2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සෙල්ලිපිත් කියවගෙනම අපේ බුදුන් අපි වඳින්න

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 850

සිරිපා වන්දනා සමය ආරම්භ වී මාස එකහමාරක් ඉකුත්ව ගොසිනි. බුදුන්වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩි ගමනේදී සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනය මත සමන්ත කූඨ පර්වතයේ මුනි සිරිපා සටහන තැබූ බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. එතැන් සිට වර්ෂ දහස් ගණනක ඉතිහාසය පුරා ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව විවිධ ආගම්වලට අයත් විශාල බැතිමතුන් පිරිසක් සමනළ වන්දනාවේ යති.

මේ නිසා මාස හයක් පුරා සිදු කෙරෙන සමනළ වන්දනාව වෙනම සංස්කෘතික අංගයක් බවට පත්ව ඇත. ලෝකය කෙතරම් නවීකරණය වුවද සමනළ වන්දනාවේදී සම්ප්‍රදායික වත් පිළිවෙත් පිරීම තවමත් දක්නට ලැබේ. සමනළ වන්දනාවේ යන බොහෝ දෙනා තුළ එහි ඓතිහාසිකත්වය හෙළිදරව් කරන සෙල්ලිපි පවතින බවට අවබෝධයක් නැත. ඒ අවබෝධය ලබාදීම මෙම ලිපියේ අරමුණයි.

“පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ලේඛනවලට අනුව ශ්‍රී පාදස්ථානයේ ඇති පැරණිම ලේඛන ක්‍රිස්තු පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිතයි. එය අංක 2670, 2671 යටතේ දෙපාර්තමේන්තුවේ ලියාපදිචි කර තිබෙනවා. කනගාටුවට කරුණ නම් මෙම ගිරි ලිපි කියවිය නොහැකි අයුරින් ගෙවී ගොස් තිබීමයි. පොළොන්නරු යුගයට අයත් ශිලා ලේඛන වන පළමුවන විජයබාහු රජුගේ අඹගමුව ශිලා ලේඛනය සිරිපා වන්දනාව ගැන වැදගත් කරුණු රාශියක් පවසනවා. නිශ්ශංකමල්ල රජුගේ භගවා ලෙන ලිපියක් වැදගත් අභිලේඛනයක්.” අප සමඟ එලෙස සඳහන් කළේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අභිලේඛන සහ නාණක විද්‍යා) කේ.ඒ.එස්. නාමල් කොඩිතුවක්කුය.

සිංහල ශිලා ලේඛනවලට අමතරව දෙමළ භාෂාවෙන් ලියූ 12 වැනි සියවසට අයත් ගිරි ලිපියක් ද ශ්‍රී පාද මළුවේ හමුවේ. දමිළ ශිලා ලේඛනය ද කියවීමට අපහසු අයුරින් ගෙවීගොස් ඇති බව නාමල් කොඩිතුවක්කු සඳහන් කළේය.

අඹගමුව සෙල්ලිපිය
අද මෙන් ප්‍රවාහන පහසුකම් නොතිබූ අතීතයේ වන්දනාකරුවන් සිරිපා වන්දනාවේ ගියේ පා ගමනිනි. අතරමඟ උයාපියා ගනිමින් රස කැවිලි ආහාරයට ගනිමින් ඔවුහු ගමන් කළහ. මේ ගමනේ දුෂ්කරතාවය පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1055 - 1110) රජුගේ අඹගමුව ශිලා ලේඛනයෙන් හෙළිදරව් වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මේ සෙල්ලිපිය අවට ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබේ. එය පිහිටා ඇත්තේ උඩබුලත්ගම නම් ගමේය. ගල්තලා බහුල ස්ථානයක පර්වත දෙකක් මත ගිරිලිපිය කොටවා තිබේ. පළමු ගල මත පේළි 33ක් ද දෙවන ගල් පර්වතය මත අක්ෂර පේළි 25ක් ද දැකගත හැකිය.

පළමුවන විජයබාහු රජු සිරිපා වන්දනාවේ ගොස් ඇත්තේ රාජ්‍යත්වයට පත්වී 38 වන වර්ෂයේ මැදින් මස සඳපුර සතවක් වන දිනය (පෙබරවාරි - මාර්තු අතර) මෙම සෙල්ලිපියට අනුව රජු ශ්‍රී පාදය අවට සියලු ප්‍රදේශ තුළ කුඹුරැ කරවා විල්බා නම් පෙදෙසේ පිහිටි ඉඩම් ශ්‍රී පාදයට පූජා කළේය. එනම් කෙසෙල්ගමුව පුවක් අරඹක් ද, තිනියාගල, සොරගොඩ, ලියවල, බදුලුවන යන ප්‍රදේශවල එක් ස්ථානයකින් කොට වැලි එකක ප්‍රමාණයේ ඉඩම් කැබලි ද මකුළුමුල, අඹගමුව, වැලිගම්පාය සහ උලපන ප්‍රදේශවලින් පුවක් ද පූජා කර තිබේ. මෙම සියලු ප්‍රදේශවලට රාජ පුරුෂයන් ඇතුළු නොවිය යුතු අතර බදු අය නොකළ යුතුය.

ශ්‍රී පාදය වැද පුදා ගැනීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලාගේ පිණ්ඩපාතය ඇතුළු අනිකුත් අවශ්‍යතාවන් රජු විසින් සපයා තිබේ. මගී වන්දනාකරුවන් සඳහා රජුගේ නමින් මාර්ගයේ ගව්වෙන් ගව්ව දානශාලා ඉදිකර පහසුකම් සැලසීය.

“සමන්ත කූඨයෙහි ශ්‍රී පාද ලාංඡනය වඳනු පිණිස දුර්ගමාර්ගයෙහි යන මිනිස්සු වෙහෙසට පත් නොවෙත්වායි දන්වැට සඳහා හැල්කෙත් ආදියෙන් යුක්ත වූ ගිලීමලය ගම දුන්නේය. කදලිගම මාර්ගයෙහි ද හූවරට්ඨ මාර්ගයේද වෙන් වෙන්ව නම්දී සාලා ද කරවීය. අනාගත රජවරැ ඒවා නොගනිත්වයි අකුරැ ලියා ශිලා ස්තම්භ පිහිටුවීය.”

ගිලීමලේ පුවරු ලිපිය
ගිලීමලේ ගම ශ්‍රී පාදයට පූජා කළ විජයබාහු රජු ඒ බව සඳහන් කර සෙල්ලිපියක් ද ගිලීමලේ ගමේ පිහිටුවීය. ගිලීමලේ සහ බඹරබොටුව යන ගම්මාන දෙක ශ්‍රී පාදය වැදීමට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා පූජා කළ බව එහි සඳහන්ය. පුරාණයේ රජවරු සමනළ වන්දනා කළ රජ මාවතේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ රත්නපුර පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ හමුවන ගිලීමලේය.

නිශ්ශංකමල්ල රජු කරවූ සෙල්ලිපි
ශ්‍රීපාද වන්දනාවට මහත් රුචියක් දැක්වූ නරපතියකු වශයෙන් පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව. 1187 - 1196) හැඳින්විය හැකිය. ඔහු ශ්‍රීපාදය වන්දනා කළ බව සමනළ කන්ඳේ භගවා ලෙන සෙල්ලිපියෙන් මෙන්ම ඔහු විසින් කරවූ පඬුවස්නුවර ගල් ආසන ලිපිය, කටුගහගල්ගේ ලිපිය, වදුරුප්ප ලිපිය, දඹුලු ලිපියේ ද සඳහන්ය.

භගවා ලෙන පිහිටා ඇත්තේ ශ්‍රීපාද මළුවට මඳක් පහළිනි. පසුගිය කාලයේ බැතිමතුන්ට එම ලෙනට පිවිසීම සඳහා මාර්ගය ද සකස් කර ඇත. එහි ශිලා ලිපි දෙකකි. පළමුවන සෙල්ලිපියේ නිශ්ශංකමල්ල රජුගේ රූපයක් ද, පර්වතයේ කොටා “නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු රජු ශ්‍රීපාදය වැඳ බැස සිටි ආකාරය යයි සඳහන් කර තිබේ.

දෙවැනි සෙල්ලිපියේ සඳහන් වන්නේ නිශ්ශංක කාලිංග චක්‍රවර්ති රජු ශ්‍රී ලංකාව එක්සේසත් කර රන්රුවන් ආදී බොහෝ වස්තු ජනතාවට ප්‍රදානය කර සහන සලසා තිබෙන බවයි. රජුගේ නවවැනි රාජ්‍ය වර්ෂයේදී නවම් මස පුන්පොහෝ දින සමනළ කන්දට පැමිණ රන් රිදී හා නවරත්නයෙන් හෙබි මල්මාලාවලින් හා වස්ත්‍ර පට රෙදිවලින් මළුව අලංකාර කර සියලු රාජාභරණවලින් සැරසී රජු ශ්‍රීපාදය වන්දනා කළ බව සඳහන්ය. පෙර සිටි රජවරුන් පූජා කළ අඹගමුව ආදී ගම් නැවත වරක් ස්ථාවර කරන ලද බවද ශිලා ලේඛනයේ දැක්වෙන ප්‍රදානයන්ට කිසිවකු හානි නොකළ යුතු බවටද නියෝග දී තිබේ.

ධර්මරාජගල සෙල්ලිපිය
රත්නපුර පළාබද්දල රජ මාවතේ ශ්‍රී පාදය නැගීමේදී ධර්මරාජගල නම් පර්වතය හමුවේ. එහි පර්වතයේ පියගැට කොටවා තිබේ. ධර්මරාජගල පියගැට පෙළට වම්පසින් පර්වතයේ කොටා ඇති සෙල්ලිපිය කෝට්ටේ යුගයට (ක්‍රි.ව. 15 සියවස) අයත් බව අක්ෂරවලින් හෙළිව ඇත. එම සෙල්ලිපිය කොටවා ඇත්තේ ශ්‍රී පාදය නැගීමට පඩි පෙළක් කොටවා ඒ බව සඳහන්  කිරීමටය. පේළි 16කින් යුත් සෙල්ලිපියේ 5, 6, 7 යන පේළි ගෙවී ගොස් නිසා කියවීමට නොහැකිය. “කසාවතු නම් බමුණුගම ගිරිමභලා නම් බ්‍රහ්මණ වංශයෙහි උපන් ධර්මරාජ තාපසයන් බුදු බව පතා වෙදනප්පෙරුමාලා නම් වූ ආරච්චියේ සහායෙන්” පියගැට පෙළ කෙටවූ බව සඳහන්ය.

මෙම පර්වතයට ධර්මරාජගල යන නම ලැබී තියෙන්නේ ධර්මරාජ තාපසයා කෙටවූ පියගැට පෙළ නිසාය.
ඔබත් ශ්‍රී පාද වන්දනාවේ යනවිට මේ සෙල්ලිපි දැකබලාගෙන ඒවායින් කියැවෙන දෑ ගැන දැනුවත්වීමටත් උත්සාහ ගත්හ.

කුසුම්සිරි විජයවර්ධන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00