2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

මාළු මිල වැඩි රටින් ගෙනෙන නිසාද?

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

රට වටේම මුහුදය. මේ මුහුද මාළුවලින් පොහොසත්ය. මාළු වර්ග ද බොහෝය. එහෙත් රට වටේට මුහුද තිබුණත්, ඒ මුහුදේ මදි නොකියන්න මාළු සිටියත්, මාළු අල්ලන්නට ධීවරයන් සිටියත් මාළු විකුණන තැනකට ගොස් බැලූ විට මාළු කනවා තබා හාල්මැස්සෙක්, සාලයෙක් මිලදී ගන්නට බැරි තරම් මාළු ගිනි ගණන් බව ජනතාව මැසිවිලි නගති.

ජනතාව නගන ඒ චෝදනා කෙසේ වෙතත් බැලූ බැල්මට මාළු කෑල්ලක රස බැලීමට වැඩි මුදලක් ගෙවීමට සිදු වී තිබේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ තොග මිල බැලුවද ඒ මිලද අපේ සාමාන්‍යය ජනතාවට ඔරොත්තු දෙන්නේ නැත. මාළු මිල ඉහළ යාම පිළිබඳව සොයා බැලීමට පසුගිය දිනක අපි පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට ගියෙමු. එහිදී මාළු මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්ය.

බලයා කිලෝව රුපියල් 430කි. තලපත් කිලෝව රුපියල් 660ක් පමණය. මට්ට සාලයා රැපියල් 200ක් වූ අතර හාල්මැස්සන් කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 260ක් ලෙසටය. ඉස්සා (මධ්‍යම) රුපියල් 950කි. ලේනපරව් කිලෝව රුපියල් 430කි. තෝරා (බිලි) කිලෝවක් රුපියල් 1600ක් පමණය. තවත් මාළු වර්ග කිහිපයකම මිල රුපියල් 500 ඉක්මවා තිබිණි. මේ මිල ගණන් දෛනිකව වෙනස් වෙනවගද කිව යුතුය.

කාලයෙන් කාලයට හිටි හැටියේම මාළු මිල ඉහළ යාම පිළිබඳව මධ්‍යම මත්ස්‍යය වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙන්දන් කිහිපදෙනකුගෙන් විමසීමක් කළෙමු.

ලැබෙන මාළු ප්‍රමාණය අඩුයි
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කළමනාකරණ භාරයේ ප්‍රසම්පාදන නිලධාරි සමිත් මදුසංක

මේ දිනවල පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පළ වෙත පැමිණෙන මාළු ප්‍රමාණය අඩු වෙලා තියනවා. ඒ නිසා තමයි මේ මාළු මිල ඉහළ ගිහින් තියෙන්නේ. නමුත් මාළු වෙළෙඳුන් තමයි මිල තීරණය කරන්නේ. අපි නෙවෙයි. අපි මෙම වෙළෙඳ සංකීර්ණයේ කළමනාකරණ භාරය තමයි කරන්නේ. වෙළෙන්ඳන් විසින් එදිනෙදා තීරණය කරන මිල අපි පාරිභෝගික අධිකාරියට, අපේ අමාත්‍යාංශයට, දෙපාර්තමේන්තුවට සහ විද්‍යුත්, මුද්‍රිත යන මාධ්‍ය දෙකටත් යවනවා. පසුගිය කාලයේ නත්තල් උත්සවය තිබුණා බොහෝමයක් මාළු ලොරි මීගමුව පැත්තෙන් එනවා. ඒවත් ආවේ නැහැ. උත්සව කාලය නිසා. ඒ නිසා තමයි මේ මිල වැඩිවීම වෙලා තියෙන්නේ. කාලගුණයෙන් ප්‍රධාන බලපෑමක් තියනවා මේ මාළුවල මිල ඉහළ, පහළ යාම කෙරෙහි.

මිල තීරණය කරන්නේ අපි නොවේ
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කළමනාකරණ භාරයේ කාර්යභාර නිලධාරී සම්පත් නිශාන්ත

මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ මාළු ලෑලි 154ක් තියනවා. මේ වෙළෙඳ පළට එන මාළු මිල තීරණය කරන්නේ ඔවුන්ගේ සංගමය විසින් ආයතනය තුළ ගැටලු සහ වෙනත් ප්‍රශ්න පමණයි අපි විසින් ඉටු කරන්නේ. කොහොම වුණත් මේ දිනවල මාළු මිල ඉහළ යන්න ප්‍රධාන හේතුව තමයි පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය. කෙසේ වෙතත් මේ මිල ගණන් මේ විදියටම පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. මේ ආයතනය සහ වෙළෙන්ඳන් වගේම පාරිභෝගිකයන් පිළිබඳ තමයි අපි අවධානය යොමු කරන්නේ. දැන් මේ වනවිට මේ වෙළෙඳ සංකීර්ණය නැවත අලුත්වැඩියා කටයුතු කරමින් පවතිනවා. වෙළෙන්ඳන් සහ මේ පාලන අධිකාරිය සහයෝගයෙන් කටයුතු කරන නිසා අවිධිමත් ලෙස කටයුතු වෙන්නේ නැහැ. ඒ වගේම මොවුන් මේ මිල දර්ශකය ඔවුන් තීරණය කළාට පස්සේ අපට ලබා දෙනවා. අපි ඊට පස්සේ අදාළ ආයතන වෙත මේවා යොමු කරනවා.

ශෂී
වෙනදට වඩා මාළු මිල ටිකක් මේ දිනවල ඉහළ ගිහින් තියනවා. පසුගිය දවස්වල බලපාපු කාලගුණ තත්ත්වය තමයි මේකට හේතුව. මාළු වැඩියෙන් මාර්කට් එකට එනකොට මිල අඩු වෙනවා. මාළු එනවා අඩු වුණාම තමයි මාළු ගණන් යන්නේ. ඒ වුණාට ලොකු කාලයක් මේක පවතින්නෙ නැහැ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. සමහර දවස්වලට මීගමුවෙන් මාළු ලොරි ආවොත්, යාපනය පැත්තෙන් එන්නේ නැහැ. යාපනය පැත්තෙන් ආවොත්, ගාල්ල පැත්තෙන් එන්නේ නැහැ. ඕවා වෙනකොට තමයි මාළු මිල වැඩිවෙන්නේ. එහෙම නැතුව හැමදාම මාළු මිල ඉහළ යන්නේ නැහැ. ලංකාවේ අයගෙන් තමයි අපි මාළු ගන්නේ. පිට රටින් ගේන්නේ නැහැ. ඒ වුණාට පිටරටින් ගේනවා කියලා ලොකු මිල වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. කොහොමත් රටින් ගේන මාළුවලට වඩා ලංකාවේ මාළු මිල වැඩියි. රටින් ගේන් මාළු එච්චර ලොකු ගාණක් නැහැ. 

සේකර
අපි මාළු ගන්නේ ලංකාවේ අයගෙන්. අපි රටින් මාළු ගෙන්වන්නේ නැහැ. එහෙම ගෙන්වන අයත් මේ මාර්කට් එකේ ඉන්නවා. වෙනදට වඩා දැන් මාළු මිල ටිකක් ඉහළයි. මේ වෙනකොට ලංකාවේ හැම තැනින්ම දිනපතා මාර්කට් එකට මාළු එන්නේ නැහැ. ඒ කියන්නේ මේ දිනවල මාළු අස්වැන්නේ අඩු වීමක් තියනවා කියලා එහෙම වුණාම මාළු මිල කොහොමත් ඉහළ යනවා. නමුත් මාළු වැඩියෙන් මාර්කට් එකට ගෙනාවම මිල අඩුවෙනවා. කොහොමත් ඉස්සරට මාළු මිල අඩුවෙයි. ඒක තීරණය වෙන්නේ මාර්කට් එකට මාළු එන විදියට තමයි.

මධුරංග
මේ දවස්වල මාළු හිඟයි ඒක නිසා තමයි මාළු ටිකක් ගණන් වැඩි. මාළු හිඟයකින් තොරව එනවා නම් මාළු මිල වෙන්නේ නැහැ. අනික රටින් මාළු ගෙන්නුවා කියලා විශාල මිල වැඩිවීමක් වෙන්නේ නැහැ. අපේ රටේ ඒ ඒ මාළු වර්ග ඉල්ලුවට සැපයුම දෙන්න බැරි වුණාම තමයි රටින් මාළු ගෙන්වන්නේ. රටින් ගෙන්නුවත් විශාල ලෙස සෑම වර්ගයකින්ම මාළු රටට ගෙන්වන්නේ නැහැ. ඒ නිසා රටින් ගේන නිසා මිල වැඩියි කියන කතාව බොරුවක්. සමහර රටින් ගේන මාළුවලට වඩා ලංකාවේ තියන ඒ මාළුවල මිල ගණන් වැඩියි. කොහොමත් ඉස්සරහට මාළු අස්වැන්න හොඳ වෙයි. එහෙම වුණාම මේ මිල ගණන් අඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. 

වන්නිආරච්චි
මාළු මිල වැඩි වීමට ප්‍රධාන හේතුව තමයි කාලගුණය සමහර කාලවලදී මුහුදු යන්න බැරි වුණාම මාළු වෙළෙඳපළට එන එක අඩු වෙනවා. එහෙම වුණාම මාළු මිල කොහොමත් ඉහළ යනවා. මාළු වෙළෙඳපළට විශාල ලෙස එනකොට මාළු මිල අඩු වෙනවා. අපි නම් ලංකාවේ අයගෙන් තමයි ගොඩාක් වෙලාවට මාළු ගන්නේ. රටින් ගේන අයත් ඉන්නවා. ඒ අය හොටෙල්වලට, සුපිරි වෙළෙඳසල්වලට තමයි මාළු දාන්නේ. රටින් ගේනවට වඩා විශාල මාළු අස්වැන්නක් මාර්කට්  එකට එන්නේ ලංකාවෙන්. හැබැයි මේ දවස්වල මාළු අඩුවෙන් එන නිසා තමයි මේ මාළු මිල ඉහළ.


 සටහන - හසිත් අංජන
    සේයා රූ - සුමුදු හේවාපතිරණ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00