2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සංදේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

සුජීව හෙට්ටිතන්ත්‍රීගේ සංදේශ යවල බෑ කපුටන්ට ගොඩ එන්න කවි එකතුවේ ඇති තේමා සියල්ලම ඔස්සේ දිවෙන සමස්ත අදහසක් මේ සියලුම කවි තුළ සෙවණැල්ලක් සේ දැකගත හැකිය. එය දෛවය හා කර්මය අතර දෝලනය වන අදහසකි. එනම්, හෙට්ටිතන්ත්‍රීගේ විචාරය, වේදනාව, කෝපය, කරුණාව, හාස්‍යය හා ගර්ජනාව ඔස්සේ පෙනෙන්නේ ඔහුගේ කවිවලින් විස්තර කරන ශ්‍රී ලාංකේය සමාජයේ පවතින අනේක ඛේ  දවාචක ඓතිහාසිකව මුල්බැසගෙන ඇති බැවින්, එයින් මිදෙන්නේ කෙසේදැයි කවියාට නොපෙනෙන බවත්ය. කවියාට පමණක් නොව, බොහෝ කාලයක සිට ශ්‍රී ලාංකේය සමාජය විධිමත්ව හදාරන මා වැන්නකුට වුවද මේ පවතින තත්ත්වයන්ගෙන් එතෙර වන්නේ කෙසේද හා එසේ එතෙර විය හැකිද යන්න නිරන්තරයෙන්ම පැනනගින ගැටලුවකි. එය සමස්ත ශ්‍රී ලාංකේය දේශපාලනය සහ එහි පැවැත්මට නිරන්තරයෙන් හා මුග්ධව එක්ව ජවය සපයන සාමාන්‍ය ජනතාව හා ඔවුන්ගේ නායකයන්ගේ අනාගත දැක්ම කියවාගැනීමට ඇති නොහැකියාව නිසා ඇතිවූවක් යැයි මාගේ විශ්වාසයයි. කෙසේ නමුත්, මේ දෛවමය හා පවතින තත්ත්වයෙන් ගොඩ ඒමක් නැත්තේය යන අදහස වඩාත් ප්‍රකට වන්නේ මේ සමස්ත කවි එකතුවටම එහි නාමය සැපයූ සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න කරන්ට් කම්බියක් උඩදි කපුටකු කළ කතාවක් නම් කවි පන්තියෙන් වේ. 

මොණරු හංසයො ගිරව්
සැළලිහිණි කොවුලෝ සැවුලෝ
මුළු ඉතිහාසයෙම කළේ
කපුටන්ට ඇන්දිල්ල
උන් උස්සගෙන ගිය
කිසි සන්දේශයක තිබුණෙ නෑ
කපුටන්ගෙ දුක් ගැනවිල්ල...

ලැබෙන වරදානවලට
රාජ වංශයේ කුමාරිකාවකට
මිනිහෙක් හොයන්න
තවත් බිසවකට
බඩට ළමයෙක් ඉල්ලන්න
පරවි මුත්තෙක් සහ සැළලිහිණි අත්තෙක්
දෙයියන්ට කියපු ඉතිහාසයක් තියෙනවා
අපේ නායක කුරුල්ලන්ට

තාම එක කපුටෙකුට බැරිවුණා
වහලක් තියෙන කූඩුවක මැරෙන්න
අඩු ගාණේ අපිට අයිතියක් නැද්ද
ඔළු ගෙඩියකට නොවැටෙන්න
නිදහසේ පොළොවට කක්කුස්සි යන්න

පැහැදිලිවම, හෙට්ටිතන්ත්‍රීගේ කපුටෝ අපි සැම වන අතර මොණරු, හංසයෝ, ගිරව්, සැළලිහිණින්, කොවුලන් හා සැවුලන් වැනි පක්ෂී ධූරාවලියේ ඉහළ ස්ථරවල වැජඹෙන කාව්‍යමය වශයෙන් සිංහල ව්‍යාකරණයේදී ඓතිහාසික වශයෙන් වරප්‍රසාදිත පක්ෂීන් එදත් අප පාලනය කළ හා අදත් අපව පාලනය කරන පාලක පන්තියයි. ඔහු දකින ලෙස මෙය යාවත්කාලීන යථාවකි.

මා උත්සාහ ගත්තේ සුජීව හෙට්ටිතන්ත්‍රීගේ සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න යන මේ කවි එකතුව කියවීමේදී යොදාගත හැකි එක් ප්‍රවේශයක් පිළිබඳව මාගේ විෂය ක්ෂේත්‍රය ඔස්සේ අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නටය. අන් පාඨකයන්ට මෙය වෙනත් ආකාරවලින්ද කළ හැක. මෙහිදී මා අදහස් කළේ කවියට සමාජවිද්‍යාව හෝ අන් සමාජයීය විද්‍යාවන් විස්ථාපනය කළ හැකි බව කීමට නොවේ. යම් පැහැදිලි තත්ත්ව යටතේ ගන්නා ලද ඡායාරෑප සමාජවිද්‍යාවට විධික්‍රමිකව හෝ පර්යේෂණ ඉලක්කයක් වශයෙන් හෝ පැහැදිලි දිශානතියක් සැපයිය හැකිය යන්න ඒ පිළිබඳව රචනා කළ සියලුම රචනයන් තුළ මා තර්ක කර ඇත්තේ යම් සීමාවන් තුළය. එනම්, ඡායාරෑපවලට මේ හැකියාව ලැබෙන්නේ ස්වාධීන මූලාශ්‍රයක් වශයෙන් පමණක් ඒවා සැලකිල්ලට ගැනීමෙන් නොවේ. ඒවාට මේ හැකියාව ලැබෙන්නේ අන් සියලුම මූලාශ්‍ර මෙන්ම සමස්තයක් වශයෙන් පාඨාන්තරීය කියැවීමකට අවකාශ විවර කළ හැකි මූලාශ්‍ර සමූහයක් අතර පවතින එක් මූලාශ්‍රයක් ලෙස ගත් විටය. මෙලෙසම, සමාජයීය විද්‍යාවන්ට නිර්මාණශීලී ලෙස ඇඳාගත හැකි අන් සියලුම නිර්මාණ කෘති මෙන්ම කවියද එසේ ඈඳාගත යුත්තේ එයින් අන් මූලාශ්‍රද සමගින් සමාජය හා එහි දේශපාලන ගතිකයන් හා සංස්කෘතික ප්‍රවණතා කියැවීමට යම් දායකත්වයක් සැපයිය හැකි නම් පමණි. ඒ වරණය හා එය ක්‍රියාත්මක කළ හැකි තත්ත්ව පිළිබඳ තීරණ ගැනීම විචාරශීලී සමාජවිද්‍යාඥයා සතු කාර්යයකි. මේ අර්ථයෙන් ගත් කල, මා ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳව හෝ පුළුල් වශයෙන් දකුණු ආසියානු සමාජය පිළිබඳව හෝ පාඨමාලාවක් උගන්වන්නේ නම්, සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න යන සුජීව හෙට්ටිතන්ත්‍රීගේ කවි අගනා ප්‍රවේශ හා සාකච්ඡා අවකාශ ගණනාවක් සපයන බවට මට කිසිදු සැකයක් නොමැත.

 සසංක පෙරේරා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00