2020 ජනවාරි 25 වන සෙනසුරාදා

දැරියක් දූෂණයට වසර 15ක් හිරේ ගිය අකුරැස්සේ හිටපු ප්‍රාදේශීය ලොක්කා

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

“එවකට මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ විත්තිකරුගේ එකී ක්‍රියාවෙන් මහජන නියෝජිතයන් කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසයට ඉතා බරපතළ හානියක් සිදුව ඇති බැවින් විත්තියේ ඉල්ලීම පරිදි විත්තිකරු සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමේ හැකියාවක් මෙම අධිකරණයට නොමැති නිසා ඔහුට දැඩි දඬුවම් නියම කිරීමට සිදුව තිබේ.”

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පසුගිය 17 වැනි සිකුරාදා තමා ඉදිරියේ විභාග වූ අපරාධ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් එසේ පවසා සිටියේය. ඔහු මෙලෙස සඳහන් කර සිටියේ තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස විත්තියේ නීතිඥවරුන් විසින් කරනු ලැබූ ඉල්ලීම නොසලකා හරිමිනි.

මෙම නඩුව පවරා තිබුණේ 2012 වසරේදී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සාරුවලියනගේ සුනිල් නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසිනි. ඔහුට එරෙහි අධිචෝදනාව වූයේ එවකට තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි දැරියක් රවටාගෙන තමන්ටම අයත් හෝටලයකට ගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කිරීමය. මෙහි ඇති විශේෂත්වය වූයේ තමා පමණක් දැරිය දූෂණය කිරීමෙන් නොනැවතී සිය ඥාතියකු ලවාද ඇයව යළිත් දූෂණයට ලක් කිරීමය.

නීතිපතිවරයාගේ අධිචෝදනාවල සඳහන් වූයේ 2012 වසරේ මැයි මස 23 වැනිදාත්, ජූලි මස 02 දාත් අතර කාලය තුළදී අකුරුස්සේදී දැරිය දූෂණය කර ඇති බවය. මෙම අපරාධයට අදාළව පොලිස් පරීක්ෂිකා වරැණි බෝගහවත්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකර තිබූ අතර, මෙහි ඇතැම් පරීක්ෂණ කටයුතු සිදුකළ කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂාණි මෙයට පෙර අවස්ථාවක සාක්ෂි දීම සඳහා සිය මසක් වයසැති සිඟිති දරුවාද වඩාගෙන අධිකරණයට පැමිණ සිටීම සුවිශේෂ සිද්ධියක් විය.

මෙලෙස දූෂණයට ලක් කිරීම නිසා අවුරුදු 14ක් වූ බාල වයස්කාර දැරියගේ අධ්‍යාපනය කඩාකප්පල් වූ අතර කුඩා කාලයේදීම ඇයට රැකියාවකට යාමට සිදුවූ බවද නඩු විභාගයේදී අනාවරණය වී තිබිණ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව විනිසුරැවරයා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, එහි සඳහන්ව තිබුණේ වින්දිත දැරිය අධිකරණයේ සාක්ෂි දෙමින් විත්තිකරු තමා දූෂණයට ලක් නොකළ බව පැවසුවද, ඇය දූෂණයට ලක්වීමෙන් පසු නුදුරු දවසකදී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් හමුවේ දුන් ප්‍රකාශයක් මගින් තමා මුහුණදුන් සිද්ධිය සවිස්තරාත්මකව පවසා ඇති බවය. එම කටහඬ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් වීඩියෝගත කරනු ලැබ ඇති බවද සඳහන් කෙරුණි. දැරිය එම අවස්ථාවේදී ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සමඟ ඉතා සුහදව තමාට සිදුවූ සියල්ල හෙළිකර ඇති අතර, ඒ බව වීඩියෝ දර්ශනවල සඳහන්ව ඇති බවද පැවසීය. එසේම දැරිය සම්බන්ධයෙන් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව මෙන්ම ඇයගේ මානසික වෛද්‍ය වාර්තාවද අනුව ඇය මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා ඇති බව සනාථ වන්නේ යැයි සඳහන් කර ඇති විනිසුරුවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පොලිස් පරීක්ෂිකාව දැරියට සහ ඇයගේ මව්පියන්ට තර්ජනය කර ඇයගේ ප්‍රකාශය පටිගත කරවා ඇති බවට විත්ති පාර්ශ්වයෙන් දැක්වූ කරුණු ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවය. එසේම කිසිදු විටෙක වින්දිත දැරියගේ ප්‍රකාශවලදී හෝ ඇයගේ මව්පියන්ට කිසිම අවස්ථාවක පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත තර්ජනය කර ඇති බව අනාවරණය වී නොමැති යැයි ද විනිසුරුවරයා සිය තීන්දුවේ දක්වා තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට පැවසුවේ විත්තිකාර සභාපතිවරයා මෙම අපරාධය සිදුකිරීම සඳහා කාලයක් තිස්සේ සැලසුම් කර ඇති අතර, කැමරාවක් සහිත ජංගම දුරකතනයක්, බයිසිකලයක් සහ තෑගිබෝග ලබා දෙමින් ඇය සූක්ෂම ලෙස රවටාගෙන දූෂණය සිදුකර ඇති බවය.

විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පවසා ඇති මහාධිකරණ විනිසුරුවරයා තමා සිය ගම් ප්‍රදේශයේ ජනප්‍රිය දේශපාලන චරිතයක් වීම හේතුවෙන් තමාට මඩගැසීම සඳහා අභූත චෝදනා නගා ඇති බව පැවසුවද, විත්තිකරු වරදෙන් මිදීම සඳහා විත්ති කූඩුවේ සිට එලෙස ප්‍රකාශ කළ බව පෙනී යන්නේ යැයි පවසා තිබේ.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිය සේවාදායකයා පදිංචි ප්‍රදේශයේ මහජන නියෝජිතයකු ලෙස විශාල සේවයක් කළ අයකු බව සලකා ඔහුට දඬුවම් නියම කිරීමේදී ලිහිල් ආකාරයකින් කටයුතු කරන ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත. දැරිය දූෂණය කිරීමෙන් නොනැවතී ස්වකීය ඥාතියකු ලවාද ඇය යළිත් දූෂණය කිරීමට සැලැක්වීමෙන් වරද තවත් දැඩි වී ඇතැයි පවසා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඔහුට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා තිබේ.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් කළ කරුණු පිළිබඳ සලකා බැලූ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුට වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. එසේම දූෂණයට ලක්වූ බාල වයස්කාර දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවීමටද, ඊට අමතරව රුපියල් 25,000ක දඩයකටද යටත් කළ අතර විත්තිකරු දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් අමතරව බරපතළ වැඩ සහිත තවත් වසර 3ක සිරදඬුවමක්ද නියම කළේය. තම තීන්දුව හා දඬුවම් කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළ අධිකරණයටකට අභියාචනයක් ඉදිරිපත් කිරීමටද විත්තිකරුට හැකි බව විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

යසවර්ධන රුද්රිගූ