2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

හෑලි නවකතා නිසා පාඨකයාට කියවීම එපා වෙනවා

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 551

- මහාචාර්ය සෝමරත්න බාලසූරිය

මහාචාර්ය සෝමරත්න බාලසූරිය සම්මාන රාශියක් දිනාගත් ප්‍රවීණ සාහිත්‍යධරයෙකි. ඔහු ලියූ ස්වතන්ත්‍ර කෘති අතරින් වප්මඟුල නවකතාව අතිශය පාඨක ප්‍රසාදයට පත් විය. කෙටිකතා කෘති තුනක් ද රචනා කර ඇති ඔහු විශිෂ්ට පරිවර්තකයෙක් ද වේ. මහාචාර්ය බාලසූරියගේ වප්මඟුල නවකතාව පසුගියදා මධුභාෂිණී දිසානායක විසින් The Sowing Festival නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කර විදර්ශන ප්‍රකාශනයක් ලෙස පළ කෙරුණි.

වප්මඟුල නවකතාව මුලින්ම පළවුණේ දැනට දශක තුනකට කලින්. ඒ ගැන විස්තරයක් කළොත්..?

මේ නවකතාව 1988 දී තමයි මුල්වරට පළවුණේ. ඒ අවස්ථාවේ පිටපත් 5000 ක් මුද්‍රණය කළා. පිටපත් 5000ම කෙටි කලකින් අලෙවි වුණා. පොතට හොඳ ප්‍රතිචාරයක් පාඨක විචාරක දෙපක්ෂයෙන්ම ලැබුණා

ඒ යුගයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතරත් වප්මඟුල කෘතිය ගැන කතාබහක් ඇතිවුණා නේද? 

ඔව්. ඒ කාලේ වප්මඟුල, ගම්උදාව ඇතුළු රාජ්‍ය මට්ටමින් විශාල වියදමක් දරලා සිදුකරන උදාවල් ගොඩක් තිබුණා. ඒවා ගැන විශ්වවිද්‍යාල සිසුන් තුළ දැඩි විචාර, විවේචන පැවතියා. ඒ උත්සවවල තිබූ හාස්‍යජනක ස්වභාවය ඔවුන් දැනගෙන සිටියා. ඒ නිසා ඔවුන්ට මේ පොත සිත් කාවදින සුළු නිර්මාණයක් වුණු බව පෙනුණා.

නමුත් අද විශ්වවිද්‍යාල සිසුන් තුළ මෙවැනි කෘතියක් ගැන වුණත් විශේෂ ප්‍රතිචාර දක්වන බවක් පේන්නෙ නැහැ?

පොදුවේ ගත්තොත් එදාට වඩා ශිෂ්‍යයෝ බහුතරයක් අද විභාග අරමුණු කරන ඒවා පස්සෙන් දුවනවා. ඒ නිසාම ඔවුනට අවිවේකයි. ආර්ථික දරිද්‍රතාවය නිසා පොත් මිලදී ගැනීමට අපහසු ඇති. නමුත් මේ පොත නැවත නැවත පසුගිය කාලයේ මුද්‍රණය වුණා. මේ පොතට අලුත් පරපුරේ අය තුළත් යම් ප්‍රතිචාරයක් තිබෙනවා. ඔවුන් පොත මිලදී ගන්න බව පේනවා. වරින්වර අදහස් ප්‍රකාශ කර එවනවා.

1980 දශකයට වඩා අද සමාජය දියුණුවෙලා. ඔබ එදා කතා කරපු හාස්‍යජනක දේශපාලන ස්වරෑපය අද වෙනස් වෙලාද?

ඇත්තවශයෙන් විශාල වෙනසක් සිදුවෙලා නෑ. ඒ දවස්වලත් රාජ්‍ය ව්‍යාපෘති දියත් කිරීමට විශාල උත්සව ගත්තා. රාජ්‍ය නිලධාරී පැලැන්තියම ඒකට පෙළගැස්සුවා. මේ නිසා සාමාන්‍ය මිනිසකුට වෙනත් රාජකාරියක් කර ගැනීම පවා අපහසු වුණා. දැන් තරමක් ඒ තත්ත්වය වෙනස්වෙලා වුණත්, අදත් විශාල ලෙස වියදම් කර පවත්වන උත්සව අපට දකින්න ලැබෙනවා. ග්‍රාමසේවක පටන් රාජ්‍ය නිලධාරීන්, අධිකරණය, පොලීසිය මේ කෘතියෙන් විවේචනයට ලක්වෙනවා.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති මේ පොතට පෙරවදන සපයමින් පවසන්නේ මෙය Tragic Comic ශානරයේ කෘතියක් බවයි. ඔබ එයට එකඟද?

ඔව්. මා ඒ හැඳින්වීමට එකඟයි. ඒ අපේක්ෂාවෙන් තමයි මේ පොත ලිව්වේ. නමුත් මුලින්ම නවකතාව ලිව්වේ සාමාන්‍ය නවකතාවක් ලෙස තරුණයාගේ උත්තමපුරැෂ දෘෂ්ටිකෝණයෙන්. තරුණයා තමයි කතාව කියාගෙන යන්නේ. ඒක දීර්ඝ නවකතාවක්. ඒක මාස හය - හතක් තබාගෙන නැවත කියවන විට තේරුණා මට අවශ්‍ය දේ ඉන් නොකියවෙන බව. ඊටපසු බහු දෘෂ්ටිකෝණයෙන් නැවත කෙටි නවකතාවක් ලෙස ලිව්වා. එය හාස්‍යමය ඛේදාන්තයක් බවට පොත පත්කිරීමට මට උපකාරී වුණා.

ඔබ වප්මඟුල අත්පිටපත කිහිපවරක්ම කියවා සංශෝධනය කළ බව පැවසුවා. අද බහුතරයක් බිහිවන තරුණ පරපුරේ නවකතා එලෙස සංස්කරණය කරන බවක් පේන්නෙ නැහැ නේද..?

ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. අපි මුල්වරට ලියන්නේ බොහොම හැඟීම්බරව. එහි දිග ප්‍රමාණය, ඇතුළත් කළ යුතු සිද්ධි, නොකළ යුතු සිද්ධි ගැන නොසිතා අපි දන්නා සියල්ලම කතාවට එක් කරනවා. දෙවැනි තුන්වැනි වර කියවන විට තමාට කෘතියෙන් පැවසීමට ඇති අරමුණට පමණක් අදාළ අවස්ථා, සංවාද ඉතිරි කර අනෙක් කොටස් ඉවත් කිරීමට සිදුවෙනවා. නවකතාව වඩාත් ඔපවත් වන්නේ එවිටයි. වප්මඟුල සිංහල පොත වගේම ඉංග්‍රීසි කෘතියත් නොනවත්වා කියවීමට හැකි වූ බව පාඨකයන් පවසනවා. එවැනි ගලායාමක් ඇතිවන්නේ කිහිපවරක් සංශෝධනය කිරීමෙන්.

මෙලෙස පොත් සංස්කරණය කිරීමක් ගැන අද සමහර ලේඛකයන්ට අවබෝධයක් නැද්ද?

නවකතාව කියන්නේ තමන්ගේ අත්දැකීමක් එළිදැක්වීමක් බව බොහෝ දෙනා සිතනවා. ඒක වැරදියි. තමන්ට ලැබුණු අත්දැකීමක් එළිදැක්වීම වැදගත්ද? ඉන් සමාජයට වැදගත් කුමන කොටස්ද? එයට අලුතින් උපකල්පනය කර ඇතුළත් කළ යුතු දෑ මොනවාද ආදී වශයෙන් කල්පනා කළ යුතුයි. සියල්ල කිරීමට කිහිපවරක් අත්පිටපත ලිවීමත්, කියවීමත් අවශ්‍යයි.

සමහර විචාරකයන් වප්මඟුල දේශපාලන නවකතාවක් ලෙස හඳුන්වනවා. අද බහුතරයක් නවකතාවලට වත්මන් දේශපාලනය විෂය වන්නේ නෑ නේද?

ඔව්. බොහෝ දෙනා ටෙලිනාට්‍ය ආභාෂයෙන් හෝ තරැණවියේ අත්දැකීම් ආශ්‍රයෙන් ප්‍රේම කතා ලියනවා. මම මේ පොතට ප්‍රේමය ගාවලවත් නෑ. මෙහි සිටින්නේ පොලීසියෙන්, අධිකරණයෙන්, දේශපාලනඥයන්ගෙන් බැට කෑ පිරිස්. ඔවුන්ට ප්‍රේම කරන්න වෙලාවක් නෑ.

ඉස්සර චිත්‍රපට බලලා ඒ අනුසාරයෙන් නවකතා ලියන පිරිසක් හිටියා. නමුත් ඒවායින් නරකක් වුණේ නෑ. ඒ කාලේ අදට වඩා පොත් කියවන පිරිසත් වැඩියි.

වප්මඟුල පොතේ ඉංග්‍රීසි පරිවර්තනය ගැන අදහස කුමක්ද?

ඒකෙ හොඳ ගලාගෙන යන ස්වභාවයක් තිබෙනවා. පොතට අදාළ ගලාගෙන යන සරල ආඛ්‍යානයක් තිබෙනවා. මධුභාෂිණී ඒ ශෛලිය අල්ලාගෙන පොත ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා. ඇය මෙහි සිංහල පොත මුලින්ම කියෙව්වේ පාසල් යන වයසේදීයි.

ඉංග්‍රීසි පරිවර්තනයට ලැබෙන ප්‍රතිචාර කෙසේද?

දැනට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

වර්තමාන නවකතා කලාව ගැන ඔබ මොකද හිතන්නේ?

පැවසිය යුතු ප්‍රධාන සාධකයක් තිබෙනවා, ලේඛකයන් සැලකිල්ලට නොගත යුතු. දීර්ඝ නවකතා ලිවීම බහුලයි. සමහර පොත් පිටු 500කටත් වැඩියි. යුරෝපයේ බොහෝ නවකතා ඉතා සංක්ෂිප්තයි. මහල්ලා සහ මුහුද, පිටස්තරයා වගේ පොත්. අදට ඔබින්නේ සංක්ෂිප්ත නවකතා බවයි මගේ හැඟීම. හෑලි නවකතා ලිවීමෙන් පාඨකයා කියවීමෙන් ඈත්වෙනවා.

කුසුම්සිරි

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00