2020 ජනවාරි 25 වන සෙනසුරාදා

කෙටිකතා කියවීම අමාරුයි කියා සමහරු හිතනවා

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 338

- ප්‍රවීණ ලේඛිකා සුමුදු නිරාගි සෙනෙවිරත්න

සුමුදු නිරාගි සෙනෙවිරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇය ලියූ දූල්වල අලංකාරේ නවකතාව 2016දී හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේය. ඇගේ ගිහින් එන්න කානිවල් කෙටිකතා පොත 2017 දී හොඳම කෙටිකතා පොත ලෙස රජත පුස්තක හා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගැනීමට සමත් විය. සුමුදුගේ නවතම සාහිත්‍ය නිර්මාණය විදර්ශන ප්‍රකාශනයක් ලෙස පළවූ සිතුවමෙන් නෙරපූ කිඳුරෙක් කෙටිකතා  සංග්‍රහයයි.

සිතුවමෙන් නෙරපූ කිඳුරෙක් පොත ගැන අපට කිව්වොත්?

සමකාලීන සමාජයේ විවිධ ඉසව්වල පවතින ඛේදනීයභාවය මේ කෙටිකතා සංග‍්‍රහයේ කතා කිහිපයකින්ම නිරෑපණය වෙනවා. එහිදී ඇතැම් කතා උත්ප‍්‍රාසවත් බවකින් යුතුව ගොඩනගන්නයි මම උත්සාහ කළේ. ප‍්‍රතිනිර්මාණ විධි අතින් ගත්තොත් ඇතැම් කතා තාත්වික යථාර්ථවාදය ඉක්මවා ගොස් ඇති බව කියන්න පුළුවන්.

මෙහි සමහර කෙටිකතාවකට ඔබ, ඔබේ මව ලියූ කෘතියක් පාදක කරගෙන තිබෙනවා. (තිවත) එලෙස කතාවක් රචනා කිරීමට සිතුණේ ඇයි?

ලේඛකයෙකුට අත්දැකීම් ලැබෙන විවිධ ක‍්‍රම තියෙනවා. මේ කෙටිකතාවට පාදක වුණේ අපි අත්විඳි සැබෑ සිදුවීමක්. එහිදී වැදගත් වුණේ ඒක මගේ අම්මාගේ නවකතාවකට අදාළ වීම නෙවෙයි. ඒ සිදුවීම පාදක කරගෙන කිසියම් අන්තර් දෘෂ්ටියක් සැපයිය හැකි කෙටිකතාවක් රචනා කරන්නට පුළුවන් කියා මට අදහසක් පහළ වීමයි. මේ කෙටිකතාවට විෂය වූ මූලික සිදුවීම, ඒ කියන්නේ මගේ කෙටිකතාවේ එන පරිදි ගජනායක කෞතුකාගාරයේදී මුහුණ දෙන අත්දැකීම හෙළි කළේ තිවත කියවා අම්මාව දුරකථනයෙන් ඇමතූ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පාඨකයෙක්. එය සත්‍ය සිද්ධියක්. තීන්දු තීරණ ගැනීමේදී ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින සීමා, පටු චින්තනය හා ගතානුගතිකත්වය යනාදිය ඉන් ඉස්මතු කරන්නට හැකි යැයි සිතූ නිසයි ඒ ආශ‍්‍රයෙන් කෙටිකතාවක් රචනා කළේ.

ඔබ ලියූ පොත් දෙකම සම්මානයට බඳුන් වුණා. සම්මාන ලැබීම ලේඛකයන්ට දිරියක් නොව කැරට් අලයක් දීමක් බව සමහර විචාරකයන් පවසා තිබුණා. ඒ ගැන අදහස කුමක්ද?

ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් විවිධයි. ඇතැම් අය එහෙම හිතනවා ඇති.

කෙටිකතා කියවන පාඨකයන් අඩු බවට මැසිවිල්ලක් නැගෙනවා. ඔබ සම්බන්ධයෙන් එය සත්‍යයක්ද?

නවකතා හා කෙටිකතා කියවන පාඨක ප‍්‍රමාණය ගැන අදහසක් ඇති කරගන්නේ විකිණෙන පොත් ප‍්‍රමාණය අනුව නම්, නවකතාවලට වඩා අඩු ප‍්‍රමාණයකින් තමයි කෙටිකතා පොත් අලෙවි වෙන්නේ. කෙටිකතාව කියන සාහිත්‍ය මාදිලියේ තියෙන විශේෂත්වය බොහෝ දෙනෙක් හරිහැටි වටහාගෙන නැති බවයි පෙනෙන්නේ. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. 

අපේ පාඨකයින් බහුතරයක් නවකතා මෙන්ම කෙටිකතා කියවීමේදීත් ‘කතාව තේරුම් ගැනීම’ කියන දෙය ගැන සලකනවා. හැබැයි, මේ ‘කතාව තේරුම් ගැනීම’ කියන දෙය විවාදාත්මක අදහසක් බවත් සඳහන් කළ යුතුයි. කතාවක් ‘තේරුම්ගන්නා’ ප‍්‍රමාණය හා විදිහ පාඨකයාගෙන් පාඨකයාට වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. නවකතා ‘තේරුම් ගැනීම’ වඩා පහසුයි කියලා පාඨකයින් අදහස් කරනවා ඇති කියල මට හිතෙනවා. මොකද, බොහොමයක් සිංහල නවකතා යථාර්ථවාදීයි. ඒ නිසා ඒවා කතා වස්තුව මත රඳා පවතිනවා. ඒවායේදී එදිනෙදා ජීවිතය ගොඩනගනවා. කියවීමේ කාර්යයේදී කෙටිකතාවේදී තරම් විශාල අභ්‍යාසයක යෙදෙන්න පාඨකයාට සිදුවන්නේ නෑ. 

කෙටිකතා කියවීමට වඩා නවකතා කියවීම පහසු බවට සමහර පාඨකයන් සිතනවා නේද?

ඔව්. එහෙම අදහසක් පැවතීමට ඉඩ තිබෙනවා. කෙටිකතාවේ පවතින විශේෂ ව්‍යුහමය ස්වරෑපය නිසා එහි නිරූපණ කාර්යයට සංකේත, ප‍්‍රබන්ධමය රෑපක, භාෂාවෙන් ගොඩනගන යටි අරුත් ආදිය අතිශයින් වැදගත්. එහිදී පාඨකයා අතින් ඒවා ගිලිහුණොත් අර කී ‘තේරුම්ගැනීම’ නිසියාකාරව සිදුවෙන්නෙ නැහැ. එතකොට ඉතිරි වෙන්නෙ ගැටලුවක්. ඒත් නවකතාවක් කියවීමේදී සංකේත, රූපක යනාදිය මගහැරැණත් සෑහෙන දුරට කතාව තේරැම්ගන්න පුළුවන්. නිදසුනක් ලෙස අපි වැඩි දෙනෙක් කියවා ඇති ගම්පෙරළිය ගත්තොත්, හිරිගල හා මහගෙදර කියන්නේ සංකේත බව වටහා නොගන්නා පාඨකයෙකුට වුණත් කතාව තේරැම්ගන්නට බාධාවක් නෑ. 

අපේ නිර්මාණ සාහිත්‍යය අතරින් වඩාත් ඉහළ මට්ටමක ඇත්තේ නවකතා නොව කෙටිකතා බවට විචාරක මත පළවී තිබෙනවා. ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද?

කෙටිකතාව කියන ආඛ්‍යාන මාදිලිය කලාත්මක වශයෙන් ඉතා බහුවිධයි. විචිත‍්‍රයි. විවිධ අත්හදාබැලීම්වලට ලේඛකයින්ව පොළඹවනසුලු ගතියක් කෙටිකතාවේ තියෙනවා. මේ තත්ත්වය මනාව අවබෝධ කරගත්, දැනට ඉන්නා වැඩිහිටි පරම්පරාවේ කෙටිකතාකරුවන් ප‍්‍රතිනිර්මාණ තාක්ෂණය අතින් සිංහල කෙටිකතාව ඉහළ තලයක තබා තියෙනවා. කෙටිකතා රචනයට පිවිසෙන නවකයින්ටත් එය හොඳ මග පෙන්වීමක්. සිංහල නවකතාවට සාපේක්ෂව සිංහල කෙටිකතාවේ වර්ධනය වේගවත්. කෙටිකතාවේ තියෙන මේ සජීවී හා ගතිකවත්භාවය නිසා වෙන්න ඇති කෙටිකතාව පෙරමුණේ සිටින බව පෙනෙන්නේ.

මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, කේ. ජයතිලක, ඇරැව්වල නන්දිමිත්‍ර වැනි අපට සිටි ප්‍රවීණ ලේඛකයෝ අඛණ්ඩව කෙටිකතාවේ නිරත වී සිටියා. නමුත් අද ලේඛකයන් හිටි ගමන් කෙටිකතාවෙන් ඉවත්ව යන බව නිරීක්ෂණය වෙනවා නේද?

කෙටිකතාවේ පමණක් නොවෙයි නවකතාවේත් කවියේත් මේ තත්ත්වය තිබෙනවා. නිර්මාණකරුවන් සියල්ලෝම ස්ථාවර වන්නේ නෑ. සෑම ලේඛක පරම්පරාවකින්ම පෙරමුණට එන්නේ කිහිප දෙනෙක් පමණයි. තමා තෝරාගන්නා සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ අඛණ්ඩව රුඳීමට හෝ නොරුඳීමට ඔවුන්ගේ පුද්ගලික සාධක සේම සමාජීය පසුබිම් සාධකත් හේතු වෙනවා ඇති.

- කුසුම්සිරි

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00