නිරූපණය හා රංගන ශිල්පිනියක වන පියුමි හංසමාලි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ කළ දුරකථන සංවාදයක හඬපටයක් අන්තර්ජාලයේ සංසරණය වේ. ඒ තුළ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ප්‍රියංග පුෂ්පකුමාර හෙවත් ප්‍රියාන් මැණික් හිමිකරු සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත. එහිදී රංජන් පියුමි දෙපළ එක්ව ප්‍රියාන් මැණික් වෙතින් ලබාගත් ණය මුදලක් නැවත නොගෙවා සිටීමට ගන්නා උත්සහයක් පිළිබඳ අසන්නට ලැබේ. නොනැවතී වාර්තා වන රංජන් රාමනායක හඬපට අතර තමන්ගෙන් ලබාගත් ණය මුදල නැවත නොගෙවීමට රංජන් - පියුමි ගන්නා උත්සහයට එරෙහිව ප්‍රියාන් මැණික් හිමිකරු පොලිසියට පැමිණිලි කොට ඇතැයි වාර්තා වන්නේ මේ අතරය.
පියුමි හංසමාලි නැමැත්තිය විසින් නැවත ලබාදෙන පොරොන්දුව මත තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ හයක මුදල හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හා එක්ව ආපසු නොදී මඟහැර සිටින බව කියමින් ප්‍රියාන් මැණික් හිමිකරු විසින් කොළඹ කොටුව පොලිසියට අදාළ පැමිණිල්ල ඉදිරිපත්කොට තිබුණේ පසුගිය 25 වැනිදාය.
රංජන් රාමනායක මහතාගේ එම හඬපට ඔස්සේ මුදල නොගෙවා සිටීමට බලපෑම් කිරීමේ උත්සහයකට රංජන්ගේ ද සබඳතාවක් ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් සැබෑ වශයෙන් මුදල් ගනුදෙනුව සිදුව ඇත්තේ පියමු හංසමාලි හා ප්‍රියාන් මැණික් හිමිකරු සමඟය. පියුමි නිරූපණ හා රංගන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධ වෙද්දී ප්‍රියාන් මැණික් හිමිකරු ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයකු ලෙස වඩාත් ප්‍රසිද්ධ වන්නේ අන්තර්ජාල, වෙබ් අඩවි හරහාය. මේ අතරතුර වන පියුමිට එරෙහි පැමිණිල්ල නිසා ඔවුන් වෙත කාගේත් අවධානය යොමුව පවතී. එබැවින් මේ සිදුවීමේ සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා ප්‍රියාන් මැණික් හිමිකරු ප්‍රියංග පුෂ්පකුමාර මහතා සමඟ කතා කළෙමු.
“පියුමි හංසමාලි කියන්නේ ප්‍රසිද්ධ චරිතයක්නේ. ඒ නිසා දන්නවා. මම මුහුණු පොත භාවිත කරනවා. මුලින්ම ඇය තමයි මට මුහුණු පොතේ මිතුරු ඉල්ලීමක් යොමු කරලා තිබුණේ. පස්සේ කතා කරලා ඊටත් පස්සේ වීඩියෝ කෝල් එකක් අරගෙන කතා කරලයි අඳුනා ගත්තේ. ඒ මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින්. පස්සේ එයාගේ උපන් දිනය දවසට දානයක් සූදානම් කරලා තිබුණා නෙළුව පැත්තේ. මාත් ඒකට සහභාගී වුණා. රෝද පුටු වගයක් එහෙම දුන්නා. එදා තමයි මුලින්ම පියුමි මට හම්බවුණේ. අනතුරුව කොළඹ ගලදාරී හෝටලයේ ඇයගේ උපන්දින පාටියට මමත් සහභාගී වෙලා කෑම කාලා තෑග්ගක් දීලා ආවා. ඊට පස්සේ හම්බුණේ නෑ. හිතවත්කමට දුරකතනයෙන් කතා කළා විතරයි.”
ප්‍රියාන් මැණික් හිමිකරු පියුමි හංසමාලි හඳුනාගැනීම පිළිබඳ කීවේ එවැන්නකි. පසු කලෙක තිබූ හිතවත්කම නිසා පියුමි විසින් තමාගෙන් ණයට මුදලක් ඉල්ලූ බවත් එය කොටස් වශයෙන් ගෙවීම සිදුකරන්නේ යැයි ඇය කී බවත් පවසයි. ඒ පිළිබඳ කියන ප්‍රියංග පුෂ්පකුමාර.
“අවුරුද්දකට විතර කලින් දවසක් මට කතා කරලා ණයට රුපියල් ලක්ෂ හයක් ඉල්ලුවා. සැලුන් එකක් පටන් ගන්න සහ ගෙදර කුලිය ගෙවන්න අවශ්‍යයි කියලයි ඉල්ලුවේ. හිතවත්කමට මම දෙන්නම් කීවා. සල්ලි ගන්න අපේ ගෙදර එන්නම් කීවා යාළුවෙකුත් එක්ක. මම ඒකට එපා කියලා යන ගමන් ඉන්න තැනකට ගෙනත් දෙන්නම් කීවා. මම එදා ලක්ෂ හය දුන්නේ ගෝල්ෆේස් එක ළඟදී. පියුමිගේ තවත් යාළුවෙකුත් එතැන හිටියා. එන ගමන් ඒ දෙන්නා පියුමිගේ ගෙවල් ළඟින් බස්සලයි මම ආවේ. සල්ලි ගන්නකොට පොරොන්දු වුණා බිස්නස් එක හදාගන්නකම් මාසෙකට රුපියල් 50,000 ගානේ මාස හයකිනුත් ඉතිරිය මාසෙට ලක්ෂය ගානේ මාස තුනකින් ගෙවනවා කියලා. මම චන්දිමාල් ජයසිංහ අඳුරනවා. සල්ලි දෙන්න කලින් එයාගෙනුත් මම ඇහුවා පියුමි සල්ලි ඉල්ලූ බව මම කීවා. එයත් කීවා මගෙනුත් ලක්ෂ පහක් අරන් තිබුණා. අවුලක් නෑ දෙන්න කියලා. ඒ විශ්වාසයත් එක්කයි මම සල්ලි දුන්නේ. දැන් සල්ලි අරගෙනත් අවුරුද්දක් විතර වෙනවා.”
එතෙක් කල් ගියද ප්‍රියාන් මැණික් වෙත ණය මුදල හෝ කොටසක්වත් ලැබී නැත. අවස්ථා කිහිපයකදී මතක් කළද ඇය ප්‍රකාශ කර තිබුණේ තවම ව්‍යාපාරය ආරම්භ නොකළ බවය. මේ අතර රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද සහිත හඬපය ප්‍රසිද්ධ වෙමින් සමාජජාලා වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබිණි. එහි එක් හඬපටයක රංජන් - පියුමි අතර සංවාදයක් පැවති අතර ප්‍රියාන් මැණික් ගනුදෙනුව පිළිබඳව ද දෙදෙනා අතර සාකච්ඡා කෙරිණ. එහිදී ණය මුදලේ හිමිකරු ප්‍රියංග පුෂ්පකුමාර යන අය බිය ගන්නවන්නම් යැයි රංජන් රාමනායක විසින් ප්‍රකාශ කරන බව අසන්නට ලැබේ. එම හඬපටය වඩාත් ප්‍රසිද්ධ වූයෙන් ප්‍රියාන් මැණික් හිමිකරු පියුමි හංසමාලි අමතා ණය මුදල ඉල්ලා ඇත. එහිදී ඇය ණය ගෙවන බවත් දැනට මුදල් නොමැති බවත් කියා තිබිණ.
“හඬපටයෙන් පසුවත් මම සල්ලි ඉල්ලුවා. සල්ලි නෑ නමුත් දෙන්නම් කීවා. ඒ නිසා මම කීවා එහෙම නම් සල්ලි ගත් බවත් නැවත ගෙවන බවටත් නීතිඥවරයකු ළඟ අත්සන් කරමු කියලා. කලින් එහෙම නොකළේ විශ්වාසයටනේ. එහෙම කරන්න බෑ කියලා පියුමි කීවා. ඊට පස්සේ එහෙම නම් මම පොලිසි යනවා කීවා. එතනදී පොලිසි බැරිනම් ඕන තැනක යන්න ඕන දෙයක් කරගන්න කියලා කීවා. ඉතින් මම කොටුව පොලිසියට ගිහින් පැමිණිලි කළා.”
පියුමි හංසමාලි හා ප්‍රියාන් මැණික් අතර ලක්ෂ හයක ගනුදෙනුව පිළිබඳ කතාව වාර්තා වන්නේ එසේය. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා රංගන ශිල්පී පියුමි හංසමාලිගේ ජංගම දුරකතනයට අවස්ථා කිහිපයකදී ඇමතුම් ලබාගත්තද ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. ඇල්පිටිය ප්‍රදේශයේ උපන් ප්‍රියංග පුෂ්පකුමාර ආයතන කිහිපයක විවිධ රැකියාකොට ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණි අයෙකි. මැණික් විද්‍යාව පිළිබඳ උපාධිධරයකු වන ඔහු දක්ෂ ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයෙක් වශයෙන් කටයුතු කරයි.
අදාළ පැමිණිල්ල පිළිබඳව කොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
► සමන්ත ප්‍රදීප් විල්තෙර