2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ලක්ෂ 500ක් දියකළ ශාක්‍ය ජනපදයේ හෙට දවස

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

ඉන්දියාවේ පුරාණ කපිලවස්තු රාජධානියේ පිහිටි බුදුහිමියන් උපන් ශාක්‍ය ජනපදය ශ්‍රී ලංකාවේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේ 2016දීය. ඒ පිළියන්දල මඩපාත රෙජිඩේල් වත්තේය. එය 2017 දී ශ්‍රී ලංකාවේ පැවැත් වූ ජාත්‍යන්තර වෙසක් උළෙල වෙනුවෙන් විවෘත කිරීමට ද යෝජිත විය. එවකට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් සහ ලයිට් ඔෆ් ඒෂියා පදනමේ නිර්මාණ සහ ප්‍රතිපාදන දායකත්වයෙන් ශාක්‍ය ජනපදය ඉදිවූ අතර එය පළමු අදියර විවෘත කිරීම 2017 මැයි 14 දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු බුද්ධ ශාසන ඇමැති විජේදාස රාජපක්ෂ ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. පළමු අදියර සඳහා වැය වූ මුදල් රුපියල් ලක්ෂ 500ක් වන අතර මුදල් ප්‍රතිපාදන දැරුවේ ලයිට් ඔෆ් ඒෂියා පදනම විසිනි.

ශාක්‍ය ජනපදයට අමතරව අංගසම්පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක්, බෞද්ධ පුස්තකාලයක්, භාවනා මධ්‍යස්ථානයක්, ඊ. පුස්තකාලයක්, නිර්මාංසාහාර භෝජනාගාරයක්, ඖෂධ උයනක්, විවේකාගාර හා රථ ගාල් ආදි විශේෂාංග රුසක් ඉදිකිරීමට ද යෝජිත විය. නමුත් මේ කිසිම අංගයක් ඉදිකෙරුණේ නැත. ශාක්‍ය ජනපදයට විශාල ප්‍රචාරයක් ලබාදුන් බැවින් දුර බැහැර බැතිමතුන් පිළියන්දලට පැමිණියේ ඉන්දියාවට නොගොස් ලංකාවේදීම බුදුන් උපන් ස්ථාන වැඳපුදාගෙන සිත් පහන් කර ගැනීමටය. එහෙත් ඔවුන්ට ගොඩනැගිලි කිහිපයක් හැරෙන්නට නරඹන්නට දෙයක් තිබුණේ නැත. යටිතල පහසුකම් තිබුණේ ද නැත. ඉදිකළ එම ගොඩනැගිලි ද මේ වනවිට දිරාපත්ව කැලෑවට යටවෙමින් පවතී.

පසුගියදා වාර්තා වුණේ ශාක්‍ය ජනපදය ඉදිකිරීමට ඉකුත් රජය විසින් බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට පවරා ගනු ලැබූ පිළියන්දල රෙජිඩේල් වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදුන් බවයි. ඒ අනුව මෙම ඉඩමේ එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට වනජීවී පරිසර සහ ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්. චන්ද්‍රසේන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා විය.

රෙජිඩේල්වත්ත අක්කර 75ක් විශාල ඉඩමකි. කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වූ මුදලිඳු සමරකෝන් නම් දානපතියා මෙම ඉඩම රජයට පරිත්‍යාග කළේ බෞද්ධ කටයුතු ව්‍යාපෘතියක් සඳහා යොදාගන්නා ලෙස ඉල්ලමිනි. බොල්ගොඩ ජලාශයට නුදුරින් පිහිටා ඇති මෙම ඉඩම පැවති රජයන් විවිධ ව්‍යාපෘති සඳහා අවස්ථා හතරකදී යොදාගත්තද ඒ සියල්ල අතරමග ඇණහිටියේය. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරෑ 2014 දී එහි එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමටද මුල්ගල තැබුණි.

මේ වනවිට රු. ලක්ෂ 500කට අධික මුදලක් වැය කර එහි ඉදිකළ ශාක්‍ය රාජධානියේ සුද්ධෝදන මාළිගාව, ලුම්බිණි සල්උයන, වාහල්කඩ ගොඩනැගිලි විනාශ වී යමින් පවතී. එහි ආරක්ෂක කටයුතු සඳහා ද අධික වියදමක් දැරීමට සිදුවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ පිළිබඳව එම අමාත්‍යාංශයෙන් දැනගත හැකිවුණේ දැනටත් මෙම ඉඩම අයිති සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වන අතර බුද්ධ ශාසන අමාත්‍යාංශයට පවරා ඇත්තේ භුක්තිය පමණක් බවයි. එලෙස කැබිනට් සංදේශයකින් භුක්තිය පවරා තිබෙන්නේ යෝජිත ශාක්‍ය රාජධානි ව්‍යාපෘතිය සඳහාය. නැවත භුක්තිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට බාර දීමට බුද්ධ ශාසනය අමාත්‍යාංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා තවමත් ස්ථිර තීරණයක් ගෙන නැති බවත් ඒ සඳහා සාකච්ඡා කරමින් පවතින බවද පැවසුණි. මෙහි සුලමුල සොයා යන අතර ශාක්‍ය රාජධානිය අදහසේ නිර්මාතෘ ලයිට් ඕෆ් ඒෂියා පදනමේ සභාපති නවීන් ගුණරත්න අප සමඟ මෙසේ පැවසුවේය.

අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දානපති වෛද්‍ය වෝල්ටර් ජයසිංහ ශාක්‍ය රාජධානිය ගොඩනැගීම සඳහා සිය දායකත්වය ලබාදීමට එකඟ වුණා. අප එය ඉදිකිරීමට සැලසුම් කළේ අමෙරිකාවේ. එවකට බුද්ධ ශාසන ඇමැති විජේදාස රාජපක්ෂ මහතා අපට යෝජනා කළා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව ශ්‍රී ලංකාව තුළ එම අදහස ක්‍රියාත්මක කරන ලෙස. ඒ සඳහා කොන්දේසි ඉදිරිපත් කරමින් කැබිනට් අනුමැතිය ලබාදී ඉඩමත් සපයාදී බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ ලයිට් ඔෆ් ඒෂියා පදනම අවබෝධතා ගිවිසුමwකට 2007 අත්සන් කළා. ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේ පැවැත් වූ දිනවලදීම තවත් කොරියානු දානපතියකු ශාක්‍ය රාජධානිය තුළ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය භාවිත කරමින් බුදුදහම ලෝකය තුළ ප්‍රචලිත කිරීමට අවශ්‍ය තාක්ෂණික පුහුණු ආයතන ගොඩනැගීමට අමෙරිකානු ඩොලර් මිලියන 5ක ව්‍යාපෘතියක් සඳහා 2017 ජුනි 15 දා මුල්ගල තැබුවා.

මේ අතර විජේදාස රාජපක්ෂ කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ අතර නිවාස සහ මහනගර අමාත්‍යාංශය මෙම ඉඩමේ කොටසක් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම නිසා හටගත් අවුල විසඳාගැනීමට හැකි වුණේ යළිත් වසරකට පසු රාජපක්ෂ මහතා නැවත කැබිනට් අමාත්‍යාංශයක් බාරගැනීමෙන් පසුව බව නවීන් ගුණරත්න පැවසුවේය. ඔහු වැඩිදුරටත් මෙසේද කීවේය.

මෙම කාලසීමාව වනවිට ශාක්‍ය රාජධානිය සඳහා මුදල් ආයෝජනය කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ දානපතියන්ට මෙම ව්‍යාපෘතිය ගැන තිබූ විශ්වාසය බිඳ වැටුණා. පසුව බුද්ධ ශාසන අමාත්‍යවරයා වූ ජයවික්‍රම පෙරේරා මහතා මෙහි ඉදිකිරීමට යෝජිත ව්‍යාපෘති නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළා. මේ දක්වා පැහැදිලි අවසානයකට තීරණයක් ලබාදීමට එම දෙපාර්තමේන්තුව අපොහොසත් වෙලා. මෙම වටිනා භූමි භාගයේ සතුන් වත්තක් ආරම්භ කිරීමට සූදානම් වන බව ඇසීම දැඩි කම්පාවට කරැණක්. මෙම ඉඩම ප්‍රදානය කර තිබෙන්නේ බෞද්ධ කටයුතුවල උන්නතිය සඳහා වන ව්‍යාපෘතිවලට පමණයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය සහා ලයිට් ඔෆ් ඒෂියා පදනම අතර වලංගු ගිවිසුමක් පවතිනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලයිට් ඔෆ් ඒෂියා පදනම දානපති වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතා සමඟ එක්ව රැපියල් ලක්ෂ 600ක් වියදම් කරලා තිබෙනවා. මේ පිළිබඳව මම අග්‍රාමාත්‍යතුමාට ළඟදීම ලිපියක් යොමු කරනවා.

බුද්ධ ශාසන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශාක්‍ය රාජධානිය නැවත ආරම්භ කර නිර්මල බුදුදහම ලෝකයටම ප්‍රචලිත කරන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම ලයිට් ඕෆ් ඒෂියා පදනමේ අරමුණ බවද නවීන් ගුණරත්න පැවසුවේය.

 කුසුම්සිරි 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00