2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

ජනතාව අනතුරු වැළක පැටලේ

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

දැනට දවසින් දවසම ශ්‍රී ලංකාව හදිසි අනතුරු ප්‍රධාන කොටගත් විවිධ ව්‍යසනවලට ලක්වෙමින් සිටී. මෑත අතීතයේ සිට එසේ සිදුවන ග්‍රහ සිත්තම කුමක්ද යන්න පිළිබඳවත් ඉදිරියේදී මතුවන පීඩාකාරී තත්ත්වයන් අතර ප්‍රමුඛත්වයක් ගනු ලබන විනාශකාරී සාගතයන්ද ලොමු දැහැගැන්වෙන හදිසි අනතුරුද මිනීමරා ගැනීම්ද සමනය කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණ වන්නේය.

2019.12.16 වෙනි දින රවි ධනු රාශියට සම්ප්‍රාප්ත වීම සිදුවිය. එවිට කලත්‍ර ත්‍රිකෝණය කුජ, නැප්චූන්. රාහුගෙන් පීඩා වී තිබියදී, ර-ගු-ශ-කේ යන ග්‍රහයින්ට ෂඨඨාෂ්ථම වූ චන්ද්‍රයා සිව්වැන්නේ සිටියේය.

පතල් කම්කරැවන් නොසන්සුන් වීම ආරම්භ විය. මනු සිත කුපිත විය. කලබල සිදුවිය. ප්‍රතිඵලය ලෙස සමාජය පුරා නොඉවසිලිමත් ජනතාවක් මතුවී විවිධාකාර අනතුරු සමාජගත විය.

2020.01.15 දින ප.ව. 2.07ට රවි ග්‍රහයා ධනු රාශියට ප්‍රවිශ්ඨ විය. තත්කාල ලග්න කුණ්ඩලියේ කාම ත්‍රිකෝණයේ හත්වැන්නේ යුරේනස්ද එකොළොස්වැන්නේ චන්ද්‍රයාද අරක් ගනිද්දී සෙනසුරා වික්‍රමස්ථානය දූෂණය කළේය.
මනුසිත් නොසන්සුන් කළේය. විශේෂයෙන් රියදුරු දෑතත් සිතත් කැළඹුවේය. ප්‍රතිඵලය වූයේ කුමක්ද? ලොමුදැහැ ගැන්වෙන විනාශකාරී ඉතිහාසයේ නොවූ විරූ අන්දමේ හදිසි අනතුරැවලින් ජීවිත සමුගන්නා ආකාරය විද්‍යමාන වීමය.

ඉතින් මේ තත්ත්වයට මුහුණදීමට සිදුවන අවදානම අවසන් වෙන්නේ කවදාද? 2020 වර්ෂයේ පවතින ග්‍රහ සිත්තමට අනුව දැන් පවතින්නේ විනාශකාරී රැල්ලේ ආරම්භය පමණි. කොපමණ විපත් සිදුවුවත් ජනතාව පාඩම් ඉගෙන ගන්නේ නැත. ඒ නිසා විපත්ති අවස්ථා මඟහරවා ගැනීම දුෂ්කරය.

පෘතග්ජන මනුෂ්‍යයාට හෙට සිදුවන දේ කිව නොහැකි වුවත් එය ජ්‍යොතිර්වේදියාට කිව හැක. විනාශය වළකා ගත හැකි ක්‍රමයද පෙන්වාදිය හැක. අවශ්‍ය වන්නේ එය පිළිපැද ජීවිතය සුරක්ෂාකාර ගැනීමය. නමුත් කනගාටුව වන්නේ අවාසනාවට මුහුණ දීමට නියමිත ග්‍රහ අපලයට මැදි වූ අයට අප කියන දේ නොඇසීමය. නොතේරීමය. මේවා මිත්‍යා විශ්වාස බවට මතයක් බවට තමාගේ සංසාරගත සතුරන් මිතුරැ විලාශයෙන් ලංවී අදහස් උදහස් කැවීමය. පවට පින් දෙන්නට බැරිය. කුසල් සිත් ඇත්තෝ අසත්වා රැකෙත්වා.

2020.02.13 වැනිදා ප.ව. 03.02ට රවි ග්‍රහයා මකර රාශියට පිවිසෙන්නේය. එවිට තත්කාල ලග්න ත්‍රිකෝණය රාහු - චන්ද්‍ර සහ රවි-බුධ-නැප්චූන්ගෙන් දූෂණය වෙද්දී මාරක අටවැන්න සෙනසුරා විසින් පීඩා කරන්නේය.

මෙතෙක් කල් සිදුවූයේ වයස් භේදයකින් තොරව ඉවක් බවක් නොමැතිව අහුවෙන අහුවෙන අය මරාගන්නට ග්‍රහ බලය මගින් හදිසි අනතුරු මැවිමය. මෙකී විනාශකාරී ග්‍රහ ශක්තිය තම විෂ දුමාරය වැඩිහිටි ජනතාව වෙතට මුදා හරින්නේය. ඒ අය අතර සිටින සුප්‍රසිද්ධ චරිත මනේම උසස් රාජ්‍ය නිලධාරීන්ද විවිධ ව්‍යසනයන්ට ගොදුරු කරනු ලබන්නේය. මෙම විපත්තිවල භයානකත්වය වන්නේ බොහෝ දෙනාට ජීවිතයෙන් සමුගැනීමට සිදුවීමය.

විශේෂයෙන් 2020 මාර්තු අවසානයට පෙර ප්‍රබල භූත විද්‍යාඥයින් සමාජගත වන්නේය. භූත ලෝකයේ අරුම පුදුම ප්‍රවෘත්ති නවීන තාක්ෂණය තුළින් සොයාගනු ලබන්නේය. ඒ වගේම විද්‍යාඥයින් විසින් නවීන සොයාගැනීමක් ඉදිරිපත් කරනු ලබනවා ඇත.

නව කොරෝනා වෛරසය මට්ටු කරන ප්‍රතිකාරය ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍යවරැන් ඉදිරිපත් කරන්නේය. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල වෛද්‍ය සභාවන් එය අනුමත නොකරනු ලැබුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ පිටිසර පාරම්පරික වෛද්‍යවරුන් පිළිගැනීමේ තත්ත්වයකට පත් කිරීමට රවි - බුධ - නෙප්චූන් - සිකුරු යන ග්‍රහ බලවේග විසින් ක්‍රියාකරනු ලබන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් හිතුවක්කාරී වී නීති විරෝධී කටයුතුවලට පෙළඹෙනු ලබන්නේය. ඔවුන් පමණක් නොව ශ්‍රී ලංකාව පුරාම කැති, රෙහෙන, අද, උත්‍රපල්, උත්‍රසළ, සුවන, දෙනට, සියාවස, උත්‍රපුටුප යන නැකත් වලින් උපත ලබා සිටින බොහෝ ජන්මීන් විවිධ ප්‍රබල අසීරුතාවලට ගොදුරු වෙනවාද ඇත.

සර්ව දේවතා පූජාව සමග සෙනසුරු ග්‍රහ කන්නලව්ව සහිතව ගුප්ත ශාස්ත්‍රීය ආරක්ෂක ක්‍රම භාවිතා කිරීමෙන්ද සූරිය පිරිත, චන්ද්‍ර පිරිත, අටවිසි පිරිත, රතන සූත්‍රය වැනි ආරක්ෂක පිරිත් භාවිතා කිරීමෙන්ද ග්‍රහ අපල මෙන්ම බොහෝ ව්‍යසන සමනය කරගත හැක. ඊට අනුගත වී ඉහත සඳහන් කළ විපත්තීන්ගෙන් මිදී ඔබ සුවපත් වේවා.