2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ප්‍රේමකීර්ති රණතුංගගේ පොල්මට්ටා

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 164

අතීතය මුසුකරමින් ලියූ නවකතා අපට බහුලව හමුවේ. රජකතා, බිසෝවරු ගැන කතා එමටය. ඒ අතරින් අතීත රාජධානියක තොරතුරු වර්තමාන සමාජ ගැටලු හා මුසුකරමින් ලියූ අපූරු නවකතාවක් පසුගියදා කියවීමට ලැබුණි. ඒ ප්‍රේමකීර්ති රණතුංග ලියූ පොල්මට්ටා (දයාවංශ ජයකොඩි ප්‍රකාශන) ය.

උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වූ පසු සුද්දන් උඩරට හා ගනුදෙනු කළ එක් කඩවතක් වූයේ දඹදෙණියයි. කොළොම්තොට සිට මීගමුව හරහා මහනුවර දක්වා වැටී තිබූ කරත්ත පාර ගමන් කළේ දඹදෙණිය රාජධානිය හරහාය.
දඹදෙණි පර්වතය බද ගම්මානයක ජීවත් වූ හකුරැ හදන කුලයකට අයත් පවුල් කිහිපයක් මුල්කරගෙන මෙම කතාව දිවයයි. අධ්‍යාපනයක් නොලද ප්‍රාථමික මට්ටමේ ජීවිත ගතකරන මේ දුප්පත් පවුල්වල චර්යාව කතුවරයා අධ්‍යයනය කර තිබෙන බව පොත කියවන විට වැටහේ.

ලයිසා, සිරියා, චූටා ආදීහු රා මැද හකුරැ නිපදවන පවුල්වලය. වේවැල්වල ගමේ හකුරැ ගෙදර ඇත්තන්ගේ රාජකාරිය ගමේ උදවියට හකුරු හදා දීමය. පොල්මල් තලා මැදීම, පැණි උණුකිරීම, හකුරු සෑදීම දක්වා කුදු මහත් රාජකාරි එයට අයත්ය.
වේවැල්වල ගමේ ඇත්තන් 70 සමගි පෙරමුණු ආණ්ඩුව සැලකුවේ තමන්ගේ එකක් හැටියටය. ඒ කාලේ හකුරැ සඳහා රත්තරං ගාණට ඉල්ලුමක් ඇතිවිය.

මේ අතර කතාව යළිත් අතීතයට යයි. ඒ 1899ටය. මේ පවුලේම අතීත පරම්පරාවක සිටි මල්සරාගේ දරුවා ඇමට තබා කිඹුලන් ඇල්ලීමට සුදු මහත්වරැන්ට ලබාදෙයි. ඊට යහමින් කාසි පණම් ලැබෙයි. ඒ දරුවා කොට කැත අඟුටුමිට්ටකු වූ හීනාය. ඊටපසු කිඹුල් ඇමට තබන හීනා බැලීමට අහළ පහළ ගෙවල්වල අයද එති. ඒ අතර සුදු ජාතිකයකුගේ මාර්ගයෙන් හීනා සර්කස් කණ්ඩායමකට බැඳේ. ඔහු පිටරට ගොස් කූඩුවල සතුන් සේ ප්‍රදර්ශනය වෙමින් මුදල් උපයාගෙන ගමට පැමිණේ.

ඉංග්‍රීසි පාලන සමයේ අපේ සිංහලයන් කෙතරම් පහත් රුකියාවල පවා නිරතවෙමින් ඔවුන්ගේ සූරාකෑමට ගොදුරු වූ බවට සාධක ඕනෑතරම් පොල්මට්ටා කියවන විට හමුවේ. කතුවරයා තුළ අතීතය විමර්ශනයට ඇති ඇල්ම හා සුරු බව ඒ තුළින් අපට පෙනේ.
පොල් ගසෙහි පොල්ලෙලි තබා බඳින්නේ ගස මුදුනට යාමටය. පොල් මල් කපන්නේ එසේ ගමන් කිරීමෙනි. එලෙස බඳින කොටස් හඳුන්වන්නේ මට්ටා කෑලි යනුවෙනි. තම අතීත පරම්පරාව සුද්දන්ට වහල්කම් කර මුදල් උපයාගත් අතර නූතන පරම්පරාවේ සීමලා පොල් ගස් මදිමින් හකුරැ විකුණමින් යමක් උපයාගැනීමට වෙහෙසෙති. ඒත් ඔවුන්ට ජීවත්වීම තවමත් එදා සේම දුෂ්කරය. ඔවුන්ද පොල්මට්ටා කෑලි වැන්න.

1948 නිදහස කියා දෙයක් ලැබුණත්, සුද්දන් වෙනුවට පාලනය ස්වදේශිකයන්ට මාරු වුණත් ජනජීවිතවල නම් වෙනසක් වී නැති බව කතුවරයා පවසයි. මේ අතර නිල් පාට ආණ්ඩුව පෙරළා දමමින් 1977 දී කොළ පාට ආණ්ඩුව බලයට පත්වේ. ඊටපසු විවෘත ආර්ථිකය නිසා පිටරටින් හැමදෙයක්ම ගෙන ඒමට පටන්ගනී. හකුරු විකුණා කීයක් හෝ උපයාගත් ජීවිත අන්ත අසරණ වේ. එලෙස ගෙවෙන ජීවිත තවත් අවුලකට පත්කරමින් අධිවේගී මාර්ගයක් ගම හරහා ඉදිවේ. එහෙත් අවසානයේ කිසිවකු නොසිතූ ලෙස හකුරැ පරම්පරාවේ සීමාට අයත් ඉඩමේ ඇති ගල්තලාව අධිවේගී මාර්ගයට කළුගල් ගැනීමට ලබාගැනීමෙන් ඔවුන් කෝටිපතියන් බවට පත්වේ. හරි මේ ඉඩම ඔයාලගෙ නම් අපි කැමතියි ගල්තලාව සල්ලිවලට ගන්න. අපිට පාරට ගල් ඕනෑ. ඉඩම්වලට වගේම මේකටත් අපි ඉදිරි අවුරැදු විස්සට බලපාන විදිහට වන්දියක් දෙනවා. (229 පිට).

සියවසකට අධික කාලයක් තුළ පීඩනයෙන් මෙන්ම ආර්ථික පීඩනයෙන්ද බැටකෑ පරම්පරාවේ වත්මන් තරුණයන් වන සීමා වැන්නන් ඒ පීඩනය බිඳ දමා ඉදිරියට යන බවට ඉඟි කරමින් කතාව අවසන් කිරීමට කතුවරයා උත්සාහ කර තිබේ. 

පාඨක