව එහි නියම ගමන් ලතාව සනිටුහන් කරන්නේ බණ්ඩත්තා නම් වියපත් ගැමි මිනිසා මූලික කරගෙනය. ඒ සමඟ බණ්ඩත්තා හා ඔහුගේ පුත් ජයවීර අතර පවතින සම්බන්ධතාව, මද්දු හා තලෙළු අතර පවතින පිවිතුරු ආදරය, විද්‍යා මහත්තයා හා මන්ත්‍රීතුමා ආදී චරිත ද කේන්ද්‍ර කර ගනිමින් කතාව ගලා යයි.
බණ්ඩත්තාට සැමවිටම සිතුණේ මේ මහපොළොව මිනිසාටත් සතා සීපාවාටත් වඩා ගහකොළටත් ඇළ දොළටත් ආදරය කරන බවයි. මේ සතා සීපාවා, ගහකොළ, ඇළ දොළ හැමදෙයක්ම මහපොළොවේ දරුවන් බව, බණ්ඩත්තා කුඩා කල පටන්ම උගත්තේ ලොකු හාමුදුරුවන්ගේත් වෙද මහතාගේත් කිට්ටුවන්ත ආශ්‍රය නිසාය. මිනිසාටත් සතා සීපාවාටත් වඩා ගහවැලෙත් ඇළ දොළෙත් පණ බලවත්ය.
හොඬවැලෙන් ඉව කරමින් මහපොළොවට රහස් කියන තනියා රූස්ස ගස් කඳන් අසල නවතින විට ගස් කඳන් මැදින් පහතට නැමුණු අත් තනියාගේ පිට අතගාන්නේ ආදරයෙනි. තුරු අත් එහා මෙහා වෙමින් ඔහේ පිට අතගානතුරු තනියා කරබාගෙන කන් තල පොරවාගෙන ඉන්නේ මහමුකලානේ හැමතැනකම තියෙන්නේ ආදරය බව කියන්ට මෙනි.
ජයවීරගේ පුත් මද්දු හා තලෙළු අතර හිරිමල් යොවුන් වියේ ලෙන්ගතු සිතුවම් චමත්කාරජනක ලෙස සටහන් කිරීමට ලේඛකයා සමත් වෙයි.
පලු ගහ මුදුනින් සඳ පායා තිබුණි. මහපෝය ගෙවුණා පමණි. පලු ගහ ඉහළින් සඳඑළිය වැටෙන විට ගම්මැන්ඩියේ ගෙවල් පෙළත් වී අටු තුන හතරත් පෙනුණේ අමුතු චමත්කාරයක් සහිත සිතුවම් පෙළක් ලෙසිනි. මද්දුත් තලෙළු සහ තවත් කොලු කුරැට්ටෝ කිහිප දෙනෙක් සඳඑළියේ පලු ගහ යට හේමලයන් පාගමින් විනෝද වූහ.
සොබාදහම, සතා සීපාවා සහ මිනිසා අතර පවතින සබැඳියාව සනාථන දහමක් ලෙස පවතිද්දීම ගම තුළම ධනවාදී අර්ථක්‍රමයේ සහ විද්‍යාවේ නවීන අදහස් කාන්දු වනු පෙනේ. පසුගිය වසර ගණනාවක කාල පරාසයක සිට අධ්‍යාපනය ඇතුළු සමාජයේ සෑම අංශයකම මෙම වෙනස්කම් කැපීපෙනෙන්නට විය. මෙම නවකතාවේ එය බණ්ඩත්තා හා ජයවීර අතර පිය පුතු ගැටුමක් ලෙස පිටතට පැමිණෙයි.
ජීවිතේ නිදහස සොයා වෙනස් දේ කරන ජයවීර සිතූ ලෙස සියල්ල සිදු වූයේ නැත. දූෂිත දේශපාලනඥයන්ගේත්, කපටි විද්‍යා මහත්තයාගේත් බහට රැවටී ඔහු දඩමිව්වකු බවට පත් විය. දූෂිත දේශපාලනඥයා හා කපටි විද්‍යා මහත්තයා ගම්මු බිල්ලට ගනිමින් ටික කලකට හෝ ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට සමත් වූහ.
සෑම ක්‍රියාවකින් අනතුරුව ප්‍රතික්‍රියාවක් ඇති බව සනාථ කරමින්, ජයවීරගේ සහභාගීත්වයෙන් ගමට පැමිණි නවීනත්වය හේතුවෙන් ගමේ පාසලෙන් නගරයේ පාසලට ගිය ජයවීරගේ පුතා වූ මද්දු බලාපොරොත්තුවේ පහන දල්වා ඇත. මද්දු නරගයේ පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස වාරාවසාන විභාග උසස් ලෙස සමත් වෙමින් ඉදිරියට යයි. ඔහු වරක් පළාත් පාසල් රචනා තරගයකදී ජ්‍යෙෂ්ඨ අංශයෙන් ඉදිරිපත් වී පරිසරය මාතෘකාව යටතේ ගියූ රචනය ප්‍රථම ස්ථානය හිමිකර ගනී. මද්දු රචනය ලියන්නේ මෙසේය.
මිනිසා සහ පරිසරය ගහට පොත්ත මෙන් එකිනෙකට බැඳී පවතින්නකි. මේ කිසිවකට එකිනෙකාගෙන් තොර පැවැත්මක් නැත. ගහකොළ ඇළ දොළ සතා සීපාවාගෙන් තොරව මිනිසාට පැවැත්මක් කොයින්ද?
මේ බණ්ඩත්තා පැතූ ලෝකයයි. ජයවීර පැතූ ලෝකය නොවේ.
මද්දු ජීවිතයේ හිමි අහිමි දේ එක සේ දරාගනිමින් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට දිසාපතිවරයකු ලෙස ගමට පැමිණ රාජකාරි අරඹයි.
නවකතාව අවසානය සනිටුහන් වන්නේ දූෂිත දේශපාලනඥයා සමාජය හමුවේ එළිදරව් වෙමින් කපටි විද්‍යා මහත්තයා අනුන්ට කැපූ වළේ වැටී මරැ කැඳවා ගනිමිනි.
නවකතාව පුරාම මිත්‍යාවත්, විද්‍යාවත් වර නැගෙතත් එයින් කිසිවක් තහවුරු වීමක් නොදැනෙයි. ඉන් ගම්‍ය වන්නේ කතුවරයා සමාජ චලනයන් දෙස මධ්‍යස්ථව හා විචක්ෂණශීලීව නිරීක්ෂණය කිරීමට තරම් ශක්‍යතාවක් දක්වන බවයි.
කතුවරයා භාෂා භාවිතයේදී දක්වන හෘදයාංගම බව නවකතාව පුරා දැකිය හැකිය. එය පාඨකයා නවකතාව කෙරෙහි ආශක්ත කර ගැනීමටත් හේතුවකි.
ඉර වර වර මරදාන සූරිය ප්‍රකාශනයකි.
සරත් කෝදාගොඩ