2020 ජනවාරි 25 වන සෙනසුරාදා

වැඩතහනම්වූ මහාධිකරණ විනිසුරුගේ හඬපට කතාව

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 240

විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග
අධිකරණ ක්ෂේත්‍රයට අභියෝගයක්

 

පසුගියදා රන්ජන්ගේ හඬපට අවුල හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් විය. එය මෙතෙක් රන්ජන්ගේ අන්දෝලනාත්ම හඬපට හරහා ඇතිවූ ප්‍රබලතම පසු කම්පනය ලෙස සැලකිය හැකිය. හඬපට අවුලට සමගාමීව බොහෝ අර්බුද අධිකරණ ක්ෂේත්‍රයේ දැන් නිර්මාණය වී තිබේ. ඒ අනුව ගිහාන් පිලපිටිය මහතාට අමතර බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල, විශ්‍රාමික කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ තවත් පරිස් මෙම හඬපට අවුලේ පැටලී සිටිති. මේ අතර පසුගිය අඟහරුවාදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී කීවේ තමා සමඟ සංවාදයේ යෙදුණු තවත් විනිසුරුවරුන් අගවිනිසුරුවරුන් සිටින බවයි. ඒ අනුව තත්ත්වය තවදුරටත් බරපතළ වෙමින් පවතින බව පෙනීයයි.

මෙහිදී අප ප්‍රමුඛ අවධානය යොමු කරනුයේ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධ සිදුවීම් පෙළ වෙතයි. ආසන්න වශයෙන් මෙම කතාව අනාවරණය වන්නේ හිටපු ඇමති එම්.එච්.එම්. ෆවුසි මහතා සම්බන්ධ නඩුවක් පිළිබඳ හඬපටයක් මාධ්‍යට අනාවරණය වීමත් සමඟිනි. කෙසේ වෙතත් ඊට සමගාමීව රන්ජන් රාමනායක මහා අධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට බලපෑම් කිරීම සම්බන්ධ අතීත කතාවද කරළියට ආවේය. මේ වනවිට ඒ සම්බන්ධ විමර්ශනද ආරම්භ වී ඇත. ඒ අනුව මෙතෙක් රටට රහසක් වූ බොහෝ දෑද හෙළිවෙමින් පවතී. පොලිස් ආරංචි මාර්ග ඇසුරෙන් අපිද මෙම කතාව නිවැරදිව ගලපා ගැනීමට උත්සාහ කෙළෙමු.

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි අටවැනි දින බලයට පත්වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනතුර දැරුවේ ගිහාන් පිලපිටිය මහතායි. 2014 වසරේ පිලපිටිය මහතා එම තනතුරට පත්ව සිටියේය. ඒ මහතා මෙලෙස බලපෑම්වලට ලක්වීම ආරම්භ වූ බව පැවසෙන්නේ 2015 ආණ්ඩු මාරුවෙන් මාස තුනකට පමණ පසුවය. යහපාලන ආණ්ඩුව පවතිනවිට නඩු විභාගකළ යුත්තේ මෙසේ යැයි කියමින් මුලදී ඇමතුම් ලැබෙන්නට පටන්ගෙන තිබේ. පසුව එම ඇමතුම් තර්ජනාත්මක ඇමතුම් බවට පත්ව ඇත. ගිහාන් පිලපිටිය මහතා පැමිණිලිකර ඇති පරිදි මෙම තර්ජන විටෙක ඔහුගේ දරුවන් පවා ඉලක්ක කොටගෙන සිදුව තිබේ. තවත් විටෙක විනිසුරු සරත් අඹේපිටිය වෙච්ච දේ වෙන්න පුළුවන් බව තර්ජකයන් සිහිගන්වා ඇති බව කියැවේ.

මේ සම්බන්ධ ගිහාන් පිලපිටිය මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරනුයේ 2015 ජූලි මාසයේදීය. හෙළිවෙමින් පවතින තොරතුරු අනුව රන්ජන් රාමනායක මෙම කතාවට මැදිහත් වීමට පටන්ගෙන ඇත්තේ 2015 ජනවාරි මාසයත් ජූලි මාසයත් අතර කාලයේදීය. මේ අනුව ඔහු පළමුව ඇමතුම “මම කතාකරන්නේ රන්ජන් රාමනායක” කියා හඳුන්වාගත් නමකින් විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට ලබාදී තිබේ. “ඔයා රාජපක්ෂවාදියෙක්, අපි යහපාලනය එක්ක සුහදව ඉදිදිරියට යමු. එහෙම නොකළොත් කරදර හිරිහැර කරන්න බලාගෙන කට්ටියක් ඉන්නවා. මම තමා ඒ අයව නවත්තගෙන ඉන්නේ” මෙම ඇමතුමේදී මතුවී ඇත්තේ මෙවන් අදහසකි. කෙසේ නමුත් විනිසුරුවරයා “මම යුක්තිය ඉෂ්ඨකරනවා, මට දේශපාලනයක් නෑ. නඩුව තීරණය වෙන්නේ අධිකරණයට එන සාක්ෂි අනුව” කියා රන්ජන් රාමනායක නමින් ඇමතූ අයට පවසා ඇති බව කියැවෙයි.

මෙම ඇමතුමෙන් පසු දිනක නැවතත් විනිසුරුවරයා ඇමතූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා උසාවියට ගල් ගහයි, ගිනි තියයි, වැනි කතා විනිසුරුවරයාට පවසා තිබේ. “ඔබතුමාට කොළඹ ඉන්න එක පහසුයිනේ අනුරාධපුරේ පොළොන්නරුවේ යනවට වඩා...” වැනි කතා කියා ඇතිව බවද කියැවෙයි. මේ ආදී සිදුවීම් අතරේ ගිහාන් පිලපිටිය මහතා උසාවියේ ආරක්ෂාව භාර සාජන්වරයා අමතා අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව තරකරන ලෙසට උපදෙස් දී තිබේ. මේ අතර කාලයේ සිදුවූ තවත් විශේෂිත සිදුවීමක් පිළිබඳවද පොලිස් ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබුණි.

මෙම වකවානුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ පාපොච්චාරණය කළ සැකකරුවකු ගිහාන් පිලපිටිය මහතා ඝාතන කිරීමේ සැලැස්මක් පිළිබඳ හෙළිදරව්වක් සිදුකර තිබේ. එසේම එවකට මාරවිල දිසා විනිසුරුවරිය හමුවේද සැකකරුවෙකු මෙවන් ඝාතන සැලැස්මක් සම්බන්ධව පාපොච්චාරණ කර ඇත. මෙම විනිසුරුවරියන් දෙදෙනාම මෙම තත්ත්වය පිළිබඳ ගිහාන් පිලපිටිය මහතා දැනුවත් කර ඇත. විනිසුරුවරයාට ඇතිව තිබෙන තත්ත්වය බරපතල බව මේ සමඟ හොඳින්ම අවබෝධ වී ඇත්තේ ඉන් අනතුරුවය . මෙවන් අවස්ථවකදී සිදුකළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ දැනගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයකුගෙන් ඔහු තොරතුරු විමසා ඇත. එසේම මේ සමයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයකු වූ ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන්ද ඇතිවී ඇති සම්බන්ධව ගිහාන් පිලපිටිය මහතා උපදෙස් පතා ඇත. ඔවුන් දෙදෙනාම විනිසුරැවරයාට පවසා ඇත්තේ වහාම පොලිස්පතිවරයාට දන්වා පරීක්ෂණයක් ඉල්ලා සිටින ලෙස සහ අධිකරණ සේවා කොමිසමට මේ සම්බන්ධ ලිඛිතව දන්වන ලෙසයි.

ඒ අනුව 2015 ජූලි මාසයේදී විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අධිකරණ සේවා කොමිසමට මේ සම්බන්ධ ලිඛිතව දන්වා එවක පොලිස්පතිවරයාද දැනුවත් කොට ඇත. මෙම වකවානුවේද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරයා වෙත කතා කරමින් විවිධ නඩු කටයුතු සම්බන්ධ බලපෑම් කළ බව ඔහු කියා ඇත. එහෙත් උපක්‍රමශීලීව මිත්‍රශීලීව රන්ජන් රාමනායක මගහරිමින් කල්මරමින් සිය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බාධාවක් ඇතිකොට නොගෙන තමා කටයුතු කළ බව විනිසුරුවරයා වර්තමාන පොලිස් පරීක්ෂණවලදී පවසා ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ වෙතත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරයා දිගින් දිගටම තමන්ට අහුම්කන් නොදීම නිසාවෙන් පාරිලිමේන්තුවේදී ඔහුගේ නම සඳහන් කරමින් විවේචන සිදුකොට ඇත.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ  හිටපු ඇමැති පවුසි මහතා රිමාන්ඩ් කරන ලෙසටද ගිහාන් පිලපිටිය මහතාහට බලපෑම් එල්ල වී ඇතැයි සඳහන් වෙයි. මේ සමයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාග වූ නඩු පිළිබඳවද මෙහිදී සිහිපත් කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ නඩු හමුදාපතිවරුන් සහ රණවිරුවන් සම්බන්ධ නඩු ඒ අතරින් ප්‍රධානය. ඊට අමතර වන අලි සම්බන්ධ සුප්‍රසිද්ධ නඩුව, බුද්ධි නිලධාරියකු සම්බන්ධ ප්‍රකට නඩුව සහ විපක්ෂ දේශපාලකයන් භික්ෂූන් සම්බන්ධ නඩු ඒ අතරින් ප්‍රධානය. මේ බොහොමයක් නඩු දේශපාලන තේමා ඔස්සේ මෙරට මාධ්‍යයේ දැඩි අවධානයට යොමුවී තිබුණි. රන්ජන් රාමනායක විසින් මෙම නඩුවලට අදාළව පිරිස් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම සම්බන්ධ ඉල්ලීම් රැසක් විනිසුරුවරයා වෙත ඉදිරිපත්ව තිබූ බවද කියැවෙයි.

මීට අමතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැවරූ නඩු සම්බන්ධයෙන් එවකට එහි ඉහළ තනතුරක් දැරූ කෙනෙක් විනිසුරුවරයා අමතා ඇත. විටෙක ඔහුගේ නිල නිවසට පැමිණි ඒ අය එක් නඩුවකට අදාළව පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඉල්ලා සිටි බව කියැවේ. මෙම බොහෝ නඩු රන්ජන් රාමනායක විසින් බලපෑම් එල්ලකරන ලද නඩු වීම සුවිශේෂිතය. මේ අතර එවක පොලිස්පති ඉලංගකෝන් මහතාගෙන් සිදුකරන ලද ඉල්ලීම අනුව ගිහාන් පිලපිටිය මහතාට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධ පරීක්ෂණයක්ද මේ සමයේ ක්‍රියාත්මක විය. සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් එම විමර්ශන සිදුකොට ඇත. මේ වනවිට එම විමර්ශනයට අදාළ නිලධාරීන්ගෙන් වර්තමාන විමර්ශන සඳහා තොරතුරැ ලබාගන්නා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ ආදී අර්බුද රුසක් සමඟ ඉදිරියට ගිය යහපාලන රජයේ මුල් වසර නිමාවනවිට 2016 වසරේදී පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අනුරාධපුරයට මාරැවක් ලැබී ඇත. කෙසේ වෙතත් විනිසුරැවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් ඉක්බිති හොරණ දිසා විනිසුරු ලෙස ඔහුට පත්වීමක් ලැබී තිබේ. පසුකලෙක එහි සේවය කරන අතරතුර උසස්වීමක් ලැබී ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරැ පිලපිටිය මහතා ලෙස පත්විය. රන්ජන් රාමනායක හඬපට අවුල ඇති වනවිටත් ඒ මහතා සේවය කරමින් සිටියේ ඇඹිලිපිටිය මහාධිකරණයේය.

හඬපට අර්බුදය සමඟ විනිසුරුවන්හට චෝදනා එල්ල වනවිට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය දා අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ. ඒ අනූව මාධ්‍යය තුළ සංස්කරණ වන හඬපට හමුවේ ලාංකීය අධිකරණ ක්ෂේත්‍රය මුහුණදුන් අභියෝගය සුළුපටු නොවේ. ජනාධිපති නීතීඥවරුන්ගෙන් මෙන්ම නීතීඥ සංගම්වලින්ද හඬපට අර්බුදය හමුවේ විශාල බලපෑමක් එල්ල විය. විනය පරීක්ෂණ මෙන්ම ඉක්මන් පියවර ගැනීමේද අවශ්‍යතාවය මතුවූයේය.ඒ අනූවය
පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් පසුගියදා අධිකරණ සේවා කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත සිය නිර්දේශ යොමු කළේය. අදාළ නිර්දේශ සඳහා ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබාදීමෙන් පසු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කිරීම සිදුවිය. ඊට අමතර ගිහාන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ ජනවාරි 09 වැනි දින ගිහාන් පිලපිටිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ විමර්ශනවලට අදාළවය. පසුගිය බ්‍රහස්පතින්දා නීතිපති දප්පුල ද ලිෙව්රා මහතා ෙකාළඹ අපරාධ ෙකාට්ඨාසයට විෙශ්ෂ නිෙයා්ගයක් කරමින් සඳහන් කළේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මෙයට අදාළ විමර්ශනයක් පැවැත්වෙන නිසාවෙන් අප මෙම ලිපියේදී අපගේ උපමාන ඉදිරිපත් නොකළෙමු. එසේ නමුත් අධිකරණයේ ස්වාධීන බවත් නීතියේ විශ්වාසනීය බවත් සමස්ත මහජනතාවගේ සුරක්ෂාව බව අපි සිහිකරමු. එම නිසාම යුක්තිය යනු සමස්ත රටවැසියාම මේ මොහොතේ බලාපොරොත්තු වන ඒකායන පැතුමයි. 

 චමිඳු නිසල් ද සිල්වා