මෙරටට නිදහස ලැබී මේ වන විට වසර 72 ක් ගතවී තිබේ. 1948 වසරේ අප නිදහස ලබන විට මෙරට දේශපාලන පක්ෂ තිබුණේ අතළොස්සකි. දැනට දශක තුන හතරකට පෙර පවා ලියාපදිංචි දේශපාලන පක්ෂ වැඩි ගණනක් තිබුණේ නැත. එහෙත් 2019 වසර අවසන් වන විට මෙරට දේශපාලන පක්ෂ 70 ක් පමණ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී ඇත. එහෙත් මෙරට පවත්නා ඕනෑම මැතිවරණයකදී ඉදිරිපත් වන්නේ පක්ෂ අතළොස්සක් පමණි. එමෙන්ම මෙරට ක්‍රියාකාරී දේශපාලන පක්ෂ ද ඇත්තේ දෑතේ ඇඟිලි දහයටත් අඩු ප්‍රමාණයකි.
ජනාධිපතිවරණය නිමවී මේ වන විට මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇත. එහෙත් තවමත් ජාතික දේශපාලනය උණුසුම් වී ඇත්තේ එළඹෙන මහමැතිවරණය පැවැත්වීමට ඇත්තේ තවත් මාස දෙක තුනක කාලයක් නිසාවෙනි. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා පැවසුයේ නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවය. එලෙස නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සිදු කෙරෙන්නේ 2017 වසරෙන් පසුව වන අතර මෙම මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයැදුම් කළ හැකිය.
2017 වසරේ (අවසන් වරට) ලියාපදිංචි කළ පිළිගත් දේශපාලන පක්ෂ 06 වන්නේ,
එක්සත් ජාතික නිදහස් පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, ජාතික සමගි පෙරමුණ, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය යනාදී වශයෙනි.
මෙරට දේශපාලන පක්ෂ ඉතිහාසය සැලකීමේදී ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය පැරණිතම දේශපාලන පක්ෂය ලෙස සැලකේ. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙරට පැරණිතම දේශපාලන පක්ෂ වේ. මෙම දේශපාලන පක්ෂ පිහිටුවා ගත්තේ පැහැදිලි දේශපාලන අරමුණක් මතය. දක්ෂිණාංශික, මධ්‍ය දක්ෂිණාංශික, වාමාංශික හා මධ්‍ය වාමාංශික ලෙස මෙම දේශපාලන පක්ෂ කඳවුරුවලට බෙදී ගොස් ඇත.
යම් දේශපාලන පක්ෂයක් මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ලියාපදිංචි කිරීමේදී නිර්ණායක කිහිපයක් ද සලසා බැලේ. එනම්,
පක්ෂ ව්‍යවස්ථාවේ පිටපත, පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ ලැයිස්තුව, පක්ෂයේ විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශ සහ පක්ෂයේ තත්කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙසය.
කෙසේවෙතත් පසුගිය ජනවාරි මාසයේ සිට නව පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් භාරගැනීමත් සමඟ මෙරට සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී ඇත්තේ ඇතැම් දේශපාලන පක්ෂ මැතිවරණ සමයන්හිදී මුදලට විකිණෙන බවය. පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ජාලයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ දේශපාලන පක්ෂ (ලියාපදිංචි කිරීම) ව්‍යාපාරයක් වීමට ඉඩ නොතැබිය යුතු බවයි.
සමහර පක්ෂවල ඉන්නේ සභාපති හා ලේකම් පමණයි
මෙලෙස නව දේශපාලන පක්ෂ (ලියාපදිංචි කිරීම) තුළින් උද්ගත වන තත්ත්වය කුමක්දැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් අපි විමසුවෙමු.
පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 41 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබුණා. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 19ක, ස්වාධීන කණ්ඩායම් 19ක සහ වෙනත් පක්ෂ 03ක අපේක්ෂකයන් ලෙසට. නමුත් මේ අපේක්ෂකයන් හා පක්ෂ බොහෝ වෙලාවට (සියල්ලන් නොවේ) තවත් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට සහයෝගය පළ කිරීම සඳහා තමයි තරග වැදුණේ. ඒ වගේම තමයි බොහොමයක් පක්ෂ තිබෙනවා ඒ පක්ෂවල ලේකම්ලා, සභාපතිලා පමණයි ඉන්නේ. වෙන අය කවුරැත්ම නැහැ. නමුත් ඔවුන් සන්ධානවලට මාධ්‍යයන් ඉදිරියේ අත්සන් කරනවා අපි අහවල් කණ්ඩායමට සහාය ලබා දෙනවා කියලා. එතකොට අර ප්‍රධාන ධාරාවේ තිබෙන සුළු පක්ෂ කණ්ඩායම් එකතු කරගෙන සමාජයේ මතයක් හදනවා අපිට තව පක්ෂ දහයක් දොළහක් එකතු වුණා කියලා. ඒ වගේම අපි ලොකු කණ්ඩායමක් ලෙස වැඩ කරනවා කියලා. එහෙම වුණාම අර පොඩි පක්ෂවලටත් මේ මැතිවරණ ඇතුළේ වාසියක් හම්බවෙනවා. මේ වන විට ලංකාවේ ලියාපදිංචි පක්ෂ හැත්තෑවක් විතර තියෙනවා. නමුත් සක්‍රීය වන්නේ අතළොස්සක් පමණයි. ඒ නිසා නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය ව්‍යාපාරයක් විදිහට භාවිත නොකළ යුතුයි. ඒ වගේම සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත නොහැකි පක්ෂ මේ දේශපාලන ධාරාවෙන් ඉවත් කරන්න යම් වැඩපිළිවෙළක් දියත් කරන්න මැතිවරණ කොමිසමට නීතිමය ප්‍රතිපාදන සකසන්න වෙනවා.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම පිළිබඳව මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියකු පවසා සිටියේ මේ වන විට නව පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයැදුම්පත් 24 ක් පමණ මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බවයි.
මේවා වෙන්නේ තිරය පිටුපස
විශ්‍රාමික මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ්
ස්වාධීනව තරග කරන්න බලාපොරොත්තු වන කවදාවත් මන්ත්‍රීවරයෙක් නොවුණු කෙනෙක් පක්ෂයක් යටතේ තරග කරන විට තමයි මේ වගේ ගනුදෙනු දේශපාලන කරළියේ සිදුවන්නේ. නමුත් දේශපාලන පක්ෂයක් යම් අපේක්ෂකයකුට හෝ කණ්ඩායමකට විකුණනවා කියන එක එකපාරට කරන්න බැහැ. ඒක ලොකු වරදක්. නමුත් මොවුන් කෙසේ හෝ මෙවැනි අත යට ගනුදෙනු කරන බව දන්නවා. මම මැතිවරණ කොමිසමේ සේවය කළ කාලයේ මේ වගේ සිදුවීම් ගැන කවුරැත් චෝදනා කළෙත් නැහැ. පැමිණිලි කළෙත් නැහැ. මොකද මේ දේවල් තිරයෙන් පිටුපස සිදුවෙන දේවල් නිසා.
හසිත් අංජන