2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවි යෝග බලය

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 358

ග්‍රහ මණ්ඩලයේ මනාලිය වූ සිකුරු ග්‍රහයා තමාට උච්ඡ රාශි භවන වූ බ්‍රහස්පතිට අයත් මීන රාශියට 2020 පෙබරවාරි 3 වැනි සඳු දින පාන්දර දෙක පසුවී විනාඩි 17ට පිවිසෙයි. එසේ පිවිස 2020 පෙබරවාරි මස 29 වැනි ශනි දින පාන්දර එක පසුවී විනාඩි 33 දක්වාම බලවත් ගමනක යෙදෙනු ඇත.

සිකුරු මීන රාශියෙහි බලවත්ව යෙදෙන මෙම කාලය තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට පංච මහා පුරැෂ යෝග බලයක් වූ මාලවි යෝගයේ ඵල අත්වෙයි. මෙම වකවානුව තුළ ඉහත ලග්නවලින් උත්පත්තිය ලබන්නා වූ දූ දරැවන්ටද පංච මහා පුරැෂ යෝග බලයේ ඵල ලැබීමෙන් කලා හැකියාවලින් අනූනව කඩවසම් රෑපයක්ද හිමිව වාසනාවන්ත දූ දරැවන් ලෙස උත්පත්තිය ලබනු ඇත. 

මෙම ග්‍රහ තත්ත්වය නිසා රට තුළ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් සිදුවනවා ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයටද ශුභ ඵල ගෙන දෙන කාලයක් වේ. වැඩකරන ජනතාවට විශේෂ සහන රජය විසින් සලසනු ලබන සමයක් වනු ඇත. රට තුළ වසංගත රෝගයක් පැතිර යාමේ අවදානම් තත්ත්වයට පත්වන අතර මහජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බව පවසමු. උසස් බුද්ධිමත් ප්‍රසිද්ධ කාන්තාවකට මාරකයක් ඇතිවනු ඇත. රාජකීය උත්සව යෙදෙන අතර ප්‍රසිද්ධ මහජන මන්ත්‍රීවරයකුගේ කීර්තිනාමය හානියට පත්වීමේ සිදුවීමක්ද වාර්තාවනවා ඇත.

විදේශීය වශයෙන් සලකා බලනවිට මහජන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යන අතර දරුවන්ට සිදුවන අනතුරු හා අපරාධවලට වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වේ. සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකුට මාරකයක් ඇත. වසංගත රෝග ලෝ පුරා පැතිර යන්නාවූ කාලයක් වන අතර මහජනයා විවිධ පීඩාවලට ලක්වීම්ද බියකරැ මරණද වාර්තාවන වකවානුවකි. ජල ගැලීම් නිසා හදිසි විපත් ඇතිවන්නාවූත් කාලයක් වේ.

මේෂ - සාමය කඩවීම්

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවෙයි. පවුල් දිවියේද ප්‍රශ්න ඇතිවන අතර සාමය පළුදු වන ආකාරයේ සිදුවීම් ඇතිවනු ඇත. විශාල ලෙස මුදල් යෙදවීම් නොකළ යුතු කාලයක්ද වේ.

වෘෂභ - ආර්ථික වාසි

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක වනවා ඇත. හිත මිතුරන්ගෙන්ද ආකර්ෂණය ලැබීමෙන් අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයටද යහපත් වෙයි. ආර්ථික වාසි ලැබෙන කාලයක්ද වනු ඇත.

මිථුන - සේවා උසස්වීම්

ඉතා යහපත් ඵල අත්කරන පංච මහා පුරුෂ යෝග බලයක් වූ භද්‍ර යෝගයේ ඵලය ඔබට ගෙනදෙන කාලයක් වේ. කරන කටයුතුවල සාර්ථක වීමක්ද සේවා ස්ථානයෙන් උසස්වීමක් හෝ ලබාගත හැකි වන්නාවූත් කාලසීමාවක් වේ. අලුතෙන් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමටද යහපත්ය.

කටක - නිර්මාණශීලී අදහස්

ඔබටත් ශුභඵල ගෙන දෙන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක් වේ. කලා කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙනදෙනු ඇත. පවුලේ සමගිය වර්ධනය වන අතර ආගමික කටයුතුවලට යොමුවනවා ඇත.

සිංහ - අත්සන් පරිස්සමින්

ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවන කාලයක් වේ. ලියැවිලිවලට අත්සන් තැබීමකින් අමාරැවේ වැටිය හැකි කාලයක් බැවින් පරිස්සම් වන්න. රුකියාවේ වෙනස්වීමක් හෝ සිදුවන කාලයකි.

කන්‍යා - මංගල යෝජනා

ඔබට ඉතාමත් යහපත් ඵල අත්වන අතර පංච මහා පුරැෂ යෝග බලයක් වූ මාලවි යෝග බලයේ ඵල ඔබට අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ස්ථීර වන අතර පවුල් ජීවිතයේ සමගිය වර්ධනය වන්නාවූත් කාලයක් වනු ඇත.

තුලා - ආර්ථික පාඩු

ඔබගේ කටයුතුවලට බාධාවීම් ඇතිවන කාලයකි. සතුන්ගෙන් යම්කිසි ආකාරයක ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ආර්ථික පාඩු ඇතිවන අතර විශාල වශයෙන් මුදල් යෙදවීම් නොකළ යුතු කාලයක් වේ.

වෘශ්චික - ලිංගික ආකර්ෂණය

ඔබට යහපත් ඵල අත්වන අතර හිත මිතුරන්ගෙන්ද උදව් උපකාර අත්වනු ඇත. විරුද්ධ ලිංගික ආකර්ෂණයටද ලක්වන අතර හවුල් කටයුතුවලින්ද ඵල අත්වන කාලයක් වේ.

ධනු - ඉඩම් වාහන අත්වේ

ඔබටද ඉතා යහපත් ඵල අත්වන අතර පංච මහා පුරැෂ යෝග බලයක් වූ මාලවි යෝගයේ ඵලද ඔබට ලැබෙනු ඇත. උරැම හිමිකම් ලබා ගැනීමටත් අලුත් ඉඩම් වාහන මිලදී ගැනීමටත් යහපත් වන්නා වූ කාලයක් වේ. සේවාස්ථානයේද පැවති ප්‍රශ්න මගහැරී යන කාලයක්ද වේ.

මකර - සමගිය වර්ධනය වේ

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන අතර විනෝද ගමන්වලට සහභාගි වන්නාවූත් කාලයක් වනු ඇත. සහෝදර සහෝදරියන් සමග සමගිය වර්ධනය වන්නාවූත් කාලයක්ද වනු ඇත.

කුම්භ - උගුරේ පීඩා

අනවශ්‍ය වියදම් පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක් වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වෙයි. අන් අයගේ ආදරයද තමාට ලැබෙන කාලයක් වේ. උගුර ආශ්‍රිත පීඩා මතුවනු ඇත.

මීන - පවුලේ සමගිය

ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර පංච මහා පුරුෂ යෝග බලයක් වූ මාලවි යෝග බලය උදාවනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර පවුල් දිවියේ සමගියද වර්ධනය වන්නාවූත් කාලයකි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00