2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

අලුත් කෝච්චි එන්ජින් 10ක් කොට උඩ!

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා කවි පදය අප කුඩා කාලයේ ඇසූ කවියකි. බොහෝ කල් ඇවෑමෙන් අදත් දුම්රියක් ඇස ගැටෙන ඇතැම් විටෙක ඒ කවියම සිහියට නැගේ. වසර සියයකට ආසන්න කාලයක් මෙරට දුම්රිය ධාවනය වූයේ වාෂ්ප බලයෙනි. ඒ සඳහා ශක්තිය ලැබුණේ ගල් අඟුරු සහ ජලයෙනි. අඟුරු කකා වතුර බිබී හැල්මේ පීලි උඩ දුවගිය ඒ යකඩ යකාගේ අද ස්වරෑපය අලුත් පන්නෙට - අලුත් කාලෙට සැකසී තිබුණත් එදා මෙදා තුර පරිණාමයේ සිහිගන්වන අක්‍රීය මතක අදටත් ශේෂය.

තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස දුම්රිය සඳහා ඩීසල් එන්ජින් කරළියට පැමිණීමත් සමඟ ගල් අඟුරුවලින් දිවගිය යකඩ යකා ඉබේටම මුළු ගැන්වුණි. 50 දශකයේ මුල් භාගය වන තෙක්ම මෙරට ජන ජීවිත හා බැඳි දැවැන්ත මෙහෙයක් ඉටු කළ යකඩ යකා කෙමෙන් කෙමෙන් අභාවයට යන්න විය.

වර්තමානයේ දුම්රිය මගීන්ගේ ගමනාගමනය සීඝ්‍රයෙන් වැඩි වීමත් දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින්වලින් සියයට 55ක් වසර 30ක සේවා කාලය ඉකුත් වී ඇති නිසාත් දුම්රිය එන්ජින් කට්ටල මිලදී ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය රජය සමයේ තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාවෙන් ගෙන්වා ඇති එම් 11 වර්ගයේ දුම්රිය එන්ජින් දහය සඳහා ඉන්දීය කෝටි 100ක් වැය වී ඇති අතර එලෙස ගෙන්වන ලද දුම්රිය එන්ජින් 10න් මේ වනවිට ධාවනය වන්නේ දුම්රිය එන්ජින් තුනක් පමණි. ඒ කොළඹ කන්කසන්තුර දුම්රිය එන්ජින් දෙක සහිත යාල්දේවි දුම්රිය සහ කොළඹ සහ පොල්ගහවෙල දක්වා ධාවනය වන දුම්රියෙනි. අනිත් දුම්රිය එන්ජින් සියල්ලම දුම්රිය අංගනයේ ගාල්කර තිබේ.

මෙරට දුම්රිය මාර්ග පද්ධතියට මෙම ටොන් 120ක පමණ බරකින් යුක්ත දුම්රිය එන්ජින් කිසිසේත්ම ඔරොත්තු නොදෙන බවත් දුම්රිය පීලි ඇද වී හානියට පත්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. අධික බරකින් සහ දිගින් වැඩි මෙම එන්ජින් සහ තිරිංග පද්ධතියට ගැලපෙන මැදිරි මෙරට ඇත්තේ 30ක් වැනි සුළු ප්‍රමාණයක් බැවින් මෙම එන්ජින් මෙරටට ගෙන්වා නිරපරාදේ ගාල් කර තිබෙන බවද වෘත්තීය සමිති චෝදනා කරයි.

නොගැලෙපන බව මුලින්ම කිව්වා
දුම්රිය නියාමකයන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස්

මේ අලුතින් ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් අපේ රටට ගැලපෙන්නේ නැති බව මම මුල සිටම කියා සිටියා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. මේ දුම්රිය ඇන්ජින් විශාලයි. දිගින් වැඩියි වගේම මේ එන්ජින්වල අශ්ව බල ප්‍රමාණයත් වැඩියි. දුම්රිය මැදිරි 30ක් විතර සවි කරලා අදින්න පුළුවන් බලයක් මේවට තියෙනවා. නමුත් අපේ රටේ මැදිරි 17ක් පමණයි තියෙන්නේ. උපරිම ඒ වගේම අපේ රටේ දුම්රිය ධාවනය වන දුර ප්‍රමාණයත් අඩුයි. ඒ නිසා අපේ රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන්නේ නැති දුම්රිය එන්ජින් තමයි මේ විදිහට ගෙනත් තියෙන්නේ.

ධාවනය අනතුරෙුදායකයි
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ

ඉන්දියන් රුපියල් කෝටි 100ක වියදමෙන් මේ රටට ගෙනත් තියන නව දුම්රිය එන්ජින් මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කිරීම අනතුරුදායකයි. පීලි පනින්න තියෙන අවස්ථාව වැඩියි. ඒ වගේම තමයි මේ දුම්රිය පෙට්ටිවලට එතරම් විශාල ප්‍රමාණයේ එන්ජින් අවශ්‍ය නැහැ. ගෙනැවිත් තිබෙන දුම්රිය එන්ජින් 10න් 03ක් පමණයි ධාවනයේ යෙදෙන්නේ. ඉතිරි ඒවා දුම්රිය අංගනයේ ගාල් කර තියෙනවා.

එන්ජින්වල ගැටලුවක් නැහැ
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු

මේ රටේ අලුතින් ගෙන්වන ලද එම් 11 දුම්රිය එන්ජින්වල කිසිදු ගැටලුවක් නැහැ. එහෙම කවුරුන් හෝ චෝදනා කරනවනම් ඒකේ කිසිදු සත්‍යතාවයක් නැහැ. අපි තාක්ෂණික කමිටුවක් පත් කරලා තමයි මේවා ආනයනය කළේ. ඒ වගේම මේවා නිෂ්පාදන කරන කාල සීමාවේදී අපි තාක්ෂණික කමිටු සාමාජිකයන් ඉන්දියාවට යවලා ඒවා නිරීක්ෂණය කළා. ඇතැම් අය චෝදනා කරනවා මේ දුම්රිය එන්ජින්වල එයාර් බ්‍රේක් තියෙන්නේ. ඒකට ගැලපෙන මැදිරි නැහැ කියලා. ඒ කතාව සත්‍යයක් වුවත් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත තමයි මේවා ආනයනය කළේ.

පරීක්ෂණ කිරීමට කමිටුවක් පත්කළා..
විදුලි බල හා බලශක්ති සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර

නව රජය පත්වෙලා අමාත්‍යංශය බාරගෙන ටික දිනක් යනකොට දුම්රිය වෘත්තීය සමිතිවල නායකයන් මෙම අලුතින් ගෙන ආ දුම්රිය එන්ජින් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා. මේ ලැබුණු පැමිණිලි සලකා බලලා පරීක්ෂණ කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරලා තියෙනවා. මේ වෙනකොට කොහොමත් මේවා ගෙන්වීමේදී යම් දූෂණයක් වෙලා තියෙනව නම් ඔවුන්ට දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා.

 සටහන - හසිත් අංජන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00