මෙතෙක් කල් සමූපකාරිකයන් සහ දිළිඳු ජනතාව සතුව පැවති සණස සංවර්ධන බැංකුව එහි කොටස්, කොටස් වෙළෙඳපොළේ අලෙවි කිරීම මගින් ක්‍රමයෙන් පෞද්ගලික ජාවාරම්කරුවන් අතට පත් කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් දියත් කරමින් පවතින බවට එහි වෘත්තීය සමිති චෝදනා කරයි.
සණස බැංකුව ක්‍රියාත්මක වනුයේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙසටය. එහි අරමුණුගත සේවා සපයන ක්ෂේත්‍රය සමූපකාරික ක්ෂේත්‍රය වේ. 1997 වසරේදී මෙය පිහිටුවා ඇත්තේ සණස ණය දෙන සමිතිවල බැංකුකරුවා ලෙස වන අතර සණස ණය දෙන සමිති තම සාමාජික මුදලින් ලබාගත් කොටස් හරහා මෙම බැංකුව ස්ථාපිත වී තිබේ. සණස කොටස් හිමියන් 40,000කට ආසන්න අතර කොටස් වටිනාකම රුපියල් මිලියන 56කි. කිසිදු බැංකුවක මෙවැනි වටිනාකමක් නැත.
මෙහි ප්‍රථම සභාපතිවරයා ලෙසට එහි නිර්මාතෘ පී.ඒ. කිරිවන්දෙණිය මහතා කටයුතු කළ අතර ඊටපසු වසරින් වසර සභාපතිවරුන් මාරුවීම සිදුවේ. සම්ප්‍රදායක් වශයෙන් සමූපකාරිකයන්ගෙන් බාහිර අය මෙහි සභාපතීත්වය නොදරති. දැනට සභාපති තනතුර දරන්නේ නිර්මාතෘ කිරිවන්දෙණිය මහතාගේ දියණිය වන සමාදානි කිරිවන්දෙණිය මහත්මියයි. ඇයගේ ධූර කාලය ලබන මාර්තු මාසයේ අවසන් වීමට නියමිතය.
මෙම බැංකුව දියකර හැරීමේ අරමුණෙන් 2012 වසරේදී කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කර ඇති අතර ඒ හරහා ව්‍යූහාත්මක වෙනසක් සිදුවෙමින් පැවති බවට චෝදනා එල්ල වෙයි. මෙම තත්ත්වය නිසා කොටස් හිමි සමූපාකාරිකයන් මෙන්ම සේවකයෝ විශාල අර්බුදයකට ලක්වෙමින් සිටිති.
බැංකුව සහ සේවකයන් පත්වී ඇති ඉරණම ගැන දේශය පුවත්පතට කරුණු ඉදිරිපත් කරන ලංකා බැංකු සේවක සංගමයේ උප ලේකම් සහ සණස සංවර්ධන බැංකු ශාඛා සංගමයේ ලේකම් ධනුෂ්ක කුමාරසිංහ මහතා මෙසේ ද කියයි.
“2012 වසරේදී සණස සංවර්ධන බැංකුව කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කළාට පසු අර්බුදයකට ලක්වෙමින් තියෙනවා. එයට හේතුව සමූපකාර සමිතිවලට පමණක් අයත්ව තිබූ කොටස් පෞද්ගලික ව්‍යවසායකයන්ට ද ලබා ගැනීමේ දොරටු විවෘත කිරීමයි. ලොවම පිළිගත් සමූපකාරික මූලධර්ම මත පදනම්ව පිහිටුවා තිබූ මෙම බැංකුව එහි හිමිකාරීත්වයේ පොදු බව අතහැර එක් පවුලක් වටා කේන්ද්‍රගත වීම සිදුවෙමින් පවතිනවා. එම පවුල්වාදය සණස බැංකුව තුළට රැගෙන ගියේ සණස සමිතිවල වුවමනාවට නොව එක් කණ්ඩායමකගේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන්. මෙහිදී බැංකුව සහ සමූපකාර සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමඟ නිතර ගැටුම් ඇති කරගත් අතර එහිදී වැඩි වශයෙන් ආපදාවකට ලක්වූයේ සණස සංවර්ධන බැංකුවයි.
ඒකරාශීව තිබූ සණස සමිති සංවර්ධන බැංකුවෙන් තවදුරටත් ඈත් කරමින් සණස දිස්ත්‍රික් සංගම් සහ “සණස ට්‍රස්ට් කම්පැණි” වෙත මධ්‍යගත කර තිබෙනවා. 2012දී සණස බැංකුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ අතර, එහිදී සමූපකාරික මූලධර්මයක් වූ “one man one vote” එක පුද්ගලයකුට එක ඡන්දයක් යන මූලධර්මයට පිටින් ගොස් ජනතාව බලගන්වන ව්‍යාපාරයක් වෙනුවට “one share one vote” බවට පත්වී තිබෙන බව පැවසිය යුතුයි. දැනට 2020දී සිදුවෙමින් තිබෙන්නේ අවුරුදු 22ක් පුංචි මිනිසුන් සමඟ ජීවත් වූ සණස බැංකුව පෞද්ගලික ජාවාරම්කරුවන් මගින් අත්පත් කරගැනීමේ අවසාන අදියර බව කිව යුතුයි.
එය ක්‍රමයෙන් සිදුවෙමින් පැවති අතර පසුගිය වසරේ සාමාන්‍යාධිකාරී නිමල් සී. හපුආරච්චි මහතා හා ඉහළ කළමනාකාරීත්වය ඉවත් කරමින් වෙනත් අය එම තැන්වලට පත්කරමින් පවතිනවා. මෙහිදී විශේෂයෙන් කිවයුතු වන්නේ මේ ඉහළ නිලධාරීන්ට ගෙවන වැටුප් විශාල ලෙස වැඩි වූ බවයි. මුලදී සාමාන්‍යාධිකාරීවරයාට ගෙවූ වැටුප රුපියල් මිලියනයකට වඩා අඩු වුවද අලුතෙන් පත්වූ සාමාන්‍යාධිකාරී එමෙන් දෙගුණයක් හෙවත් ලක්ෂ 20ක පමණ වැටුපක් ගන්නවා. සෙසු පැරණි කළමනාකාරීත්වයට සහ නිලධාරීන්ට ගෙවුවේ රුපියල් පනස්දහසේ සිට එක්ලක්ෂ තිස්පන්දහසක වැටුපක්. ඒත් මේ වනවිට එම සමාන්තර නිලධාරීන්ට 1,80,000 සිට 3,75,000 දක්වා වැටුප් ගෙවනවා. බැංකුව ආරම්භ කළ දා සිට වසර 22ක් සේවය කළ අයට වඩා විශාල වැඩි වැටුපක් මේ අයට ලැබෙනවා.
2018දී ගත් දැඩි අසාධාරණ තීන්දුවක් වූයේ කොටස් හිමියන්ට ඒතාක් ගෙවාගෙන පැමිණි ලාභාංශ නොගෙවීමට තීරණය කිරීමයි. එයින් සිදු කළේ කොටස් හිමියන් සණසෙන් ඉවත් කිරීමයි. එසේම සේවකයන්ට ගෙවූ බෝනස් මුදල්ද ගෙවීම නවතා තිබේ.
බැංකුවේ වැය අසීමිත ලෙස ඉහළ නංවා තිබෙනවා. අනවශ්‍ය වියදම් වැඩි කළ අතර, නවීකරණය කර තිබූ බැංකු ශාඛා යළිත් වෙනස් කරමින් තිබෙනවා. මුලදී උපරිමයෙන් වැය කළේ රුපියල් මිලියන 2 – 3 අතරයි. එහෙත් මේ වනවිට ඒ වියදම් ලක්ෂ 15 – 20 දක්වා වැඩිකර තිබෙනවා. විවිධ ආයතන මිලදී ගැනීම් වගේම සේවකයන් වැඩිපුර බඳවාගෙන විශාල ලෙස ගෙවීම් කිරීම ද මෙයට හේතු වී තිබෙනවා. Mobile Payment Flatform මගින් මෙයට අඩිතාලම දමා තිබෙනවා. මෙහිදී වෙනත් බැංකුවල ගනුදෙනුකරුවන්ට පවා ගෙවීම් කළ හැකියි. පොලිය පමණයි ලැබෙන්නේ.
බැංකුව ආරම්භ කර වසර 22 වනවිට බැංකුවේ හිමිකාරීත්වයේ විශාල වෙනසක් සිදුවෙමින් පවතිනවා. 2019 – 03 – 01 දා පත්වූ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කරනුයේ බැංකුව ආරම්භ කළ මූලික අරමුණට පටහැනි ලෙසයි. ඔහු පත්වූ දින සිට මේ වනවිට සේවකයන්ට දැඩි මර්දනකාරී පීඩනයක් මුදාහරිමින් තිබෙනවා. අද වනවිට බැංකුවේ ව්‍යාපාරික කටයුතු බිඳවැටී ඇති වග ලැබෙන ලාභයෙන් පෙනී යනවා. මෙම විධායක නිලධරයා පත්ව ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන එසේම වෙනත් මූල්‍ය ආයතනවල හිමිකරුවන් කිහිපදෙනකුගේ නිර්දේශය මත බව හෙළි වී තිබෙනවා. එසේම එම ව්‍යාපාරිකයන් පසුගිය කාලයේ බැංකුවේ විශාල කොටස් ප්‍රමාණයක් මිලදීගෙන ඇති බවද පෙනී යනවා. ලාභාංශ නොගෙවා වියදම් වැඩිකිරීම තුළින් බැංකුවේ ලාභය අඩුවන අතර කොටස් වෙළෙඳපොළේ මිල පහත වැටෙනවා. මේ වනවිට රුපියල් 100 කොටසක වෙළෙඳ අගය රුපියල් 60 දක්වා අඩු වෙලා. ප්‍රධාන විධායක නිලධාරීවරයා තමාට දෙන වැටුප පාවිච්චි කරලා රුපියල් කෝටියකින් කොටස් රුපියල් 55 – 60 වැනි මිලකට රැගෙන තිබෙනවා. වෙනත් බාහිර ව්‍යාපාරිකයන් ද මේ අඩු වූ කොටස් විශාල වශයෙන් මිලට ගනිමින් පවතිනවා. මෙලෙස කොටස් අලෙවි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ලාභාංශ නොගෙවීමයි. මෙලෙස කොටස් මිල අඩු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සණස සමිතිවල ඇති කොටස් පිටතට අලෙවි කිරීමට බලපෑම් කිරීමයි. එසේම ලාභාංශ නොගෙවීම නිසාද ඔවුන් අකර්මණ්‍ය වෙනවා. මෙලෙස කොටස් හිමියන්ගේ කොටස් ප්‍රධාන විධායකට සහ සෙසු ව්‍යාපාරිකයන්ට අඩුවට මිලදී ගන්න හැකිවෙනවා. මෙහිදී විශේෂයෙන් කිව යුතු වන්නේ මෙම තත්ත්වය පිළිබඳ සණස ව්‍යාපාරයේ නිර්මාතෘවරයන් ද නිහඬව සිටින අතර සේවකයන්ට තනිව සටන් කිරීමට සිදුව තිබීම ගැනයි.
ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ න්‍යාය පත්‍රයට බාධාවක්. වෘත්තීය සමිතිවලින් සිදුවන බව අදහස් කරමින් සමිති අඩපණ කිරීමේ ක්‍රියාවලියක මේ වනවිට නිරතව සිටිනවා. ඔහු වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් පවා ලබා නොදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඔහු අදහන්නේ ආයතනයට වෘත්තීය සමිති අවශ්‍ය නොවන බැවින් සිදුවිය යුත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය මගින් ගනු ලබන තීරණ සේවකයන් විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි. බැංකු තුළ කාර්මික අවුලක් නිර්මාණය කිරීමේ උත්සාහයක ඔහු මේ වනවිට නිරත වෙමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා.
වෘත්තීය සමිති මර්දනය කිරීමේ පියවරක් වශයෙන් සණස ශාඛා සංගමයේ සභාපති ජී. ජී. සුනිල්ට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කර ඇති අතර එයට එරෙහිව පසුගිය 7දා එක්දින සංකේත වැඩ වර්ජනයක් අප පැවැත්වූවා. එය අතිශයින්ම සාර්ථක වුණා. ඔහුට ගොනු කර ඇති චෝදනා වූයේ දින තුනක් එක දිගට නිවාඩු ලබාගැනීම, රාජකාරි නිවාඩු ගැනීමේදී අදාළ ස්ථානයට වාර්තා නොකිරීම, නිවාඩු ලබානොගෙන රාජකාරියට වාර්තා නොකිරීම ආදී සුළු චෝදනාය.
මෙම චෝදනා පිළිබඳව සංගමය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කර ඇති අතර, ඒ පිළිබඳ පසුගිය 22දා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණි. මෑතකදී බැංකුවට පත්ව ආ ඉහළ තනතුරු දරණ නිලධාරීන් කිහිපදෙනකු සහ මුදලාලි පැලැන්තියට අවශ්‍ය අරමුණු ඉටුකර ගැනීමට එකම බාධකය වී ඇත්තේ ලංකා බැංකු සේවක සංගමයේ සණස සංවර්ධන බැංකු ශාඛාවයි. ඒ නිසා එය අඩපණ කිරීමට සභාපතිවරයාට එරෙහි ඊනියා ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව පෙනී යනවා. ඔහුට අනීතික චෝදනා පත්‍ර නිකුත් කර විනය ක්‍රියාමාර්ග ගෙන ඔහු සේවයෙන් පහකිරීම මෙහි එකම අරමුණ බව පෙනී යනවා.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 47 පිටුවේ සඳහන් කර තිබෙනවා සමූපකාර බැංකුවක් ආරම්භ කරන බවට. ‘සක්‍රීය සමූපකාරික ව්‍යාපාරයක්’ වෙනුවට පිහිටුවීමට අදහස් කරන මෙම බැංකුව වෙනුවෙන් දැනට සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සණස සංවර්ධන බැංකුව පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කරන ලෙස අප ඉල්ලා සිටිනවා. එය අලුතින් බැංකුවක් ආරම්භ කිරීමට වඩා පහසුවන අතර දැනට සමාජය වෙලාගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනයට ද මෙය නිසි විසඳුමක් වන බව අපගේ අදහසයි.
එසේම අප වෘත්තීය සමිතියක් ලෙස වසර 22ක කාලයක සිට සණස බැංකුව ගොඩනැගූ කොටස් හිමි සණස ශාඛාවල අයිතිය ආරක්ෂා කිරීමට මෙන්ම බැංකුවේ 1300 පමණ වන සේවකයන්ගේ වරප්‍රසාද රැකගැනීමට ද ඉදිරියේදී ප්‍රබල පියවර ගන්නා බව අවසාන වශයෙන් සඳහන් කරනවා.
► යසවර්ධන රුද්රිගු