චීන ජනාධිපති ෂී ජින්පින් තමන්ගේ රටට හදිසියේ කඩාපාත්වූ විෂබිජය හැඳින්වූයේ යකාගේ වෛරසය හැටියටය. සමහර බටහිර මාධ්‍ය එය චීන චර්නොබිල් ඛේදවාචකය ලෙස හැඳින්වීය. බහුතරය එය දැනඋන්නේ චීන වූහාන් කොරෝනා වෛරස රෝගය නැතිනම් අලුත් චීන නියුමෝනියාව හෙවත් එය සොයාගත් පසු හැඳින්වුණු ආකාරයට “2019-nCoV acute respiratory disease” හැටියටය. අන්තිමේදී දැන් එයට නිශ්චිත නමක් ලැබී තිබේ. පසුගිය අඟහරුවාදා ලෝක සෞඛ්‍ය සංවිධානය එයට ස්ථිර නමක් ලබාදුන්නේ වෛරසය නොසිතූ විරූ ලෙස පැතිරයාමක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව දැන් එය “කොවිඩ්-වන් නයින් - COVID-19* නමැති නිල නාමයෙන් හඳුන්වනු ලැබේ. පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට වෛරස ආසාදිත සංඛ්‍යාව 50000 කරා ළඟා වී තිබේ. පැය 24ක් තුළ රෝගය නිසා මෙතෙක් සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූයේද පසුගිය සතියේය. ඒ බදාදාය. ගණන 242කි. චීනය තුළ බදාදා වනවිට වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 1310ක් විය. ලෝකය පුරා වෛරස පර් යේෂණාගාර ලහිලහියේ මේ නව මාරකය මැඬීම සඳහා ඖෂධයක් සෙවීමේ භාරදූර කාර්යයට අතගසා හමාරය. බැරිම තැන චීනය ඖෂධ කොපි කිරීමටද අතගැසුවේය.
චීනයෙන් සොයාගත් නව වෛරසයට නම ලබාදීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නව පිළිවෙතක් අනුගමනය කළේය. ඒ 2015 දී හඳුන්වා දුන් නව නාමකරණ උපදෙස් මාලාවට අනුවය. මෙයට පෙර ප්‍රසිද්ධියට පත් සීකා, ඉබෝලා, මැදපෙරදිග ස්වසන රෝගය, ස්පාඤ්ඤ උණ රෝග නම් ලැබූවේ එම වෛරස ආසාදන මුලින්ම හඳුනාගත් ප්‍රදේශවලට අදාළවය. නමුත් ඒ ක්‍රමවේදය ගැන විරෝධතා මතුවිය. ඒ අදාළ ප්‍රදේශවාසීන්ට එය මහත් අපහසුතාවක් ගෙනදුන් නිසාය. එසේම ඌරු උණ, කුරුළු උණ ලෙස විවිධ සතුන් අනුව රෝග හැඳින්වීම ගැනද පුද්ගලයන්ගේ නම් යෙදීම ගැනද විරෝධතා මතුව තිබුණි. ඒ අනුව නව වෛරස නම් කිරීමේදී විශේෂ භූගෝලීය කලාපයක් රටක් පුද්ගලයෙක් ගැන සඳහන් නොකර වඩාත් විද්‍යාත්මක නාමකරණයක යෙදීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය සංවිධානය ඒ අනුව එම රෝගයට “COVID-19” යන නම ලබාදී ඇත්තේ CO යන්නෙන් කොරෝනා යන්නත්, VI යන්නෙන් වෛරසය යන්නත්, D අකුරෙන් රෝගය යන අදහසත්, 19 සංඛ්‍යාව මඟින් එය මුලින්ම වාර්තා වූ 2019 වසරත්, සංකේතවත් කරමිනි. වෛරස් වර්ගීකරණය සඳහා වන ජාත්‍යන්තර කමිටුව (International Committee on Taxonomy of Viruses) විසින් නව කොරෝනා වෛරසය SARS-CoV-2 ලෙස (Severe acute respiratory syndrome coronavirus 2) නම්කර තිබේ. සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා මේ නව නාමය ප්‍රකාශයට පත්කළේ ජිනීවාහි පැවති ලෝකයේ විද්‍යාඥයන් 400කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ දෙදින සමුළුවකදීය. වෛරස පැතිරීම වැළැක්වීම සහ ඒ සඳහා සුදුසු එන්නතක් පිළිබඳ සොයාබැලීම සඳහා මේ හමුව පැවැත්විණි. මේ සම්බන්ධ නව සොයාගැනීම් වේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසද ලෝකයේ සියලු රටවලින් සෞඛ්‍ය සංවිධානය ඉල්ලා තිබේ. එසේ වුවද සාර්ථක නව එන්නතක් අලුතෙන් සොයාගැනීම සඳහා මාස 18ක පමණ කාලයක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ඉඟිකර තිබේ. එසේම ඉකුත් සතියේ මුල්වරට සෞඛ්‍ය සංවිධානය චීනය වෙත අන්තර්ජාතික දූත පිරිසක් යවන්නට කටයුතු යොදා තිබුණි.
අලුත් නමක් ලද සැණින්ම වාගේ වෛරසය පිළිබඳ අලුත්ම නරක ආරංචියද එළියට ආවේය. ඒ හොංකොං වෙතිනි. එහි තට්ටු නිවාස පද්ධතියක තට්ටු 10ක් ඉහළ සහ පහළ වෙනත් තට්ටු දෙකක දිවි ගෙවූ කාන්තාවන් දෙදෙනෙකු අතර වෛරසය පැතිර ගිය ආකාරය පිළිබඳවය. නිවාසවල මළ ප්‍රවාහන නළවල ඇති සිදුරැවීමක් හේතුවෙන් ඔවුන් අතර රෝගය පැතිර ගොස් ඇතැයි දැන් සැකකෙරේ. එය රෝගය පැතිරීම ගැන ඇති අලුත්ම නරක ආරංචියයි.
මේ මොහොත වනවිටත් චීනය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය මෙන්ම අමෙරිකාවේද විද්වතුන් වෛරස ප්‍රතිරෝධී එන්නතක් හෝ ඖෂධයක් සොයාගන්නට වෙහෙස වෙති. ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණික ආයතනය ඇරඹූ දැනට භාවිතයේ පවතින ඖෂධ අතරින් මේ සඳහා සුදුසු විකල්පයක් සොයාගැනීමට සිදුකරන දීර්ඝ පරීක්ෂණයද මේ වනවිට එහි දෙවැනි වටය කරා ළඟා වී තිබේ.
මෙලෙස කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සොයාගැනීම සම්බන්ධයෙන් රටවල් රැසක් තරගකාරී පර්යේෂණ මාලාවක නිරතව සිටියදී ඉබෝලා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කළ රෙම්ඩිසිවිර් නම් ඖෂධය වඩාත් සුදුසු මට්ටමක පවතින බව චීන විද්‍යාඥයින් හඳුනාගෙන ඇත. එය පර්යේෂණාත්මකව අත්හදා බැලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය හිමිව ඇත. අමෙරිකානු සමාගමක නිෂ්පාදනයක් වන මෙය සිය රටේ අඩුමිලට නිපදවීම සඳහා චීනය අවසර ඉල්ලා තිබුණද එය ලැබුණේ නැත. එහිදි චීන ඖෂධ සමාගමක් කළේ අදාළ Gilead’s remdesivir ඖෂධය කොපි කිරීමය.
රෝගය හා සම්බන්ධව එබඳු අපූරැ පුවත් රුසක් පසුගිය සතියේ වාර්තා වී තිබේ. වෛරසයෙන් මිදීම සඳහා චීනයේ Si Chuan පළාතේ මීටර් 30ක විෂබීජහරණය කිරීමේ නාලිකා මාලාවක් ඉදිකර තිබේ. වැසියන් හා මෝටර්රථ ඒ හරහා යාමේදී විෂබීජහරණය සිදුවෙයි. හොංකොං හි මුවආවරණ මිලදී ගැනීම සඳහා තවමත් දිගු පෝලිම් පවතී. චීනයේ වූහාන්හි මුල් වතාවට රෝගයට එරෙහි සටනට රොබෝ යන්ත්‍රද කැඳවා ඇත. පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වීමට පවතින ඉඩ අවම කිරීමේ අරමුණින් රෝහල් අතර වෛද්‍ය සැපයුම් ප්‍රවාහනය සඳහා ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර හඳුන්වාදීමට චීන සමාගමක් කටයුතු කර තිබුණි. එමෙන්ම ආසාදිතයින්ගේ ශරීර උෂ්ණත්වය මැනගැනීම සඳහා පොදු ස්ථානවල රොබෝයන්ත්‍ර සවිකර ඇත. ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී පැවැත්වීමට නියමිතව පැවැති ලෝක GSMA දුරකතන සංගමය සංවිධානය කරන ලෝක ජංගම දුරකතන සම්මේලනයද වෛරස හේතුවෙන් අත්හිටුවීමට කටයුතු කර තිබේ. ලක්ෂය ඉක්මවූ පිරිසක්ද සහභාගි වන ලෝ ප්‍රකට ජංගම දුරකතන සමාගම් රැසක් සහභාගි වන මෙම සම්මේලනය වාර්ෂිකව පැවැත්වෙයි. චීන ග්‍රෑන්ඩ් ප්‍රිග්ස් ධාවන තරඟයද කල්දැමූ අතර සිංගප්පුරැවේ රග්බි 7 ශූරතාවද කල් ගියේය. හොංකොංහි පාසල් මාර්තුව දක්වා වසාදමා තිබේ. චීනය වෙත ගුවන් ගමන් අප්‍රේල් දක්වා කල්දමා ඇත. චීනයේ සිට අමෙරිකාවේ නිව්ජර්සි වරාය වෙත පැමිණි රෝයල් කැරිබියන් නෞකා සේවයට අයත් Anthem of the Seas නමැති කෘස් නෞකාවේ සිටි සියලු චීන ජාතිකයින් පරීක්ෂාවට ලක්කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇත. චීනය වෙත අමෙරිකාවේ සිට ගුවන් ගමන් අප්‍රේල් දක්වා නවතා තිබේ.
ඒ අතරින් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබෙන අතර තවත් 23 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරැව චීනය වෙත හරවා යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර අමෙරිකාවෙන් වාර්තා වූයේ එරටදී වෛරස පරීක්ෂාව සඳහා භාවිතා වන උපකරණ කට්ටල තොගයක් ව්‍යාජ ඒවා බවය. අමෙරිකාව වෛරස පරීක්ෂාව සඳහා යොදාගන්නා කට්ටල 200ක් ගෙන්වා තිබුණි. තවත් එබඳු කට්ටල 200ක් රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට බෙදා හැරීමට ගෙන්වා තිබුණි. ඉන් එක් කට්ටලයකින් සාම්පල 800ක් පමණ පරීක්ෂා කළ හැකිය. බදාදා වාර්තා වූයේ මේ උපකරණ නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවය. එරට රෝග පාලක සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය C.D.C පැවසුවේ ඒවායින් ලැබෙන ප්‍රතිඵල ව්‍යාජ ඒවා බවයි. අමෙරිකාව තුළ මෙතෙක් වාර්තාගතව ඇත්තේ රෝගීන් 14 දෙනෙක් පමණි. එසේ තිබියදී ඔවුන්ගේ මේ මහා පරිමාණ ලකලැහැස්තිය සමහරු දකින්නේ හත් ගව්වක් මුහුදට දුර තිබියදී අමුඩ ගසන්නට සැරසීමක් ලෙසිනි.
තවමත් වෛරස ආසාදනය සියයට 99ක්ම චීනයට සීමාවී තිබේ. එරටින් පිටත රටවල් 27ක රෝගීන් වාර්තා වී ඇතත්, මරණ එක බැගින් වාර්තා වී තිබුණේ හොංකොං සහ පිලිපීනයෙනි. චීනයෙන් පිට වැඩිම රෝගීන් ගණන වාර්තාගත වූයේ ජපානය සහ සිංගප්පූරැවෙනි. බදාදා වසංගත රෝග පිළිබඳ ලෝක විශේෂඥයෙක් කීවේ මෙතෙක් චීනය කේන්ද්‍ර කරගත් වෛරසය දැන් ලෝකය පුරා පැතිරීම අරඹා ඇති බවය. චීන රජයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය අංශ ප්‍රධානියෙක්ට අනුව රෝගය උපරිමය කරා ළඟාවෙමින් පවතින අතර අප්‍රේල් වනවිට එහි නිමාවක් දකින්නට හැකිවනු ඇත. තවත් ලෝක අවධානය දිනාගත් කාරණාවක් වූයේ ජපානයේ යොකෝහාමා අසල මුහුදේ නැංගුරම් දමා නිරෝධායනයට ලක්කර ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවයි. මෙහි මගීන් සහ කාර්ය මණ්ඩලය 3700කි. දැනට නිරෝධායන නිලධාරියෙකුද ඇතුළුව 203ක් වෛරස ආසාදිත බව වාර්තාගතය. මේ පිරිස නෞකාව තුළ සිය කැබින් කාමර තුළ සිරකරැවන්ව සිටිති.
ඒ අතර එංගලන්තයේ සුපිරි වෛරස වාහකයෙක් ගැන වාර්තා විය. ඔහු සිංගප්පූරුවට වෙළඳ සංචාරයක යෙදුණු ස්ටීවන් වොල්ෂ් නමැති 53 හැවිරිදි තැනැත්තාය. ඔහු වෙතින් 11 දෙනෙකුට රෝගය පැතිර ගිය බව විශ්වාස කෙරේ. ඔහු මගින් වෛරස ආසාදිත බවට පත්වූ බාලදක්ෂ නියමුවෙකු නිසා එංගලන්තයේ බ්‍රිග්ටන් නගරයේ පාසල් 5කට අනතුරැ ඇඟවීම් නිකුත් කර තිබුණි. මේ අතර වාසනාවන්ත පුවතක්ද චීනයෙන් අසන්නට ලැබිණි. ඒ වෛරසය ආසාදිත වූ මාස 04ක් වයසැති බිළිඳෙකු සුවය ලැබූ බවය. මව්පියන්ට වෛරසය ආසාදනය වී නොතිබුණු අතර බිළිඳා වෛරසයට ගොදුරුව තිබුණේ වයස මාස 03ක්ව තිබියදීය. මාසයක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ දරුවා රෝහලෙන් නික්ම ගියේ හයිනැන් පළාතේ සුවය ලැබූ ළාබාලතම දැරිය ලෙස වාර්තා අතරට එක්වෙමිනි. මේ අතර ආසාදිත මවක විසින් නිරෝගී දරුවෙකු බිහිකළ පුවතක්ද චීන මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් ඇයට දරුවා තමන් ළඟ තබාගැනීමට ඉඩ නොලැබෙන අතර විශේෂ ප්‍රතිකාර ඒකකයේ හෙදියන් විසින් දරුවා රැකබලා ගැනෙයි. මේ අන්දමට රෝගයට අලුත් නමක් ලැබෙනවාත් සමග එහි හැසිරීමද අලුත් වී හමාරය.
සුගත් පී.කුලතුංග ආරච්චි