2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

නිවැරදි තැනක ළිඳ කැපුවොත් යස ඉසුරු

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 2887
 
සත්ත්වයාගේ පැවැත්ම සඳහා ආහාර මෙන්ම ජලය ද නැතිවම බැරි සම්පතකි. ජලය පානයට, ස්නානයට, රෙදි සෝදා ගැනීමට හා ආහාර පිස ගැනීමට මේ හැම දෙයකටම ඉතාම අවශ්‍යය. පානීය ජලය නොමැති තැන මියයාමද සිදුවේ. මේ නිසා ජ්‍යොතිෂයට අනුව මෙන්ම විද්‍යානුකූලවද ජලය සොයා ගැනීමට මිනිසා පුරැදුව සිටී. කුඩා ඉඩම් කොටසක සිටින අයට පවා තමන්ටම කියා ළිඳක් තිබේ නම් ඉමහත් සතුටක් දැනෙනු ඇත.
 
කෙසේ හෝ ජල සම්පත වාසනාවකි. කුඩා වුවත් ඉඩම පරීක්ෂා කොට ළිඳක් කපාගත යුතුමය. නැකතක් අනුගමනය කිරීම මෙහි පළමු පියවරයි.
 
හත මා නැකත අනුර විසායා
දෙනටෙද තුරැපල් එසිය වසායා
රෙහෙණෙත් මෙකී නැකත් දසායා
ළිං කැපුමට මෙනැකැත් සලසායා
 
හත, මා, අනුර, විසා, දෙනට, උතුරැපල්, සියාවස, රෙහෙණ නැකත් ළිං කැපුමට ඉතාම සුදුසුය. ඒ අතර දින වශයෙන් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා යන දිනයක් යොදාගත හැකිය.
 
ළිඳ කැපීමට පෙරාතුව තමන් කැපීමට සිතා සිටින තැන සුදුසුද යන්න පරීක්ෂාකර ගැනීමට පැරණි නිමිති ක්‍රමයක් භාවිත කරනු ඇත. මල්වර වීමට ආසන්න දැරියක නාවා කවා පොවා සුවඳ විලවුන් ගල්වා පිරිසිදු කරවා ගත යුතුය. පසුව ඇය ලවා පිරිසිදු වතුර කළයක් ගෙන්වා ගෙන ළිඳ කැපීමට තමන් බලාපොරොත්තු වන තැනට වතුර හැලීමට උපදෙස් දෙන්න. එහි තබා ඇති බුලත් කොළය තමන්ගේ ශරීරයේ අභිමත තැනක අතුල්වා තබා ගැනීමට කියන්න. බුලත අතුල්වා ගත් තැන අනුව වතුර වත් කළ තැන, ළිඳ කැපීමට සුදුසුද නුසුදුසුද යන්න කියනු ඇත. ඇය බුලත තබා ගත්තේ පතුල් දෙකේ නම්, කෙණ්ඩාවල නම්, ඇස් වට නම්, යෝනියේ නම් සිකුරටම ජලය ලැබෙනු ඇත. ශරීරයේ සෙසු ස්ථානයන්හි බුලත තබා ගත්තේ නම් බොහෝ විට ජලය නොලැබීම යනු ඇත.
 
දිසාවන් කෙරෙහි අවධානය ගෙන සුදුසු පරිදි දිසාවට අනුගත වන්න.
 
දිසාව අනුව ළිං කැපීමේ ආනිසංස
ගෘහ මැද - වස්තු හානි වේ
නැගෙනහිර - යස ඉසුරු
ගිනිකොණ - පුත්‍ර හානි
දකුණ - ස්ත්‍රී හානි
නිරිත - මරණ
බස්නාහිර - සැප
වයඹ - සතුරු විනාශ
උතුර - සැප සම්පත්
 
මෙම ක්‍රමවේදයට අනුගත වී ළිඳක් කැපීමට උනන්දු වී යස ඉසුරු හිමිකර ගන්න. උතුර හා ඊසාන ළිං කැපීමට ඉතාම සුභ බවත් සෙසු දිශාවන්ගේ හේතුඵල විස්තරත් පහත කාව්‍යවල දැක්වේ.
 
පෙරදිග තැනූ ළිඳ තම අඹුව මියයති
ගිනිකොණ ගිනි භය යව දිග ලෙඩ වෙති
කැණ ළිඳ වරුණ අඹුවන් වැනසෙති
දනු වයඹෙ කිසිවක් සුබ ඵල නැති
 
නිරිත ඊසාන සැප සම්පත් දෙති
වැවන උතුර ගව සම්පත් බෝ වෙති
නියත ගෙදර සිට විසි රියනක් ඇති
නැකත මෙතුන් දිග ළිං කප යහපති
 
ගෙදර පිලේ කෙළවර සිට වඩු රියන් 15ක් දුරින් (අඩි 30) ළිඳ කැපීම සුබ බවට සෘෂි භාවිතයකි. &ශ්‍රීධර* මතය අනුව නම් රියන් 20කි. (අඩි 40)
 
ආචාර්ය විමල් බී. ලියනගේ
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00