2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

කලා ලොව බැබළ වූ ගුරු තරු - 02

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:31 708

මෙම ලිපියේ පළමු කොටස පසුගිය සතියේ පළ විය.

“අම්මෙ අම්මෙ අන්න අන්න
අගල අයිනෙ අඹ ගහේ
අග අත්තේ අඹ පොකුරේ
අඹයක් තිබුණා”

අතාවුදහෙට්ටිගේ පියසේන ගුරුතුමා ලියූ සින්දු හෝඩියේ “අ” යන්න කියාදෙන සින්දුවෙන් අද ලිපිය ආරම්භ කරන්නට අවස්ථාව සෑදුණේ අසෝක අතාවුදහෙට්ටි එතුමාගේ පොත් ගැන මතක් කළ නිසාය. අසෝක මට තම සොයුරා වූ සමන් අතාවුදහෙට්ටි ද සම්බන්ධ කර දුන්නේය. සිය පියාණන් ගැන රටටම වැදගත් වෙන තොරතුරු රාශියක් මතක් කර කියන්නට සමන් අතාවුදහෙට්ටි කාරුණික වූයේය.

ගතානුගතික සම්මතයන්ට අනුව තීරණ ගන්නවාට වඩා තමන්ට නිවැරදියයි සිතට එකඟව දැනෙන කාරණා මත තීරණ ගැනීම අතාවුදහෙට්ටිගේ පියසේන ගුරුතුමාගේ විශේෂ ලක්ෂණයක් බව සමන් අතාවුදහෙට්ටි මතක් කළ කරුණුවලින් පෙනීයයි. එතුමා නිර්මාණයක් කර ඇත්තේත් ජීවිතයේ විශේෂ තීරණ ගෙන ඇත්තේත් රැඩිකල් මතධාරියකු ලෙසයි. කටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාලයේ සංගීත ගුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන කාලයේ භාෂාව උගන්වන ගුරුවරයකු වන්නට එතුමාට සිත් වූයේය. තමා ඉගැන්වූ ගුරු අභ්‍යාස විද්‍යාලයේම භාෂා ගුරු අභ්‍යාසලාභියකු වන්නට ඒ.එච්. පියසේන ගුරුතුමා තීරණය කළේය. සංගීතයත්, භාෂාවත් මුසුවූ සාහිත්‍ය ඥානයකින් පෝෂණය ලබන්නට ඉන් මතු සිසු පරපුරට වාසනාව උදාවෙන්නේ එකී තීරණය නිසා බව පෙනේ.

මීරිගම හෙට්ටිමුල්ල ගමේ වාසය කළ ඒ.එච්. පියසේන ගුරුතුමා ගමේ මුල් බැස ගෙන තිබුණු ගතානුගතික උස් මිටි භේද, කුල භේද මායිම් නොකළේය. කුල භේද නිසා ගමේ කොන්කරනු ලැබූ අය බොහෝ වූහ. එතුමා කළේ පහත් යැයි සම්මත කුලවල උදවිය පාරේ යනු දුටු විට තම මෝටර් රථයේ නංවාගෙන යමින් සමානාත්මතාවයේ පණිවිඩය ආදර්ශයෙන් දීමය. පාරම්පරික බෙර වාදන හා නර්තන ශිල්පීන් පහත් කුලයේ ලා සලකමින් එකල සමාජ ගැරහුම්වලට භාජනය කරනු ඒ.එච්. පියසේන ගුරුතුමා දුටුවේය. එවැනි එක් නර්තන කුලයක සිටි දක්ෂ ළමයකු හඳුනාගත් එතුමා ඒ ළමයා ජේ.ඊ. සේදරමන් ගුරුන්නාන්සේට හඳුන්වා දුන්නේය. සේදරමන් ගුරැන්නාන්සේ ළඟ හොඳින් නැටුම් හැදෑරෑ ඔහු නැටුම් ගුරුවරයෙක් බවට පත්වූයේය.

තමා ඉගැන්වීම කළ රාජකීය විද්‍යාලයේ දරුවන්ට පමණක් සීමානොවී සෙසු දරුවන්ගේ සාහිත්‍ය දැනුම වර්ධනය කිරීමට පෙළඹෙන ඒ.එච්. පියසේන ගුරැතුමාගේ එකී වෑයම ඇරඹෙන්නේ ළමයින් උදෙසා පොත් නිර්මාණය කිරීමෙන් බව පෙනීයයි. එතුමා නිර්මාණය කළ සින්දු හෝඩිය, පුංචි සින්දු, පොතේ ගුරා, සංකල්පනා, සිංහල වියරණ, පඬුවත, දැං ඩිංගක්, නටමු ඉතින්, සුබැසි මුතුහර, සිංහල වන්දනා ගී, නිවැරදි උච්චාරණ විධි යන පොත් රාශියෙන් ඒ බව සනාථ වේ. ළමයාගේ සාහිත්‍ය දැනුම වර්ධනය, භාෂා වර්ධනය පමණක් නොව මේවායින් දරුවාගේ වින්දනය තීව්‍ර වීමද සිදුවේ. දරුවාගේ නිර්මාණ ශක්තිය මෙම පොත් කියවීමෙන් වර්ධනය වන්නේ නිරායාසයෙනි.

මෙම පොත්වල අගය වැටහෙන්නේ අද දවසේ වෙළෙඳ පොළේ ඇති ළමයින් උදෙසා ලියූ ඇතැම් පොත් දෙස බැලූ විටය. ඒවා වැඩි හරියක් ලියැවී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයට දරැවා දක්කන්නටයි. ඒවායින් උත්සාහ ගෙන ඇත්තේ විභාගයට ලියන්නට අවශ්‍ය දැනුම ලැයිස්තු පිටින් දරැවාට කට පාඩම් කිරීමය.

කමත් භාෂාවේ එන වචන ලැයිස්තුව, පෙදරේරු උපකරණ ලැයිස්තුව, ප්‍රස්ථාපිරුළු ලැයිස්තුව ආදිය යාන්ත්‍රිකව දරුවාට කට පාඩම් කිරීමට දිරි දෙන පොත් අද බොහෝය. දරුවාට සොබාවිකව ආවේණික කෙළි සෙල්ලමත් විනෝදයත් මෙකී පොත් ලිවීමේදී අමතක කොට තිබේ.

ළදරු මනසේ නිර්මාණ ශක්තිය වර්ධනය වන අයුරින් ළමා පොත් බිහි කළ යුතු බව ඒ.එච්. පියසේන ගුරුතුමා කියාදී ඇත්තේ 1960 ගණන්වලදීමය.

රාජකීය විද්‍යාලයට එන පියසේන ගුරුතුමා භක්ති ගීත ආදී සංගීතමය වැඩසටහන් උදෙසා සිසුන් පුහුණු කිරීමේ වගකීම මුලින්ම භාර ගත්තේය. එතුමා අතින් ළමා නාට්‍ය රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ බිහි වෙන්නේ ඉන් අනතුරුවය. එතුමාගේ නිර්මාණයක් වූ පොතේ ගුරා නාට්‍ය මුලින්ම රාජකීය විද්‍යාලයේ කරළියට නැගේ.

ඉන් අනතුරුව සිසුන් පුහුණුකොට කරළියට ගෙන ආ කළ දේ පළ දේ නම් නාට්‍ය ගොඩනැගූ ආකාරය ලක්ෂමන් මෙන්ඩිස් නාට්‍යවේදියාණන්ට හොඳින් මතකය. එය නූර්ති ශෛලිය ඉවහල් කරගෙන තැනූ නාට්‍යයක් විය. තමා එහි “ආරච්චි” චරිතය රඟපෑ ආකාරය ලක්ෂමන් අයියා මට කීවේ එහි දෙබස්ද ඊයේ පෙරේදා පුහුණු වූ නාට්‍යයක දෙබස් කියන්නාක් මෙන් නිසි රිද්මයට අනුව මතකයෙන් කියමිනි.

“ඒයි නැවතියල්ලා, කන්ද උඩරටටත් සීතාවකටත් යන්නේ එන්නේ මේ පාරෙන් තමයි.”

එම නාට්‍යයේ ගීතවලට උපයෝගී කරගෙන තිබුණේද සාම්ප්‍රදායික නූර්ති ගී තනුය. මෑතකදී භාතිය සන්තුෂ් දෙදෙනා ගායනා කළ සිරිසඟබෝ නාට්‍යයේ ආ...“සිරි සංගබෝධි මාළිගාවේදී.. ප්‍රාණේ හානිවෙන්ට බැට දෙම්...” ගීතයේ තනුව ඉවහල් කරගෙන තැනූ ගීයක් “කළදේ පළදේ” නාට්‍යයේද විය. අවුරුදු 50කට පෙර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ බිහිවූ එකී නාට්‍ය ගීතය ලක්ෂ්මන් අයියා සිය ගැඹුරැ හඬින් ගායනා කළේය.

“හෙළ ක්‍රීට මගෙ හිස පළඳිම්”

(තාලය - සිරි සංගබෝධි මාළිගාවේදී...)

නිතර රංගනය ගැන උපදෙස් දෙන්නට එදා සුප්‍රසිද්ධ නූර්ති ශිල්පී රොමිලස් සිල්වාව අතාවුදහෙට්ටිගේ පියසේන ගුරුතුමා රාජකීය (ප්‍රාථමික) විද්‍යාලයට එක්කර ගෙන ආයේය. එදා අවුරුදු 10-11 වයසේ පසුවූ ලක්ෂමන් මෙන්ඩිස් සිසුවාගේ රංග වස්ත්‍ර සහ රංග ශෛලිය පරීක්ෂා කළ රොමිලස් සිල්වා ශිල්පියා ඔහුගේ කොණ්ඩය උස්කොට බඳින්නට යෝජනා කළේය.

එම නාට්‍යයෙන් අනතුරුව එතුමා සිසුන් උදෙසා නිර්මාණය කළ “සක්වල ලොක්කා” නාට්‍ය ගීතයත්, හාස්‍යයත් නාට්‍යමය ගුණයත් මැනවින් මුසු වූවකි. එයට පාදක කරගත් කතාව අප්‍රිකානු ජන කතාවක් ආශ්‍රයෙන් වේදිකාවට උචිත ලෙස ගොඩනගා ගත්තකි.

ලක්ෂමන් අයියා වඩාත්ම ආසා කළේ එම නාට්‍යයේ එන “බමුණ” ගේ චරිතයටයි. අතාවුදහෙට්ටිගේ පියසේන ගුරැතුමා එම චරිතයට දෙදෙනකු පුහුණු කළේය. එක්කෙනෙක් ලක්ෂ්මන් මෙන්ඩිස් සිසුවාය. අනෙක් තැනැත්තා සමන් ද සිල්වා නම් ශිෂ්‍යයෙකි. 

එම නාට්‍යයේ එන බමුණාට ඕනෑ වූයේ තමන්ගේ බැළලියට ලොව බලසම්පන්නම තැනැත්තා විවාහ කර දීමය. බළලා බැළලියට කිට්ටු කිරීම බමුණාට ඇල්ලුවේ නැත. ඔහු බළලාට බැණ වදී.

“ඈ බොල මං කී දවසක්
මෙහෙ එන්නට එපා කියලා
කියලා තියෙනවාද?”

ඉර හඳ ඇති වූ දා සිට - වැදගත්කම රැකගෙන එන
අපේ පරපුරට කැළලක් - කරන්න තොට පුළුවන්ද
ඒයි පූස් මෙහෙ බලපිය - මගෙ දුව මං දීගදෙන්නෙ
සක්වල ලොක්කටම තමයි

දැන් මේ සක්වල ඉන්නා මහා දෙවියා හිරු දෙවියොයි

බමුණා හිරු දෙවියා සොයා යයි. හිරු වසා ගන්නා වලාකුළ ඊට වඩා වැදගත් බව දැනගනී. වලාකුළ පළවා හරිනා සුළඟ වලාකුළට වඩා බලවත් බව දැනගනී. අවසානයේ මේ බල දාමය බළලා වෙතටම පැමිණේ. බලවත්ම තැනැත්තා පූසාම බව බමුණා සිතන්නට ගනී.

“සකළ සක්වල පුරා හෙව්වත්
බැළලියට බළලාම මිස වෙන
කෙනෙකු සොයා ගන්නට නොහැකිය
කිසි ලෙසක”

නාට්‍ය රඟ දක්වන විට බමුණාගේ චරිතය රඟපාන්නට නියම වෙන්නේ ලක්ෂ්මන් අයියාගේ මිතුරු සමන් ද සිල්වා නැමැත්තාටය.

තරුණ වයසට එළඹ පාසලෙන් ඉවත් වූ දිනක 1968 එම නාට්‍ය පිළිබඳ පුවත්පතක පළවූ පිටුවක් සමන් ද සිල්වා, ලක්ෂ්මන් අයියා වෙත ගෙනැවිත් දුන්නේ ඔහු ඒවා සංරක්ෂණය කරන වග දැනගෙන විය යුතුය. කනගාටුදායකම සිද්ධිය නම් ඊට පසු දිනක, එකී බමුණාගේ චරිතය රඟපෑ සමන් ද සිල්වා මුහුදේ ගිලී මිය ගිය පුවත ලක්ෂ්මන් අයියාට ආරංචි වීමය.

අතාවුදහෙට්ටිගේ පියසේන ගුරුතුමා නිර්මාණය කළ පොතේ ගුරා, කළ දේ පළදේ සහ සක්වල ලොක්කා යන මෙම නාට්‍ය තුනම සමස්ත ලංකා අන්තර් පාසල් නාට්‍ය තරගවලින් පළමු හෝ දෙවැනි ස්ථාන අතරට පැමිණි ඒවාය. 1968 අවුරුද්දේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් සුනිල් ශ්‍රියානන්ද ගුරුතුමා (ජයලත් මනෝරත්නගේ පාසල් නාට්‍ය ගුරුවරයා) ඉදිරිපත් කළ “කූඹිච්චි” ආයේ දෙවැනි ස්ථානයටයි. ඒ අවුරුද්දේ ජ්‍යෙෂ්ඨ අංශයේ පාසල් නාට්‍ය තරගයෙන් මුල් තැන ගත්තේ එකල රාජකීය විද්‍යාලයේම ගුරු වෘත්තියේ නියැලි උපාලි අත්තනායක නිර්මාණය කළ “කොමිසම ඉදිරියේ සාක්කි දීම” නම් නාට්‍යයයි. හොරණ විද්‍යාරත්න විද්‍යාලයෙන් ඉදිරිපත් කළ “සුදු ඇතා ආවට පස්සේ” නාට්‍ය එක් අවුරුද්දක සක්වල ලොක්කා නාට්‍ය සමඟ තරග වැදී පළමු හෝ දෙවැනි ස්ථානයට ආවේය. එකල ධර්මසිරි බණ්ඩාරනායක, හේමසිරි ලියනගේ, ඩග්ලස් සිරිවර්ධන ආදීහු හොරණ විද්‍යාරත්නයේ සිසුවෝ වූහ. පියසේන ගුරුතුමා පාසල් නාට්‍ය නිර්මාණ කළ අවදිය, පාසල් නාට්‍ය කෙරේ කෙතරම් උනන්දුවක් පැවති කාලයක් දැයි මෙයින් පෙනේ.

1969 අගෝස්තු මාසයේ නව රගහල විවෘත කරද්දී එකපිට දවස් තුනක ඒ.එච්. පියසේන ගුරුතුමා නිර්මාණය කළ පොතේගුරු, කළ දේ පළ දේ, සක්වල ලොක්කා යන නාට්‍ය ත්‍රිත්වය නව රඟහලේ ප්‍රදර්ශනය වූයේය.

1970 වනවිට රාජකීය ජ්‍යෙෂ්ඨ පාසලට පිවිසෙන්නට ලක්ෂ්මන් මෙන්ඩිස් සිසුවාට සිදුවෙයි. එහෙත් ඔහුගේ හිත ඇත්තේ ප්‍රථමික විද්‍යාලයේ සංගීත කාමරයේය. ඉහළ පාසලේ ශිෂ්‍යයන්ට ප්‍රාථමික පාසලේ නාට්‍යවලට හවුල් වීමේ ඉඩකඩක් නැත. එහෙත් ඔහු පියසේන ගුරුතුමා නාට්‍ය පුහුණු කරනු බලන්නට ප්‍රාථමිකයට නිතර පැමිණියේය. 1970 එතුමා නිර්මාණය කළ වියපත් වීම නාට්‍යයේ දෙබස්ද ඔහු මතකයෙන් කියයි.

“හැට නමයයි වයස මට දැන්
මම දැන් නාකියි බල අඩුයි”

රේඩියෝ සිලෝන් එකෙන් නැතහොත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ළමා මණ්ඩපයේ කටයුතු සඳහා නිර්මාණ දායකත්වය ලබාදෙන ලෙස අතාවුදහෙට්ටිගේ පියසේන ගුරුතුමාට ආරාධනා ලැබෙන්නේ ඒ අවධියේය. ගුවන් විදුලි ළමා නාට්‍ය 500කට වඩා එතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වී තිබේ. කුඩා අවධියේ අප ඇසූ ටී. බී. ඉලංගරත්නයන්ගේ අඹ යාළුවෝ රේඩියෝ නාට්‍යයේ පිටපත රචනා කළේද එතුමාය.

ඒ සමඟම 1970 පාසල් විෂය මාලා පෙළ පොත් සංස්කරණය උදෙසා හවුල් වන්නට ද පියසේන ගුරුතුමාට ආරාධනා ලැබිණි. සිංහල 6, 7 පොත් පෙළ නිර්මාණය වන්නේ ඉන් අනතුරුවයි. විෂය මාලා කමිටුවේ සභාපති ධූරය එවකට හොබවූයේ අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. ඒ. ඩී. සිල්වාය. පියදාස හෙට්ටිහේවා මහතා ද ඒ කමිටුවේ උන්නේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය ඇරඹෙන්නේ ද මේ අවධියේය. සංගීතඥ ඔස්ටින් මුණසිංහ ද හවුල් කරගෙන එතුමා ගී රාශියක් එම සේවය උදෙසා නිර්මාණය කළේය. ඉන් එක් ගීයකට පසුකාලයේදී ජපානයේ දකුණු ආසියාතික ගුවන් විදුලි අන්තර්ජාතික තරගයේ පළමු ස්ථානය ලැබිණි. ඒ ගීය ටයිටස් තොටවත්තයන් ඔෂීන් ටෙලි නාට්‍යයේ හඬකැවීම්වලට ද උපයෝගී කරගත්තේය.

ඒ මෙම ගීතයයි.

“මුහුද ලස්සනයි - මුහුද හරි ලොකුයි
  හෝ හෝ, හා හා - නතර වෙන්නෙ නෑ”

එච්. ඒ. පියසේන ගුරුතුමාගේ නාට්‍ය නිර්මාණයන් තම ශිෂ්‍ය අවධියේදී දායක වූ වර්තමානයේ කීර්තිමත් පුද්ගලයන් බවට පත්ව ඇත්තන් රාශියකගේ නම් සමත් අතාවුදහෙට්ටි මට මතක් කර දුන්නේය. මහාචාර්ය ජනක ද සිල්වා, දුලිප් ගබඩාමුදලි, ලලිත් වීරතුංග, ආචාර්ය කණිෂ්ක කරැණාරත්න ද ඒ අය අතර වෙති. අභාවප්‍රාප්ත දේශපාලනඥ මනෝ විජයරත්න ද ඒ අතර සිටියේය.

රාජකීය විද්‍යාලයේ 1969 අධ්‍යාපන සියවස ප්‍රදර්ශනය පැවති අගෝස්තු මාසයේ දින 15ක් නව රඟහල ඇතුළු ප්‍රදර්ශන භූමියේ ඉන්නට මට අවස්ථාව පෑදී තිබුණේ එකල මා ගල්කිස්සේ හේන විද්‍යාලයේ බෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකයකු වූ නිසයි. නව රඟහල විවෘත කළ දිනයේද මම එහි සිටියෙමි. රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් තම නාට්‍ය දර්ශනවලට සූදානම් වෙමින් පසු වේදිකාවේ, රංග වස්ත්‍රවලින් සැරසී සිටිනු එදා සහ පසුදා මම දුටුවෙමි. ඒ අතර ලක්ෂ්මන් අයියලා, අසෝකලා, සමන්ලා ඉන්නට ඇත.

ළමයා පොඩි මිනිසකු ලෙස නොසලකා අනාගතයේදී විකසිත වන මල් කැකුලක් සේ ගනිමින් ළමයින් උදෙසා නිර්මාණ බිහිකළ ගුරු තාරකාවන්ට පින් සිදුවන්නට අපගේ ළමා ලෝකය වර්ණවත් විය. සුන්දර විය.
එවන් ගුරු තාරකාවන්ට අපගේ වන්දනීය නමස්කාරය වේවා!

 සමන් පුෂ්ප ලියනගේ 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00