2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්...

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 2516
බයිලා නොකියාම බයිලා ඉතිහාසය පිළිබඳ කතාව ලියා තබන්න අපට සිත් විය. එදා නටන උන් කකුල් කඩුත්තුව හැදෙන තුරුම නැටවූ ලාංකීය බයිලා කලාව දියාරු වී ගොසිනි. එදා නොනටන උන්ගේ සිත් ද නැටවූ මෙම අපූරු කලාව අද ඉදිරියට රැගෙන යන්න ප්‍රභාමත් වර්තමානිකයන් නැත. එම නිසාම අතීතය නම් රසගුලාවට  ඇදී ලාංකීය බයිලාවේ රස තැන් විමසා බලන්නට අපි සැරසෙමු.
 
සුද්දා රට හැරගොස් දැන් වසර හැත්තෑවකි. එහෙත් සුදු හම ඇත්තවුන්ගේ වසර පන්සීයක පමණ ආක්‍රමණය හේතුවෙන් අප සංස්කෘතියේ සැලකිය යුතු පරිවර්තනයක් සිදුව තිබේ. 1505 වර්ෂයේ දී ලංකාවේ මුහුදුබඩ ආක්‍රමණය කරන පෘතුගීසින් මෙරට ඉතිරි කර ගිය දෑ අතරින් ඔවුන්ගේ ආගම සහ නීතිය හැරැණුකොට බයිලා, කපිරිඤ්ඤා කලාවට ප්‍රමුඛත්වයක් හිමිවේ. ලාංකික අපට බයිලා සංගීතයක් වුවද එදා පෘතුගීසි ජාතිකයන්ට එය නර්තන සම්ප්‍රදායක් විය. බයිලා යන වචනය නිර්මාණය වී ඇත්තේ පෘතුගීසි භාෂාවේ ‘බයිලර්’ යන වචනයෙන් බව කියවේ. එහි අර්ථය නර්තනයයි. මෙම බයිලර් සම්ප්‍රදාය ස්පාඤ්ඤ ගුරුකොටගෙන ලතින් අමෙරිකාව තුළ සිටි පෘතුගීසි ජනතාව තුළ සියවස් ගණනක් පුරා  පෝෂණය වූවක් බව ද අපට දැන කියාගන්නට ලැබුණි.
 
“උයිය මමන්ඩෝ ඉන්ති කිජු විසුන් කෙන්
බෙමේ කඩේ අබිලි බාසු කොරොන්ජිනා සෙන්
ඇර ඇලැ ද විදුර් මම්මා හස්තික පිය   කාදු
පලාත පය නම් මම්මා තුදුස් තත්ක   රාදු
ඔරු ලියයිලා මිකොරි දොසි ලිලයි    ලා
ජාගත කොයිලා තෝන බුබිකු බයි   ලා”
(පෘතුගීසින් ලංකාවට පැමිණි පසු ඔවුන් විසින් ගායනා කරන ලද බයිලා)
 
දහසය වැනි සියවසේ සිට විසිවැනි සියවස ආරම්භය වනතුරුම ලාංකීය බයිලා කලාව වෙරළකරයේ ජනගතව හැදී වැඩුණු බව සිතිය හැකිය. යටත්විජිත සමයේ පැමිණි කාපිරි ජනතාව වෙතින් ද මෙම වේගවත් සංගීත සම්ප්‍රදාය වැඩි වශයෙන් ප්‍රචලිත වීමට දායකත්වය ලැබුණු බව කියවේ. ඒ අනුව එදා පෘතුගීසින්ගේ හමුදාවෙහි වහල් මෙහෙය සඳහා පැමිණි මෙම කාපිරි ජනයා ඔවුන්ගේ විවේකයේ දී කපිරිඤ්ඤා ගීත ගැයුමින් වැයුමින් සතුටු වූහ. මුහුදුකරයේ ගම්මානවල විසූ ජනයා සිය ආවාහ විවාහ කටයුතු සහ උත්සව අවස්ථාවලදී මෙම රිද්මයට ක්‍රමිකව හුරු වූහ. ඒ අනුව පුත්තලම, මඩකලපුව ප්‍රදේශවල ප්‍රථමයෙන් ව්‍යාප්ත වූ  කපිරිඤ්ඤා ගීත සම්ප්‍රදාය මොරටුවේ බයිලා ලෙස පැලපදියම් වනතුරු ක්‍රමිකව විකසනය වූ බව සැලකෙයි.
 
මෙම කලාව සම්බන්ධ නිශ්චිත තොරතුරු අපට හමුවන්නේ විසිවැනි සියවසෙන් ඉක්බිතිවය. සැබැවින්ම ශ්‍රී ලාංකිකයන්ට ක්‍රමක්‍රමයෙන් සමීප වූ කපිරිඤ්ඤා කලාවට නව ආරක් ලැබෙන්නේ 1940 න් පසුවය. කපිරිඤ්ඤා තාලයට සිංහල වචන එකතු කර මුලින්ම සිංහල බයිලා ගායනා නිර්මාණය වන්නේ මේ යුගයේදීය. එදා පෘතුගීසි ස්‌පාඤ්ඤ අභාසයෙන් නිර්මාණය වූ එම ගී, සික්ස්  එයිට් (6/8) රිද්මයට හැඩවෙන්නේ ද මේ කාලයේදීය. මේ ලංකාවේ බයිලා කලාවේ ස්වර්ණමය යුගයේ ආරම්භයයි.
 
“පරසිඳු කොළොම්පුරේ මෝදර ගං ඉවුරු කොණේ වියෝලෙ නාදෙ ඇසෙන්නේ..
හරියට වැටුණු වෙලේ පෙන්නා ළඳුන් බයිල සැරේ බයිලා රජා ගැනයි කියන්නේ..
ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්
බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්..”
 
1914 දී උපන් බයිලා ලොවේ කිරුළු පලන් වොලී බැස්ටියන් මෙහි ස්වර්ණමය යුගයේ ආරම්භකයා ලෙස සැලකිය හැකිය. ලාංකීය බයිලා ඉතිහාස කතාවේ ඔහු නමින් ලියා තැබිය යුතු පරිච්ඡේදය ඉතා දීර්ඝය. එම නිසාම සැකෙවින් මෙහිලා ඔහු ගැන තතු කිහිපයක් අපි මතු කරමු.
 
කපිරිඤ්ඤා මෙන්ම කැලිප්සෝ තාලවලට ද සිංහල බයිලා ගී ගැයූ මේ කලාකරුවා  අද ද ලාංකීය සෑම ප්‍රසංග වේදිකාවකම ජීවත්වන සෙයකි. අද ප්‍රචලිත කෝරස් බයිලා ගායනා විලාසිතාව හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ඔහුය. කෝරස් බයිලා යනු ගීතය පුරාවටම නිතර ගැයෙන ගීත ඛණ්ඩයක් ඇතුළත් කර ගීය සැකසීමේ ක්‍රමයයි. එම ගී ඛණ්ඩය බයිලා ගීතයේ මුල, මැද හා අග දී ගායනා වෙයි. ඇතැම්විට එය  සාමූහික ගායනයකි. මීට අමතරව එදිනෙදා සමාජයීය සිදුවීම් මුල්කරගත් විවිධ විෂයන් වස්තු බීජය කර ගනිමින් විශාල බයිලා ගීත නිර්මාණය ජනප්‍රිය වන්නේ ද වොලී බැස්ටියන් නම් අසහාය කලාකරුවාගේ මැදිහත් වීම හරහාය. එසේම වොලී ඇතැම් බයිලා අතරට ඉංග්‍රීසි වැකි යොදමින් රස බසක් මැවීමේ පුරෝගාමියා ද විය. මේ සියලු කරුණු සලකන විට ලාංකීය බයිලා කලාවට සුජාත භාවයක් ලබාදීමේ ගෞරවය වොලී බැස්ටින්ට පිදිය යුතුමය.
 
“නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ..”
(හෙද නිලධාරිනියක වූ සිය සොයුරිය ෆෙලීෂියා ෆ්ලෝරන්ස් ජයසේකර වෙනුවන් වොලී ලියූ ගීය.)
 
“හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලෝ රැළක් වටකරගෙන ගැහුවා බෙල් එක
කොල්ලෝ කෙල්ලෝ වටකරගෙන බබි ආච්චිව මැදි කරගෙන
කොල්ලෝ කෙල්ලෝ උඩ පැන පැන ගැහුවා බෙල් එක..”
(මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඉදිරිපිට හැමදාම සිදුවෙන සිදුවීමක් මුල් කරගෙන
වොලී ලියූ ගීය)
 
වොලීගේ කතාව අවිවාදයෙන්ම අප වෙනම ලියා තැබිය යුත්තකි. එය පසුවට තබා ලාංකීය බයිලා සම්බන්ධ ඔබට කියමින් සිටි කතාව දෙසට අපි නැවත හැරෙමු.  විද්වත් මතයට අනුව ලාංකීය බයිලා කලාව ගත් විට ප්‍රධාන ධාරා හතරක් ඔස්සේ දිගහැරේ. පෙර කී කෝරස් බයිලා ඉන් එකකි. සෙසු ඒවා නම් වාද බයිලා, පපරේ බයිලා සහ කැලිප්සෝ බයිලාය. වාද බයිලා කලාව ජනගත වූ අපූරුම  බයිලා මාදිලියයි. මොරටුව ගල්සකිස්ස සහ කොළඹ වෙරළකරය කේන්ද්‍රය කරගෙන අදද යම් පමණකට සුරක්ෂිතව ඇති වාද බයිලා පිළිබඳ වෙනම ඉතිහාසයක් පවතී. වාද බයිලා ප්‍රසංග තරග හා බැඳුණු වෙනම සංස්කෘතියක් ද වෙයි. රෑ පහන් වනතුරු එදා පැවැති වාද බයිලා ප්‍රසංගවල රීති කිහිපයක් හඳුනාගත හැකිය. ප්‍රධාන වශයෙන් ලියා තබා හෝ පාඩම් කරගෙන විත් වාද බයිලා ගයන්නට බැරිය. අවස්ථාව අනුව ඉදිරිපත් වන තර්කවලට, අදහස්වලට ගැලපෙන පරිදි ගායනා සිදු කළ යුතු වේ. තාල තිස් හයක් පමණ මෙම බයිලා ගායන කලාවේ ඇතුළත් යැයි කියවේ.
අතීතයේ වයලීන්, වියෝලා, ගිටාර්, ටැබොරින්, රබන්, හාර්මෝනියම් වැනි සංගීත භාණ්ඩවලින් හැඩ වූ බයිලා  ට්‍රම්පට් සහ හමුදා ඩ්‍රම් වර්ග මෙන්ම ස්නෙයාර් සහ සිම්බල් වැනි සංගීත භාණ්ඩවලින් ද පසුකාලීනව හැඩ විය. විසිවැනි සියවස හැත්තෑව දශකයේ සෙසු කලාවන්ට මෙන්ම බයිලා කලාවට ද සුවිශේෂී විය. එහිදී මෑතකාලීන බයිලා කලාවේ පුරෝගාමීන් වන බයිලා චක්‍රවර්තී එම්.එස්. ප්‍රනාන්දු වැනි කලාකරැවන් පිළිබඳ අපට අමතක කළ නොහැක. බයිලා කලාව දේශීය රටාවට හැඩගස්වමින් ලාංකීය රසිකයා අතර ජනප්‍රිය කරලීමේ වැඩි ගෞරවයක් එම්.එස්.ට හිමිවේ. එම්.එස්. සහ ලාංකීය බයිලා කලාව යනු මෙම ඉතිහාස කතාවේ තවත් පරිච්ඡේදයකි‍.
 
රන්වන් වත බැබළෙන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රශ්මි කඳන් දෑලෙ විදාලා
 
ඔහුගේ මේ ආදී නොමියන ගී රැසක් අපට සිහිවෙයි. ඔබ දකික දකින දිනක, කැකිරි පැලෙන ටිකිරි හිනාවයි, පෙම් ලොව නින්දෙදි, සමරු පොතේ පිටු ගැලවී, මේ ඉරිදා ගිය ඉරිදා වාගේ, කොඩිගහ යට මම ඉන් කිහිපයක් පමණි.
 
අවසානයේ කිව යුත්තේ බයිලා කලාව සමාජයේ අපවාදයට සහ ගර්හාවට පත්වීම පිළිබඳ කතාවයි. මුල් යුගයේ සංස්කෘතිය විනාශ කරන බවට බයිලා කලාකරුවාට චෝදනා එල්ල විය. එම නිසාම බයිලා පහත්කොට සැලකීම ද ජනගත විය. බයිලා ගැසීම නිරර්ථක වැඩක් ලෙස බොහෝ දෙනා හුවා දක්වන්නට වූහ. එහෙත් වැලි කැටයක්වත් එකිනෙකට සමාන නොවන ලෝකයේ රස බාවයන් වලට සීමා පැණවිය හැකිද? අදද බයිලා රසවතුන් අපමණය. එහෙත් ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන තැනක බයිලා වැජඹෙන අතර  එය සම්භාව්‍ය ගීත සාහිත්‍යයේ එපිටින් එය තබා ඇත. එසේ කල අයද සාදයේ දී බයිලා අසා ගතින් නැති නම් සිතින් හෝ නටා ඇත.
චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ : අන්තර්ජාලයෙන්