අද වෙළෙඳපොළේ විවිධ විශේෂණ නම්වලින් හැඳින්වෙන ආහාර ද්‍රව්‍ය රැසක් පවතී. උදාහරණ ලෙස සුපිරි සම්බා සහල්, ගෝල්ඩ්.... විස්කෝතු, ස්මාර්ට් කෑම වර්ග, රන් නාමය තේ, වැනි නම්වලින් හැඳින්වෙන ආහාර ද්‍රව්‍ය රැසක් තිබේ. 1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කරන ලද සාමාන්‍ය ගැසට් පත්‍රය යටතේ 2005 ආහාර (ලේබල් සහ ප්‍රචාරණ) රෙගුලාසි යටතේ එම ආහාරවල එවැනි ගුණාත්මකභාවයක් විද්‍යාත්මකව සනාථ කර නොමැති නම් එවැනි විශේෂණ නම් ආහාර නිෂ්පාදනවලට යොදාගැනීම පාරිභෝගිකයා නොමඟ යවන සුළුය. එබැවින් එවැනි සුපිරි බව හැඟවෙන පරිදි නම් යෙදීම ඉහත කී ගැසට් පත්‍රයට පටහැනි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය සඳහන් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයන් නොමඟ යවන සුළු නාමයන් භාවිත කිරීම නතර කිරීමට සිදුවනු ඇත.
සමාගම්වලට තම නිෂ්පාදන නම් කිරීමේදී නොමග යවන සුළු වචන භාවිත කළ නොහැක. එමගින් පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට කිසිදු හානියක් නොවිය හැකි නමුදු එය රැවටිලිකාර ක්‍රියාවක්. උදාහරණයක් ලෙස, ‘සුපිරි සම්බා’ සහල් තිබිය නොහැකියි. එය සම්බා සහල් පමණයි” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ අතිරේක සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ මහතා මාධ්‍යයට සඳහන් කර තිබේ.
කිසිදු සමාගමකට සෞඛ්‍යයට සම්බන්ධ වදන් කිසිදු ආකාරයකින් භාවිත කළ නොහැකිය. තම නිෂ්පාදනයේ සුපිරි තත්ත්වයක් පවතින බව විද්‍යාත්මකව සනාථ කිරීමට හෝ එසේ නොහැකි නම් එම විශේෂණ නම් වෙනස් කිරීමට හෝ මාස තුනක සහන කාලයක් සහල් නිෂ්පාදකයන් වෙත මේ වන විටත් ලබා දී ඇතැයි පැවසේ. එහෙත්. සුපිරි තත්ත්වය ප්‍රදර්ශනය වන නම් භාවිත කිරීමට කැමති සමාගම් තම නිෂ්පාදනවල ඇති ගුණාත්මකභාවය පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම් සමඟ තම ඉල්ලීම ආහාර පාලන පරිපාලන ඒකකයට ඉදිරිපත් කළ යුතු අතර එහිදී විශේෂඥයන් සහ නිලධාරීන් පැහැදිලි කිරීම් සොයා බලා අවශ්‍ය අනුමැතිය ලබා දීමට පියවර ගැනීමට නියමිතය.
2005.01.19 දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 1980 අංක 26 දරන ආහාර පනත පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයේ මේ සම්බන්ධයෙන් මෙලෙස සඳහන් වේ. යම් ආහාරයකට අදාළ ලේබලයක ඒ ආහාරය මිලදී ගන්නා හෝ පාරිභෝගිකයා රවටන හෝ නොමග යවන ආකාරයට ඒ ආහාරය පිළිබඳ ව්‍යාජ හිමිකම් පෑමක් හෝ නොමග යවන සුළු විස්තරයක් අන්තර්ගත නොවිය යුතුය. කිසිදු ආහාරයක් සාවද්‍ය හෝ නොමග යවන සුළු හෝ වංචනික ලෙස හෝ එහි ගති ලක්ෂණ සම්බන්ධයෙන් කවර ආකාරයකින් හෝ සාවද්‍ය හැඟීමක් ඇතිකරන ආකාරයෙන් විස්තර කිරීම හෝ ඉදිරිපත් කිරීම නොකළ යුතුය. යනුවෙනි.
වසර 15කට පසු මෙම ගැසට් පත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීමෙන් ප්‍රමුඛ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයන් කිහිප දෙනකුගේම වෙළෙඳ නාමවලට බලපෑමක් එල්ල වීමට ඉඩ තිබේ. වසර 15කට පසු 2005 ආහාර (ලේබල් සහ ප්‍රචාරණ) රෙගුලාසි සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හේතු වී ඇත්තේ එක්තරා ආහාර නිෂ්පාදන සමාගමක් හා ආහාර පාලන පරිපාලන ඒකකය අතර පවතින අධිකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නිසා යැයි පැවසේ.
මින් දෙවසරකට පමණ ඉහත එක්තරා සමාගමක් මගින් නිපදවන නූඩ්ල්ස් වර්ගයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, එම නූඩ්ල්ස් පැකට්ටුවට යොදා ඇති නම පාරිභෝගිකයන් නොමග යවන සුළු බවටය. එම පැමිණිල්ල අනුව එම නිෂ්පාදනයේ නම වෙනස් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය එම ආයතනයෙන් ඉල්ලා සිටියේය. එහෙත් නම වෙනස් කිරීම ප්‍රතික්ෂේප කළ එම ආයතනය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. එහිදී එම ආයතනය පරාජයට පත් වූ අතර යළිත් නඩුවක් ගොනු කර තිබේ. එම නඩුවේදී, අභියාචනාධිකරණයේ මතය වූයේ එවැනි නම් වෙනස් කිරීමක් කරන්නේ නම් එය එක් සමාගමකට පමණක් නොව සියලු ආහාර නිෂ්පාදන සඳහා සිදු කළ යුතු බවටය. වසර 15කට පසු එම පනතට අනුව කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය තීරණය කර ඇත්තේ ඒ අනුවය.
සුපිරි නම් භාවිතය සාධාරණීකරණය කිරීමට අපොහොසත් වන සමාගම් සහ නිෂ්පාදන සඳහා එම නාමයන් ඉවත් කිරීම සඳහා මාස තුනක සහන කාලයක් ලබා දීමට නියමිතය. මාස තුනක සහන කාලයෙන් පසුව වුවද අවශ්‍යතාවයට අනුකූල නොවන සමාගම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි ආහාර පාලන පරිපාලන ඒකකය පවසයි.
විශේෂ වාර්තාකරුවකු විසිනි