2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

වී මිල කුසලානයේ හිමිකරු ආණ්ඩුවද මුදලාලිද?

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගොවියාගෙන් වී මිලට ගැනීමේ ව්‍යාපෘතියක් මේ වනවිට ජනාධිපති කාර්යාලය මගින් අරඹා ඇත. “2019/20 මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ” යනුවෙන් ජනාධිපති ලේකම්වරයා අදාළ අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ටද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාටද මේ පිළිබඳ චක්‍රලේඛ උපදෙස් නිකුත් කර තිබේ.

මෙයට පෙර කන්නවලදී ආණ්ඩුව වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පිඹුරුපත් සකස් කරනවිට කන්නයේ බාගයක් පමණ ඉකුත් වී හමාරය. එවිට ආණ්ඩුවට මිලට ගන්නට ඉතිරිවන අස්වැන්නක් නැති තරම්ය. එහෙත් මෙවර විශේෂයක් වන්නේ මහ කන්නයේ ගොයම් කැපීම ආරම්භවීමට පෙරදීම රජයේ මිලදී ගැනීමේ වැඩපිළිවෙළ කරලියට පැමිණීමය. එපමණක් නොව ඉතිහාසයේ ප්‍රථම වතාවට වී අලෙවි මණ්ඩලය ප්‍රමිතියෙන් අඩු වී ද මිලදී ගැනීමට සූදානම්ව සිටී. ජනාධිපති කාර්යාල චක්‍රලේඛයට අනුව නිසි ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් රුපියල් 50කටද තෙතමනය සියයට 14 හා 22 අතර පවතින වී කිලෝව රුපියල් 44ට මිලට ගැනීමට යන බව නිවේදනය කර තිබේ.

සාමාන්‍යයෙන් වී වගාකරන දිවයිනේ සෑම ප්‍රදේශයකම මෙතෙක් වී කිලෝවක් විකිණෙන මිල අනුව රජය ගන්නා මිල බොහෝ ඉහළය. එම මිලට දෙන්නට ලැබෙතොත් එය මෝල් හිමියන්ගේ ග්‍රහණයට ලක්වී සිටින දුප්පත් ගොවියාට විශාල සහනයක් වෙයි.

එසේම මෙම අලුත් චක්‍රලේඛයට අනුව ගොවියාට තමා දුන් වී වලට මුදල් ලබාගැනීම ද පහසුකර තිබේ. වෙනදාට වී අලෙවි මණ්ඩලයට වී ලබාදී මුදල් ලබා ගැනීමට උප දිසාපති කාර්යාලවලට හා වී අලෙවි මණ්ඩල මධ්‍යස්ථානවලට දිනපතා බඩගාන්නට සිදුවූ ගොවියාට මෙවර පහසුවෙන් මුදල් ලබා ගැනීමට කටයුතු සලසා ඇති බව පෙනී යයි.

මෙහිදී මිලදී ගන්නා වී තොග සඳහා ගොවියා නමට වටිනාකම සඳහන් ගෙවීම් සහතික පතක් නිකුත් කරනු ලබන අතර, එය වී අලෙවි මණ්ඩලයේ සහ දිසාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු සහතික කළ පසු එය ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අදාළ ශාඛාවලට ඉදිරිපත් කළ විට ගොවියාගේ බැංකු ගිණුමට අප්‍රමාදව මුදල් බැරකරන බව චක්‍රලේඛයේ සඳහන්ය.

එසේම එක් ගොවියකුගෙන් වගාකර ඇති භූමි ප්‍රමාණය අනුව වී මිලදී ගැනීමට ක්‍රමයක්ද සකස්කර ඇති අතර, අක්කර 1 දක්වා කිලෝග්‍රෑම් 1000 බැගින්ද, අක්කර 1-3 අතර කිලෝග්‍රෑම් 3000 බැගින්ද අක්කර 3-5 දක්වා ගොවීන්ගෙන් උපරිම වී කිලෝ 5000 බැගින්ද මිලදී ගැනීමේ ක්‍රමයක් සකස් කර ඇත.

කෙසේ වුවද මෙම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් එය වී මිලට යම් බලපෑමක් ඇතිකළ හැකි අතර එයින් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද යම් සහනයක් සිදුවිය හැකි බව පැවසිය හැකිය. සාමාන්‍යයෙන් ආණ්ඩුවට මිලදී ගත හැකි වන්නේ උපරිමයෙන් කන්නයේ සමස්ත අස්වැන්නත් සියයට 10කට අඩු ප්‍රමාණයක් වුවද එම ප්‍රමාණය හෝ නිවේදනය කර ඇති මිලට ආණ්ඩුවට දීමට ගොවියාට හැකිවන්නේ නම් මුදලාලිලා කුණු කොල්ලයට වී මිලදී ගැනීම යම් පමණකට හෝ සීමා කිරීමක් සිදුවිය හැකි යැයි කෘෂිකර්ම විශ්ලේෂකයෝ පවසති.

වැඩි කොටස ගන්නේ ලොකු මුදලාලිලා
රාජාංගණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සහ ජාතික ඒකාබද්ධ ගොවි සංගමයේ ලේකම් නිහාල් වන්නිආරච්චි:

“ජනාධිපති කාර්යාලය මැදිහත්වෙලා ගොවීන්ගෙන් වී මිලට ගැනීම ආරම්භ කිරීම හොඳයි. එහෙත් මෙය විධිමත්ව සිදුවිය යුතුයි. මෙච්චර කලක් ආණ්ඩුව වී මිලට ගන්නවාය කියන එක ගොවියන්ට දැනුණේ නැහැ. එයින් වෙළෙඳ පොළේ මිලට බලපෑමක් හෝ ගොවියාට යහපතක් සිදුවූවේ නැහැ. නමට පමණක් සිදුවූ අතර ගොවියා වැඩිපුරම නැඹුරැවූයේ පෞද්ගලික ගැනුම්කරුවන් වෙතයි. එයට හේතුව ආණ්ඩුවට වී දීම වගේම දුන් වී වලට මුදල් ගැනීමට අපහසු නිසයි. එහෙත් මෙවර හෝ එම තත්ත්වය වෙනස්වනවා නම් හොඳයි.

ලබන 20 පමණ වනවිට අනුරාධපුරේ සියයට 50 පමණ ගොයම් කැපෙනවා. දැන් මුලතිව් කිලිනොච්චි ප්‍රදේශවල නම් බොහෝ සේ අස්වැන්න වෙළෙඳපොළට එනවා. මේ අස්වැන්න මුළුමනින්ම වාගේ ගන්නේ පෞද්ගලික මෝල් හිමියන් තමා. තවම ආණ්ඩුව වී මිලට ගැනීම ආරම්භ කරලා නැතිවීම එයට හේතුවයි.

බැංකු ණය වැඩිවශයෙන් ලැබෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටයි. සුළු හා මධ්‍ය පරිමාණ අයට ණයගන්න අමාරුයි. ඒ නිසා ඒ අයට පුද්ගලික අයගේ පිහිට සොයන්න වෙනවා. ඒ ණයවලට හිලව්වට වී දෙන්නයි වෙන්නේ. ආණ්ඩුව වී කිලෝව රුපියල් 50ට ගන්නවාය කියලා කිව්වට ඒ නිසාම පුද්ගලික වෙළෙඳුන් ඒ ගාණට වී ගන්නේ නැහැ. එහෙම වෙනකොට කියන ගානට දෙන්න දෙනවා. ආණ්ඩුව ගත්තත් ගන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් හින්දා වී අලෙවි කර ගන්න නම් මුදලාලිලාගේ පිහිට ලබන්න ගොවියාට සිද්ධ වෙනවා. මේ කන්නයේදී එම තත්ත්වයට මුහුණදීම හැර වෙනත් සහනයක් ගොවියාට ලැබෙයි කියලා හිතන්න බැහැ.

පොරොන්දු වන මිලයි ඇත්ත මිලයි අතරේ වෙනස ලොකුයි
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න:

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක නොවන බවයි කිවහැකි වන්නේ. මෙයට පෙරත් පැවැති රජයවල් ගොයම් කැපෙන කාලවලට විවිධ මිල ගණන්වලට වී මිලදී ගැනීමේ ක්‍රමවේද දියත් කළා. එහෙත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ. සාමාන්‍යයෙන් කන්නයේ කැපෙන වී වලින් රජය මිලටය ගන්නේ සියයට 5-7ක විතර සුළු ප්‍රමාණයක්. ඒත් ඒකවත් හරියට ගන්න රජයට ක්‍රියා පිළිවෙළක් නැහැ. අනිත් එක රජය වැඩිමිලට වී ගන්නා බව ප්‍රකාශ කළාට වෙළෙඳපොළේ වී මිලට එය බලපාන්නේ නැහැ. එයට වඩා අඩු මිලට තමා ගොවියාට වී විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැමදාම වෙන්නේ ඒ දෙයයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශය අනුව නාඩු වී රුපියල් 52ට. සම්බා 57ට සහ කීරි සම්බා 63ට ගන්න බවටයි පොරොන්දු වුණේ. ගොවීන් වැඩිපුර හදන්නේ නාඩු. ඒත් නාඩුවලට ගෙවන මිල බොහොම අඩුයි. කොහොම වුණත් නාඩු 38, සම්බා,  කීරි සම්බා 50ට තමයි මේ වනවිට ගන්නේ. පොරොන්දු වූ මිලයි සත්‍ය මිලයි අතරේ වෙනස ලොකුයි.

දැනටමත් පෞද්ගලික මෝල් හිමියන් කුඹුරැවලට ගිහින් අඩු මිලට වී ගන්නට පටන් අරන් තියෙනවා. තවමත් සමස්ත අස්වැන්නෙන් සියයට 15ක් පමණයි කැපිලා ඇත්තේ. පුංචි වාරි සහ ගොඩ වී තමයි මේ වනවිට කැපිලා ඇත්තේ. මහා පරිමාණ වී මෝල් හිමියන් එම වීද සියල්ලම දැන් සිටම ගසා කෑම අරඹලා. ඉදිරියටත් තත්ත්වය වෙනස් වෙයි කියලා හිතන්න බැහැ.

අස්වැන්න එන්නේ මාර්තු මාසයේයි. ඒත් දැනටමත් රුපියල් 32-33ට වී මිල බැහැලා. සියල්ල කැපෙන විට මෙයටත් වඩා අඩුවේවි. එවිට සියලු අස්වැන්න පැරණි විදියට මහ මෝල්හිමියන් අතට පත්වේවි. සුපුරුදු පරිදි ඒ අය කුණු කොල්ලයට වී අරගෙන ගබඩා කර තබාගෙන ඉහළ මිලට විකුණනවා.

ආණ්ඩුව ආරම්භ කර ඇති වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ තවම ක්‍රියාත්මක වී නැහැ. නිසි ප්‍රමිතියෙන් යුතු කිලෝග්‍රෑමය රුපියල් 50 බැගින් තෙතමනය සහිත වී රුපියල් 44 ගණනේ තබාගන්නා බව සඳහන් වන්නේ. මෙහිදී ආණ්ඩුවේ කොන්දේසි තදයි. උපරිම තෙතමනය සියයට 14ක් සහ බොල් සියයට 9ක් නොඉක්මවිය යුතු බව සඳහන්. එසේම තෙතමනය සියයට 14ක් සහ 22 අතර වී කිලෝව රුපියල් 44ටයි ගන්නේ. කෙසේ වුණත් ආණ්ඩුවට වී දීමේදී ගොවියාට හරිහැරයට පාත්‍රවීමට සිදුවන නිසා ඔවුන් ආණ්ඩුවට වී දීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. එම රාජකාරිවල නිරත නිලධාරීන්ද කටයුතු කරනුයේ ගොවියන් අපහසුතාවට පත්වන අයුරුයි. එසේම මුදල් ලබා ගැනීමටද ප්‍රමාද වෙන්නට සිදුවෙනවා. ණයවෙලා ගොවිතැන් කරන ගොවියාට ඉක්මණින් මුදල් ලබාගැනීම අවශ්‍යයි. ඒ නිසා අඩු මිලට හරි දීලා වහාම සල්ලි ගන්නයි ඒ අයට අවශ්‍ය. ඒ නිසයි මේ ක්‍රමය අසාර්ථක වෙන්නේ.

හාල්වලට පාලන මිලක් තියෙනවා. නාඩුවලට රුපියල් 98යි. සම්බා 99 ආදී වශයෙන්. මෙයට වඩා වැඩිමිලට සහල් විකුණන්න බැහැ. එහෙත් පාලන මිලට අඩුවෙන් වී මිලට ගැනීමට පුළුවන්. එහෙම නම් ආණ්ඩුව කළ යුත්තේ උපරිම පාලන මිලට අඩුවෙන් වී මිලට ගැනීම තහනම් කරලා නියෝග පැනවීමයි. එහෙම කළොත් කුණු කොල්ලයට වී ගැනීම යම් පමණකට හෝ නවත්වන්න පුළුවන් වේවි.

රුපියල් 50ට වී ගැනීම දැනටමත් පටන් අරන්
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන:

වෙන කාලවලට රජය වී මිලදී ගැනීම ආරම්භ කරන්නේ බොහෝ ප්‍රමාද වෙලයි. මාර්තු මාසයේදී තරම්. ඒ වනවිට ගොවීන් පෞද්ගලික ගැනුම්කරුවන්ට වී දීලා ඉවරයි. එහෙත් මේ පාර විතරයි මේ වැඩපිළිවෙළ ඉක්මණින් ක්‍රියාත්මක කළේ. ඒ අනුව ජනවාරි 27දා සිට කිලෝව රුපියල් 50 බැගින් වී මිලදී ගැනීම ආරම්භ කරලා තිබෙනවා. පසුගිය සතියේ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් සහ දිසාපතිවරුන් කැඳවලා අවශ්‍ය උපදෙස් දී මේ වැඩපිළිවෙළ 27දා සිට ආරම්භ කළා. අවශ්‍ය උපදෙස් ජනවාරි 24දා ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරලා තියෙනවා.

අනිත් කාරණය තමා යම් තෙත ප්‍රමාණයක් ඇති වීද කිලෝව රුපියල් 44 ගණනේ මිලයට ගැනීමට පටන් ගැනීම. රජය තෙත වී මිලට ගැනීම ආරම්භ කළේද මේ ප්‍රථම අවස්ථාවටයි. මෙයට පෙර නිසි ප්‍රමිතියෙන් යුතු වී මිස තෙත වී ගත්තේ නැහැ. එලෙස තෙත වී මිලට ගැනීමද ගොවියාට විශාල සහනයක්. මෝල් හිමියාට කුණු කොල්ලයට නොදී සාධාරණ මිලකට රජයට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ පිළිබඳ ගොවීන් තුළ විශාල උනන්දුවක් ඇතිවෙලාද තියෙනවා.

එසේම මිලට ගත් වීවලට මුදල් ගෙවීමද පහසු කරලා. මිලදී ගන්නා තොග සඳහා අදාළ ගොවියා නමින් වටිනාකම සඳහන් ගෙවීමේ සහතික පත්‍රයක් ප්‍රදේශීය ලේකම් විසින් නිකුත් කරනු ලබන අතර, එම සහතිකය ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අදාළ ශාඛාවට ඉදිරිපත් කර මුදල් තමන්ගේ ගිණුම්ගත කර ගැනීමටද පහසුකම් සලසා තිබෙනවා. ඒ නිසා පෙරදී මෙන් මුදල් ලබා ගැනීමට රස්තියාදු වීමට ගොවියාට සිදුවන්නේ නැහැ.

වී වලට සහතික මිල රුපියල් 50ට නියම කිරීම නිසා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාවි යැයි සමහරුන් කියනවා. එහෙත් එය පිළිගත හැක්කක් නොවෙයි. හාල් කිලෝවකට රුපියල් 75 වටිනා වී තමා පාවිච්චි වෙන්නේ. ඒ අනුව සියලු වියදම් පියවා රුපියල් 90කට අඩුවෙන් සහල් අලෙවි කරන්න පුළුවන්. ඒ නිසා කිසිලෙසකින්වත් සහල් මිල ඉහළ යන්නේ නැහැ. සුදු හා රතු කැකුළු කිලෝවද රුපියල් 85-90 අතර අලෙවි කළ හැකියි.

වී අලෙවි මණ්ඩලයට රටේ නිපදවන සියලුම සහල් මිලට ගන්න බැහැ. ඉතාම සුළු කොටසක් ගන්නේ. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණයි ගන්නේ. එහෙම අරගෙන ගබඩා කර තබාගෙන නොවැම්බර් දෙසැම්බර්වල සහල් හිඟ වූ විට වෙළෙඳ පොළට දමන්න පුළුවන්. අනිත් ප්‍රයෝජනය තමා ආණ්ඩුව වී මිලට ගන්නා මුදල වැඩිකළ විට ඒ නිසා වෙළෙඳපොළේ වී මිල ඉහළ යන්න පුළුවන්. ආණ්ඩුව තෙතමනය සහිත වී රුපියල් 44ට ගන්නා විට පෞද්ගලික වෙළෙඳුන්ටද වී කුණු කොල්ලයට ගන්න බැරිවෙනවා. එය ගොවියාට සහනයක්.

ජනාධිපතිවරයා පොරොන්දු වූ මිලට වී මිලට ගන්න බැරිවෙලා තියෙන බව ඇත්තයි. මෙහිදී පාරිභෝගිකයා සහ ගොවියා යන දෙපාර්ශ්වය ගැනම බැලිය යුතුයි. ඒ නිසා වෙළෙඳපොළේ සහල් මිලද අඩු මට්ටමකට තියාගන්න වෙනවා. ඒ නිසා තමයි දෙපාර්ශ්වයටම වාසිවන මිලකට ආණ්ඩුව සහල් ගන්න තීරණය කළේ. නියම ගොවියන් නම් මේ මිලට කවදාවත් අකමැති වෙන්නේ නැහැ. අවුරුදු 5කට පසුවයි මේ මිලට වී අලෙවි මණ්ඩලය වී මිලට ගන්නේ. එය හොඳ ප්‍රවණතාවක්.

යසවර්ධන රුද්රිගු