2020 ජනවාරි 25 වන සෙනසුරාදා

මොළේ උණ අරන් අඹේපුස්සෙන් මතු වූ අලුත් මදුරුවා

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 249

ශ්‍රී ලංකාවෙන් රෝග වාහකයකු ලෙස හැඳින්විය හැකි නව මදුරු විශේෂයක් සොයාගෙන ඇත. මෙම මදුරු විශේෂය හඳුන්වනු ලබන්නේ Culex near inful යන නමිනි. මීට පෙර 1998 වසරේදී ඉන්දියාවේ කරන ලද පර්යේෂණයකට අනුව සොයාගනු ලැබූ Culex infula නම් මදුරුවාට සමානතාවක් මෙම නව මදුරු විශේෂය සතුවන අතර Culex infula මදුරුවා “ජැපනීස් එන්සෙපලයිටීස්” නම් රෝග වාහකයා ලෙස ද හැඳින්වේ. එබැවින් මෙම නව මදුරුවා වන Culex near inful මදුරැවාටද එම රෝගය පැතිරවීමේ හැකියාවක් ඇතැයි වෛද්‍ය පර්යේෂණ  ආයතනයේ උපකල්පනය කරයි.

“මෙම මදුරුවා ජැපනීස් එන්සෙපලයිටීස් වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි වාහකයෙක් ලෙස සොයාගෙන තියෙනවා. මේ නිසා මෙම මදුරුවාටත් එම රෝගය ඇතිකිරීමේ හැකියාවක් ඇතැයි අපි විශ්වාස කරනවා. අපේ රටට මෙම මදුරුවා අලුත් විශේෂයක්. මීට පෙර මෙවැනි මදුරුවකු ලංකාවේ කුමන හෝ ප්‍රදේශයක ජීවත් වූ බවට සොයාගෙන තිබුණේ නැහැ. මේ නිසා අනාගතයේදී මෙම මදුරැ විශේෂයෙන් ජැපනීස් එන්සෙපලයිටීස් රෝගය නැවත ඇතිකිරීමේ අවදානමක් පවතිනවා.” යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරිපෝෂකවේද හා කීට විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ දේශයට පැවසුවාය.

මෙම නව මදුරු විශේෂය මුල්වරට සොයාගනු ලැබුවේ අඹේපුස්ස ප්‍රදේශයෙන් හා වේවැල්දෙණිය ප්‍රදේශයෙනි. පසුගිය වසර අවසන් කාලයේදී අඹේපුස්ස ප්‍රදේශයේ සිදුකළ පර් යේෂණයකදී මෙය තහවුරු විය. එහිදී මදුරුවන් හසුකර ගැනීම සඳහා උගුල් ක්‍රම හතරක් අනුගමනය කරන ලදී. එනම් මිනිසකු උගුලක් ලෙස යොදාගැනීම (Human baited), ගවයකු (Cattle baited trap), සුනඛයකු (Dog baited trap) සහ කුරුල්ලකු උගුල් ලෙස යොදාගැනීම (Bird baited trap) යනුවෙනි.

“මෙම උගුල් ක්‍රමවලදී ඒ සඳහා යොදාගනු ලබන නිසා මිනිසුන්ට හෝ සතුන්ට කිසිදු හානියක් සිදුවෙන්නේ නැහැ. එහිදී සිදු කරනු ලබන පර්යේෂණය අනුව දැල් දෙකකින් ආවරණය වෙනවා. පළමු දැල මගින් සම්පූර්ණයෙන්ම ආවරණය වන නිසා එම දැලට හසුකර ගන්නා මදුරුවන් පර් යේෂණ සඳහා යොදාගනු ලබනවා.” යැයි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

අඹේපුස්ස ප්‍රදේශයේ ජීවත්වන මදුරුවන් සම්බන්ධව පර් යේෂණයක් කිරීමට තිබූ අවශ්‍යතාවය හේතුවෙන් කරන ලද මෙම පර්යේෂණයේදී මදුරැවන් එක්දහස් අටසියයක් පමණ මෙම දැල්වලට හසුවී තිබූ අතර එම මදුරුවන්ගෙන් හය දෙනකු මෙම නව මදුරු විශේෂයට අයත්ව ඇති බවට සොයාගෙන ඇත. ඊට අමතරව වේවැල්දෙණිය ප්‍රදේශයේදී කරන ලද පර් යේෂණයේදී මදුරු විශේෂ විසි නවයකට පමණ අයත් මදුරුවන් එක්දහස් අටසිය අසූ තුනක් දැලට හසුවී ඇති අතර එයින් දහතුන් දෙනෙක් මෙම Culex near inful නම් නව මදුරු විශේෂයට අයත් මදුරුවෝ වෙති. මේ අනුව අඹේපුස්ස හා වේවැල්දෙණිය ප්‍රදේශයන්හි කරන ලද පර්යේෂණවලට අනුව Culex near inful නම් නව මදුරු විශේෂයට අයත් මදුරුවන් දහනව දෙනකු සොයාගෙන ඇති අතර එයින් මදුරුවන් දොළොස් දෙනකු සොයාගෙන ඇත්තේ කුකුළකු උගුලකට යොදාගත් අවස්ථාවකදීය.

“සාමාන්‍යයෙන් ජැපනීස් එන්සෙපලයිටීස් (මොළේ උණ) රෝගය භයානකයි. නමුත් වර්තමානයේදී මෙම රෝගයට එන්නතක් ලබාදෙන නිසා එම රෝගය ඉතා සාර්ථක ලෙස මර්දනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව බියක් ඇතිකරගත යුතු නැහැ. නමුත් කිසියම් අවස්ථාවක නැවත මෙම රෝගය පැතිරෙන මොහොතක මෙම මදුරුවාත් වාහකයකු ලෙස ක්‍රියා කරන්නට පුළුවන්. නමුත් අනාගතයේදී මෙම රෝගය නැවත පැතිර යනවා නම් මෙම නව මදුරු වාහකයා සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා.” විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ වැඩිදුරටත් පැවසීය.

1966 වසරේදී මධ්‍යම අප්‍රිකාවෙන් ප්‍රථම වරට සොයාගනු ලැබූ මෙම නව විශේෂය පසුව තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද වාර්තා විය.

මෙම නව මදුරු විශේෂය හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ දෙකකි. එයින් එක් ලක්ෂණයක් වන්නේ මෙම මදුරුවාගේ පියාපත්වල සිහින් පුල්ලි දක්නට ලැබීමයි. බොහෝවිට මෙම ලක්ෂණය හඳුන්වනු ලබන්නේ “Pepper Salt Structure” නමිනි. එයට හේතුව වන්නේ එය ගම්මිරිස් සහ ලුණු කුඩු ඉසින විට ඇතිවන ස්වරෑපයකින් යුක්ත වීමයි. ඊට අමතරව Culex near inful මදුරැවාගේ තවත් ලක්ෂණයක් වන්නේ එම සතාගේ පෘෂ්ඨයේ සුදු පැහැති සලකුණු දක්නට ලැබීමයි. රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් දෂ්ඨ කිරීමට කැමැත්තක් දක්වන මෙම මදුරුවා මිලිමීටර් 2-3 අතර ප්‍රමාණවලින් දක්නට ලැබේ.

දිශානි ජයමාලි කරුණාරත්න

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00