2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

රාජ්‍ය බේරාදුන් වීරියවන්ත ඇත් රජු

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

දෙව්රම් වෙහෙරේ මහණදම් පිරීමට මැලිකම් දැක්වූ භික්ෂුවක් උන්නා. ඒ භික්ෂුවට අනෙක් වැඩිහිටි භික්ෂූන්ගෙන් දොස් අහන්න සිදු වුණා. ඒවා භික්ෂුව ගණන් ගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේත් මේ භික්ෂුවගේ දුබලකම ගැන දැනගත්තා. භික්ෂුව කැඳෙව්වා.

මහණ! ඔබ මහණදම් පුරන්න වීරිය නොකරන්නේ ඇයි? බුදුන් විචාළා.

භික්ෂුව නිහඬව උන්නා.

මහණ! ඔබ දැන් වීරිය අඩු කෙනෙක් වුණත් පෙර කල හොඳ වීරිය තිබුණු කෙනෙක්. හතුරන් දොළොස් යොදුන් බරණැස් නුවර වටලාගත් විට ඒ සතුරු සේනාව එළවා දැමුවා. රාජ්‍ය රුක දුන්නා යැයි පවසා සිටියා.

ස්වාමිනී! ඒ කෙසේදැයි අපට පවසන්න. භික්ෂූන් ඉල්ලා සිටියා.

එවිට බුදුන් මේ කතාව වදාළා.

යටගිය දවස බරණැස උන් වඩුවෝ වනයෙන් දැව කපාගෙනවිත් නොයෙක් කර්මාන්ත දැවයෙන් කළා. එසේ දැව කපාගෙන ඒමට දැඩි මහන්සියක් මෙන්ම බොහෝ කාලයක් ගත වුණා. වඩුවෝ ඒ ගැන හිතන්න වුණා. පහසු ක්‍රමයක් කල්පනා කළා. ඔවුන් තීරණයක් ගත්තා වනයේ වාඩිලා දැව කපා එතැනම භාණ්ඩ හදා බරණැසට ගේන්න. ඒ අනුව ඒ වඩුවන් වනගත වුණා. වාඩි හදාගත්තා.

මේ වනාන්තරේ උන්නා සද්දන්ත ඇතෙක්. ඌට පැටවෙක් ද උන්නා. උන් උසස් ඇත් කුලයක් වූ අජානීය කුලයට අයත් උන්. සද්දන්ත මහ ඇතා වනයේ දිනක් ඇවිද යනකොට දරුණු කීරි ගසක උලක් පාදයක ඇනුණා. ඌ මහත් වේදනාවට පත් වුණා. උල ගලවන්න හැදුවා. බැරි වුණා. උල කැඩුණා. කොටසක් පයේ ඉතිරි වුණා. ඇතා තුන්පයින් පැන පැන වඩුවන්ගේ වාඩිය ළඟට ආවා. බිම දිගා වුණා. හොඬ හකුලවා ගත්තා.

වඩුවන් ඇතා පෙරළී සිටිනවා දැක්කා. ළං වුණා. එහෙත් ළඟටම ගියේ නෑ. බලා හිටියා. ඇතා තුවාල පය දික් කළා. ඇස් පියාගත්තා.

වඩුවන් දැනගත්තා ඇතා කියන්නේ උල අරන් දාන්න කියන බව. ඒ හින්දා ඔවුන් ඇතාගේ පයේ තිබූ උල අරන් දැම්මා. බෙහෙත් බැන්දා. ඇතා ළඟට කොළ අතු කඩාගෙනැවිත් දැම්මා. ඇතා තුවාලය හොඳ වෙනකම් එතැන උන්නා. ඊටපස්සේ වඩුවන් සමඟ මිතුරු වුණා. ඔවුන් කපන දැව වාඩිය ළඟට ගේන්න උදව් කළා. වඩුවොත් ඇතාට බත් පළතුරු කන්න දුන්නා. එසේ කලක් ගත වුණා. ඇතා මහලු වුණා. දැව අදින්න අපහසු වුණා. ඌ උගේ පැටවා දවසක් වාඩිය ළඟට කැඳවාගෙන ආවා. ඊට පසු දෙන්නම දැව අදින්න වුණා. වඩුවෝ උන් දෙන්නටම සැලකුවා.

අජානීය ඇතාගේ සුවඳ

ටික දිනක් ගත වුණා. පැටවා වාඩිය ළඟ තියා මහලු ඇතා වනය ඇතුළට ගියා. එතැන් පටන් ඇත් පැටවා වඩුවන්ට තනියම උදව් කළා. මේ අතර බරණැස් රජතුමාගේ ඇතුන් නාවන්න ගඟට ගෙනාවා. ඒ ගඟ ගලන්නේ වනාන්තරය මැද්දෙන්. රජතුමාගේ ඇත්තුන් ගඟට බස්සනකොට ඇත්හල සේවකයන්ට දැනුණා ගඟේ වතුරේ අමුතු සුවඳක්. ඇත්තුත් ගඟට නොබැස සිටියා. ඒ සුවඳ ගැන සේවකයන් පරීක්ෂා කරනකොට දැනගත්තා අජානීය ඇතකු ගඟේ උඩින් නාලා ඇති බව. සේවකයෝ ගඟ ඉහළට ගියා. ඔවුන් දැක්කා වඩුවන්ගේ වාඩිය ළඟ උන්න ඇත් පැටවා. ඔවුන් ඇත් පැටවා දැක්ක ගමන්ම දැනගත්තා මේ අජානීය ඇතකු බව. ඔවුන් ආපසු ආවා. රජතුමා හමු වුණා.

දේවයන් වහන්ස! අජානීය ඇතෙක් වනගත වඩුවන් ළඟ ඉන්නවා. ඌ ගෙනාවොත් මඟුල් ඇතා කරගත හැකියි. සේවකයෝ කිව්වා.

රජතුමා ඔවුන්ගේ කීම අනුව වනයට ගියා. වඩුවන් රජතුමා දුටු ගමන් වැඳ වැටී ගෞරව කළා. ඒ අතර සේවකයෝ ඇතා රජතුමාට පෙන්නුවා.

මේ ඇතා කාගෙද? රජතුමා වඩුවන්ගෙන් ඇසුවා.

එවිට ඇතා ගැන විස්තරය වඩුවෝ කිව්වා.

එසේ නම් ඇතා මට ඕනෑ. රජතුමා කිව්වා. වඩුවෝ ඊට කැමති වුණා. බඹදත් රජතුමා ඇතා බරණැසට ගෙනාවා. අනෙක් ඇතුන්ට වඩා විශේෂ සැලකිලි ඌට දැක්වූවා. කාලය ගෙවුණා. ඇත් පැටවා විශාල ඇතෙක් වුණා. රජතුමාට ප්‍රියමනාප වුණා. මේ අතර බරණැස රජතුමා හදිසියේ මියගියා.

ඒ වන විට අගබිසව ගැබිනියක්. ඇමැතිවරු රජතුමාගේ අභාවය ඇතාට දැන්වූයේ නෑ. ඒ දැඩි සංවේගයට පත්වෙයි කියා. රජතුමාගේ ආදාහනය සිදු වුණා. රජකමට උරුමකරුවෙක් සිටියේ නෑ. ඇමැතිවරු පේන බලන්නන් කැඳවා ගත්තා. අගබිසවගේ කුසේ කුමරෙක්ද කුමරියක්ද කියා බලන්න කිව්වා. ඔවුන් දූත ලකුණු බලා කුමරෙක් ඉන්නේ. තව දවස් හතකින් බිහිවෙනවා කිව්වා. ඇමැතිවරු සතුටු වුණා.

සතුරු සේනා පැන්නුවා

මේ අතර කොසොල් රට රජතුමා බරණැස රජ කෙනකු නැති බව දැනගත්තා. බරණැස් රාජ්‍ය අල්ලාගන්න සේනාව රැගෙන ආවා. කඳවුරු බැඳගත්තා. ඒ සමඟම වගේ අගබිසව පුත් කුමරා බිහි කළා. ඇමැතිවරු තීරණය කළා ඇත් රජ පෙරටු කර සේනාව සටනට යවන්න. ඒ බව අගබිසවට දැන්වූවා.

බිසව කුමරා ඔසවාගෙන ඇතා ළඟට ගියා. ඌ ළඟ කුමරු තැබුවා. ඇත් රජුනි! ඔබේ රජතුමා මියගියා. ඒ බව දැනගත් සතුරු රජෙක් සටනට ඇවිත් මේ රාජ්‍ය පැහැරගන්න. මේ ඔබ රජතුමාගේ පුතා. මොහුට රාජ්‍ය කවදා හෝ ලබාගන්නතුරු එය රැකගත යුතුයි. එය කරන්න පුළුවන් ඔබට පමණයි. බලසේනාව සමඟ ගොස් සතුරන් එළවා දමන්න. ඇත් රජුනි! එය ඉටුකර දෙන්න. ඔබේ රජතුමා වෙනුවෙන් ඉටු කරන්න.

ඇතා කුමරුට ගරු කළා. ඇත්ගාලෙන් පිටට ආවා. බල සේනාව ඇතාට එක්වුණා. ඇතා සතුරු කඳවුරු වෙත ගියා. එය සුණු විසුණු කළා. සතුරු සේනාව පසුබැස ගියා. ඇත් රජු උන් පස්සෙන් ගියා. කොසොල් රට රජු අල්ලාගත්තා. ගෙනත් ඇමැතිවරුන්ට බාර දුන්නා. ඌ ඇත්ගාලට ගිහින් සුපුරුදු ලෙස උන්නා.

එදා ඒ වීරිය බලය පෙන්වූ ඇත් රජ තමයි අද වීරිය දුබල කරගෙන ඉන්න මේ භික්ෂුව. බුදුන් වදාළා.

(අලින්නචිත්ත ජාතකය ඇසුරින්) 
බී.පී.කේ. තිලක