“වත්තල හැඳල හරියේ තියෙනවා රටේ නම ගිය ප්‍රසිද්ධ ආයතනයක ගබඩාවක්. එයාලට ඉහළම තලයේ අවන්හල් ජාලයක් තියෙනවා. ඒවාට හොඳට ඉල්ලුමක් තියෙනවා. ඒ විතරක් නෙවේ මේ අය බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ආනයනය කරනවා. තොග කඩවලට විතරක් නෙවේ ප්‍රධාන සංචාරක හෝටල්වලටත් අවශ්‍ය බඩු සපයන්නේ මේ “මදීනා ෆුඩ්ස්” කියන ආයතනයෙන්. වැදගත්ම දේ තමයි මේ අයගේ ගබඩාවේ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍යවල ලේබල් ගලවලා අලුතින් ලේබල් අලවලා විකුණන්න හදනවා.”
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු හා වැටලීම් අධ්‍යක්ෂවරයා වෙත මෙම විශ්වසනීය තොරතුර ලබා දී තිබුණේ තවත් හිතවත් පාර්ශ්වයක මැදිහත්වීම හරහාය. ඔවුන්ට ප්‍රථමයෙන් ලද තොරතුර යම් තරමකට සනාථ කර ගැනීමෙන් අනතුරුව අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අදාළ දැනුම්වත් කිරීම සිදුකර තිබිණ. ඒ අනුව විශේෂ වැටලීමක් සිදුකිරීමට පියවර ගත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීහු එළැඹෙන උත්සව සමයේදී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සූදානමින් තිබූ කල් ඉකුත් වූ ආහාර තොගයක් යළි ඇසුරුම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පියවර ගත්හ.
“මේ කියන තොරතුර සම්බන්ධයෙන් අපට දැනගන්න ලැබුණේ ජනවාරි 31 වැනිදා රාත්‍රියේ. ඒ පිටස්තර පුද්ගලයන් කිහිප දෙනකු සහිත විශ්වාසනීය ආරංචි මාර්ගයකින්. ඔත්තුව අනුව කියවුණේ රටේ නමගිය ප්‍රසිද්ධ ආයතනයක් එහෙම නැතිනම් ප්‍රසිද්ධ ව්‍යාපාරික ජාලයක් ගැනයි. ඔවුන්ට අයත් ගබඩා සංකීර්ණයක කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තිබෙන බවත් ඒවායේ දින සහ ලේබල් අලුතින් අලවා වෙළෙඳපොළට යැවීමට සූදානම් කරන බවත් කිව්වා. ඒ අනුවයි වැටලීම සූදානම් කළේ.” යැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.
ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකය වෙත කරැණු දන්වා වැටලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වා තිබිණි. එම අධිකාරියේ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබාදුන් බවද අසේල බණ්ඩාර මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාට පැවරිණි.
මේ අනුව වැටලීම සඳහා යොදාගැනුණේ ඉකුත් පළමු සෙනසුරාදා පෙරවරුවේ වේලාවකි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමඟ විශේෂ කාර්ය බළකා සෙබළු පිරිසක් වත්තල හැඳල පිහිටි ගබඩා සංකීර්ණය වෙත කඩාපැන තිබුණේ කිසිවකුත් විශ්වාස නොකළ පසුබිමකය. ගබඩාවේ ප්‍රධාන පිවිසුම හරහා පරිශ්‍රයට ඇතුළු වන විටත් සේවක පිරිස තම රාජකාරියේ පසුවූහ. ඔවුන් ඒ මොහොතේ ප්‍රධාන වශයෙන් සිදුකර තිබුණේ ආහාර ද්‍රව්‍යවල කල් ඉකුත් වූ ලේබල් ගලවා ඒ වෙනුවට අලුතින් ලේබල් ඇලවීමයි. ඒ අතර තොරතුරු වෙනස් කළ සහ කල් ඉකුත් වූ බේකරි අමුද්‍රව්‍ය සහ කේක් සැකසීම සඳහා භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය සමඟ ආහාර ද්‍රව්‍ය ටොන් 17,500ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට වැටලීමට එක්වූ පිරිසට හැකි විය.
මෙම ආහාර ද්‍රව්‍ය තොගය මැද කස්ටඩ් පවුඩර්, පාන් සෑදීම සඳහා භාවිතයට ගන්නා වෝල් කොර්න්, මෆින් මික්ස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් තොගයක්, සමෝසා සෑදීමට ගන්නා පිටිවලින් සැකසූ ෂීට්, කේක් අලංකරණ ද්‍රව්‍ය, වැනිලා සහ ඇපල් බීම තොගයක් ද විය. මේ සියල්ල 2019 මැයි 13 වැනිදා සහ 2019 දෙසැම්බර් 6 වැනිදායින් කල් ඉකුත්ව තිබූ ඒවාය. සේවක පිරිස මේවා මෙසේ දින වෙනස් කරමින් නව ඇසුරුම්වලට අසුරමින් සිට ඇත්තේ සිංහල අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ අදහසින් බව පැවසේ.
මෙම කල් ඉකුත් වූ ආහාර තොගය අයත් ආයතනය ‘මදීනා ෆුඩ්ස්’ නමින් ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇත. ඔවුන් යටතේ කැරවන් ෆ්‍රෙෂ් නමින් ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් ප්‍රසිද්ධ නගර ආශ්‍රිතව ක්‍රියාත්මකය. ඒවා සුපිරි අවන්හල් වශයෙන් ක්‍රියාත්මක නමුත් ඊට මුවාවෙන් පාරිභෝගික ජනතාවට විශාල ලෙස කල් ඉකුත් වූ අපද්‍රව්‍ය කවමින් අධික ලෙස මුදල් උපයා ඇති බවත් එය කාලයක පටන් සිදුකරගෙන ගොස් තිබෙන බවත් පැහැදිලිය. මෙකී සමාගම බේකරි නිෂ්පාදන හා කේක් අමුද්‍රව්‍ය අමෙරිකාව, ඩුබායි සහ ජර්මනිය යන රටවලින් ගෙන්වා දේශීය වෙළෙඳපොළට සපයන බව ද අනාවරණය විය. මේ අතර මෙරට ප්‍රධාන පෙළේ තරු හෝටල් හා බේකරිවලට සපයා ඇතැයි ද සඳහන්ය. මේ අනුව පාරිභෝගික අධිකාරිය සැක කරන්නේ එම ආයතන සඳහා ද මෙම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොග පිටින් අලෙවි කරන්නට ඇති බවය.
සැකසහිත කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන වෙනම ගබඩා කිරීමටත් ඒ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පියවර ගනු ලැබීය. වැටලීම නිසා උත්සව සමයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට සැකසූ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොගයක් අලෙවියෙන් තහනම් කිරීමට හැකිව තිබේ. ඉදිරියේදීත් මෙවැනි වැටලීම් නොකඩවා සිදු කිරීමට එම අධිකාරිය කටයුතු කරයි. එහිදී වරදකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියමිතය.
මෙවැනි සැකසහිත තොරතුරු ඇත්නම් එම අධිකාරියේ 1977 කෙටි දුරකතන අංකය වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දැනට මුද්‍රා තබා ඇති මදීනා ෆුඩ්ස් වෙළෙඳ නාමය යටතේ පවතින කැරවෑන් ෆ්‍රෙෂ් ආපනශාලා සමූහය ඉන්දීය ජාතිකයකු සතු ව්‍යාපාරයකි. අදාළ වැටලීම සම්බන්ධයෙන් අධිකරණයට කරැණු වාර්තා කිරීමේදී චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවට සැකකාර ව්‍යාපාරිකයා සඳහන් කළේය. ඉදිරි නඩු විභාගය මාර්තු 19 වැනිදා පැවැත්වීමට නියමිතය.
► සමන්ත ප්‍රදීප් විල්තෙර